බැරි වෙලාවත් ඔබේ කනට කෘමියෙක් ගියොත් කරයුතු දේවල් 5ක්

health tips

අපේ ශරීරයේ තියෙන ලොකු කුඩා සෑම ඉන්ද්‍රියක්ම  ඉතාම සුවිශේෂී බව ඔබ දන්නවා. කන කියන්නෙත් ඒ වගේම අපේ ජීවිතයට අත්‍යවශ්‍යම වැදගත් ඉන්ද්‍රියක්.  ඒත් අපි කන පිළිබදව එතරම් අවධානයක් යොමු කරන්නේ නැත්තේ අපේ දෙසවන් සියලුම ශබ්ද කෙරෙහි හොඳ ප්‍රතිචාරයක් දක්වන තාක් පමණයි. එහි ඇසීමට යම් බාධාවක් ඇති වුණොත්  එහෙමත් නැත්නම් කන ආශ්‍රිත වෙනත් ගැටළුවක් ඇතිවුණොත් නම් අපි තරමක් සැලකිලිමත් බවක් දක්වනවා. ඉතින් අපේ ශ්‍රවණය හැකියාව බොහෝ වෙලාවට නැති වෙන්නේ අපේම වැරැද්දෙන්. ඒ විදිහට නොසැලකිලිමත්කම නිසා කනට දැඩි හානි සිදු වෙලා ශ්‍රවණය දුර්වල වෙන්නට ඉඩ  තියෙන එක්තරා කරදරයක් ගැන තමයි අපි අද බව දැනුවත් කරන්නේ. 

පුංචි පැටියාගේ පටන් වැඩිහිටියා වුණු ඔබ අපිටත් හදිසියේම ඇතිවෙන්නට පුළුවන් කරදරයක් තමයි කනට කෘමියෙක් ඇතුළු වීම.එහිදී ඇතිවන වේදනාව සහ නොසන්සුන්තාවය කොතරම්ද කියලා ඔයා දන්නවා. නමුත් මේ වගේ අවස්ථාවකදී කලබල වෙලා කටයුතු කළොත් අපේ කනට විශාල ලෙස හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ අවස්ථාවක දී මූලිකව අපි සිදු කළ යුතු දේවල් පිළිබඳව හොඳ අවධානයකින් පසු වෙන්න ඕන.

 මොකද ඇතැම් වෙලාවට දැන හෝ නොදැන කෘමියෙක් කනට ඇතුළු වුණොත් ශල්‍යකර්ම පවා සිදු කරන්නට සිදුවෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී කලබලයට පත් වෙලා කොණ්ඩා කටු එහෙම නැත්නම් කෝටු  කෑලි, කොට්න් බඩ් ආදි දේවල් කන ඇතුලට යවලා සතා ඉවතට ගන්නට වැඩි දෙනෙක් උත්සාහ කරනවා. 

නමුත් මෙයින් සිදු වෙන්නේ ඊටත් වඩා සතා කන තුළට ගමන් කිරීම වගේම කනට නොයෙක් හානි සිදුවීම. ඒ නිසා සතෙක් කනට ඇතුළු වුණාට පස්සේ සිදු නොකළ යුතුම දේවල් අතරට තමයි මේ දේවල් ඇතුළත් වෙන්නේ. ඉතින් අපි බලමු කනට සතෙක් හදිසියේම ඇතුළු වෙලා කියලා ඔබ දැන ගත්තොත් ඔබට දැනුණොත් ඔබ මොනවද ඒ සඳහා කළ යුත්තේ කියලා.

 කනට සතෙක් ඇතුළු  වන අවස්ථාවකදී මූලිකව සිදු කළ යුතු දේවල්

  • මුලින්ම කෘමියා ඇතුල් වුණු කන පොළව පැත්තට එනම් පහතට සිටින විදිහට ඔලුව හරවා ඉන්න උත්සහ ගන්න. එවිට කෘමියාගේ චලනයන් එකවරම කනෙන් එළියට එන්නට ඉඩ තියෙනවා. 
  • ඉන්පසු අනතුරට මුහුණ දුන් තැනැත්තාගේ කන උඩු අතට හරවා ජලය හෝ පොල් තෙල් කනට වත් කරන්න. එහිදී එයින් කනට හානියක් ඇති වේයැයි බියක් ඇති කර ගන්න එපා. වැදගත් වන්නේ සතා ඉවතට ගැනීම නිසා. 
  • මෙසේ මිනිත්තු  කිහිපයක් ජලය රැඳෙන අතට බෙල්ල හරවා ගෙන සිටින අතර කනට ඇතුළු වූ සතා ඉවත්ට පැමිණියේදැයි පරික්ෂා කරන්න. මෙහිදී සතා ඉවතට පැමිණියේ නැත්නම් අඩු  හෝ වෙනත් උපකරණ භාවිතා  කර සතා ඉවත් කිරීමට උත්සාහ ගන්න එපා. 
  • කනට කිනිතුල්ලන් වැනි සතුන් ඇතුළු වුණොත් ඔවුන් ඉවත් කිරීමට වතුර හෝ පොල්තෙල් කනට දැමීම සිදු කරන්න එපා. ඒ වගේම විවිධ උපකරණ  භාවිතා කර සතා ඉවත් කරන්නට උත්සාහ ගන්නත් එපා. 
  • රාත්‍රියේදී කනට සතෙක් ඇතුළු වී ඇත්නම් ජලය හෝ තෙල් ස්වල්පයක් දමා සතාගේ දැඟලීම නතර වූ පසු නින්දට යන්න. පසුදින උදේ උගුර කන නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු මුණගැසෙන්න.

කනට සතෙක් ඇතුළු වුණු පසු නිසි ප්‍රතිකර්මයක් සිදු නොකිරීම හේතු කරගෙන කනේ වේදනාව, කන ආසාදනය වීම සහ කන් ඇසීම පවා අඩු වෙන්නට පුළුවන්. ඒ වගේම නිසි පළපුරුද්දක් නොමැති අය නිසි උපකරණ භාවිතා නොකර කණින් සතෙක් ඉවත් කරන්නට උත්සාහ දැරීම හේතුවෙන් කන් බෙරය පවා තුවාල වී කනට  දැඩි ලෙස හානි සිදු වෙන්නට පුළුවන්. 

 සැලකිය යුතුයි කන ඇතුළත තුවාල වී ඇති බවට  ඔබට සැකයක් පවතිනවා නම් කනෙන් රුධිරය හෝ වෙනත් ස්‍රාවයක් වහනය වෙනවා නම් සතා ඉවත් කිරීම සඳහා කන තුළට කිසිවක් දමන්න එපා. ඒ වගේ අවස්ථාවකදී හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවට යන්න.