ගොඩක් දෙනෙක් මේ රෝගය දන්නේ ෆිට් එක කියන නමින්. සිහි නැතිවී හෝ නැත්නම් කෑගසාගෙන දත කට පූට්ටු වී ඇද වැටෙන අය ඔබ දැක ඇති. එවිට ඔබ බොහෝසෙයින් බියට පත්වෙලත් ඇති. එවැනි කෙනෙකු සමීපයේ සිටින අප කුමක් කළ යුතුද යන්න ඇතැම් අයට අවබෝධයක් නැහැ. ඒ වගේම මේ රෝගය පිළිබඳව නිසි දැනුවත්වීමක් නැහැ. ඇතැම් අය මේ රෝගය නිසා ලැජ්ජාවට පත්වෙනවා. ඒ නිසාම ඔවුන් මරණය කරා ළඟා වෙනවා. ඉතින් අද සමාජයේ පවතින මේ රෝගී තත්ත්වය මී මැස්මොරය විදියටත් හඳුන්වනවා. මෙය නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් නිට්ටාවටම සුව කරගත හැකි රෝගී තත්ත්වයක්. ඒ වගේම ඕනෑම කෙනෙකුට සිය ජීවිත කාලය තුළ වැළදෙන්නට හැකි රෝගී තත්ත්වයක්. ඒ නිසා මේ රෝගය පිළිබඳව හොඳ අවබෝධයකින් පසුවීම සියලුදෙනාටම ඉතා වැදගත්.
අපස්මාරය හැදෙන හැටි

මෙහිදී සිදු වන්නේ මොළයේ සිට එන විද්‍යුත් පණිවුඩ බාධාවකට ලක්වෙලා වැරදි අතකට යොමුවී තමන්ගේ අවයවවල මාංශ පේශීන්වල ක්‍රියාකාරිත්වය නිසා පාලනයෙන් ගිලිහීයාමයි. මේ නිසා වැරදි ස්ථාන කරා පණිවුඩ රැසක් යොමුවී ශරීරයේ වෙව්ලීම් හටගෙන සමබරතාවය නොමැතිවීමෙන් ඇද වැටීම සිදු වෙනවා. උණක් හෝ තුවාලයක් නොමැතිව කෙනෙක්ට දෙවරකට වඩා මේ රෝග ලක්ෂණ එනම් සිහි නැතිවීම, ගැස්සීම ආදිය සිදු වෙනවා නම් එය අපස්මාරය විදියට සලකනු ලබනවා.
මේ අපස්මාරය ඕනෑම වයසකදී ඇති වෙන්නට හැකියාව තිබුණත් සාමාන්‍යයෙන් මුලින්ම මේ තත්ත්වය ළමා කාලයේදී හෝ වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන්ට ඇති වෙනවා. නමුත් වැඩි වශයෙන් අවුරුදු 10 ට අඩු දරුවන් ලක්ෂ 3-4 ක් පමණ විවිධ මට්ටමින් මේ රෝගයෙන් පීඩා විදිනවා.මේ රෝගයට ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ. ඒ වගේම වරක් ගොදුරු වුණොත් නැවත සෑදීමේ ප්‍රවණතාවය ඉහළයි.ඇතැම්විට මේ අපස්මාර රෝගය කාලයත් සමඟ සුව වෙන්නට හැකි වුණත් ඇතැම්විට එය ජීවිත කාලය පුරාවටම පවතින්නට පුළුවන්.
මේ අපස්මාර රෝගය නිසි ප්‍රතිකාර මගින් මුළුමනින්ම සුවපත් කළ හැකි නිසා එය දරුවෙකුගේ අධ්‍යාපනයට කිසිදු බාධාවක් වන්නේ නැහැ. ඒ වගේම එදා අතීතයේ මේ අපස්මාර රෝගීන් සාමාන්‍ය මිනිසුන් ලෙසටයි සලකනු ලැබුවේ. ඔවුන් සාර්ථක සාමාන්‍ය ජීවිතයක් ගත කරනු ලැබුවා.
නමුත් සමාජයේ මේ රෝගී තත්ත්වය බෝ වන රෝගයක් ලෙසටත්, මානසික රෝගයක් ලෙසටත් සැලකීම ආදී මිත්‍යා මත පවතිනවා.මේ රෝගය වැළදුණු දරුවන් මන්ද බුද්ධික දරුවන් සේ සැලකීමත් එවැනි දරුවන් බෙහෙවින් සැර පරුෂයි යනාදී මතයන් අද සමාජයේ නැත්තේම නොවෙයි. තවත් අයට අනුව මේ අපස්මාරය භූත බලවේග නිසා ඇතිවන තත්ත්වයක්. නමුත් මේ සියල්ල මිත්‍යා මත බවත් මේ රෝගය කෙනෙක් ඇසුරු කිරීමෙන් බෝ නොවන බවත් සෑම තරාතිරමකම අයෙකුට වැළදිය හැකි රෝගයක් බවටත් සියලුදෙනාම අවබෝධ කරගත යුතුයි.
අපස්මාරය ඇති වෙන්නට බලපාන හේතු

- මොළයට විෂබීජ යාම
- මැලේරියාව, මොළේ උණ `
- තද පහරක් වැදීම
- උසකින් වැටීම
- හිසට සිදුවෙන අනතුරු
- අධික මත්පැන් පානය
- දින ගණනක් එකදිගට කුසගින්නේ සිටීම
- දීර්ඝ කාලයක් නිදිවැරීම
- ශරීරයේ සීනි අඩුවීම හෝ වැඩිවීම
- ලවණ ප්‍රමාණයේ හෝ කැල්සියම් ,පොටෑසියම් හා මැග්නීසියම් ආදී ඛනිජවල අඩු හෝ වැඩිවීම
අපස්මාරයේ රෝග ලක්ෂණ
- අවධානය නොමැතිවීම
- හිස්බවකින් යුතුව අවකාශය දෙස බලා සිටීම
- ශරීරය දැඩි බවට පත්වීම
- ශරීරයේ පාලනය කළ නොහැකි ගැස්සීම සහ සෙලවීම
- අත් හා කකුල්වල හිරි වැටුණු ස්වභාවයක් වැනි අමුතු හැඟීම් දැනීම
- සිහිසුන්ව ඇද වැටීම
- බෙල්ල පැත්තකට යාම
- කටින් සෙම වැගිරීම
- ඇස් උඩ යාම
- දිව තොල් සැපීම
- ඇතැම් විට මල මුත්‍රා පිටවීම
- අසාමාන්‍ය හැසිරීම
- අරුතක් නැති දේ කියවීම
ප්‍රතිකාර

- වරින් වර ෆිට් එක හැදෙන තත්ත්වයකදී මොළය සහ ස්නායු පිළිබඳව වෛද්‍යවරයෙක් හමුවී නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා.වෛද්‍යවරයා විසින් නියමිත කාලයක් පුරාවට ලබාදෙන ඖෂධ නිසි පරිදි ලබා ගැනීමෙන් මේ රෝගය නිට්ටාවටම සුව කරගන්නට පුළුවන්.
- ඒ හැරුණාම යම් අයෙකුට අපස්මාරය හැදුණු විට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් දැනුවත්වී සිටීම ඉතා වැදගත්.විශේෂයෙන්ම පාරේ ගමන් කරද්දී ඇද වැටුණොත් ඔවුන්ගේ ජීවිතයට වන අවදානමෙන් වළක්වා ගන්නට අපට හැකියාව තිබිය යුතුයි.
- රෝගී තත්ත්වය ඇති වුණු විටෙක ඒ පුද්ගලයාගේ ඇදුම් ලිහිල් කර ටයි පටි පලදා ඇත්නම් ඒවා ලිහිල් කිරීම.
- බිම දිගාකර බෙල්ල පැත්තකට හරවා තිබිය යුතුයි.
- අපස්මාර රෝගියෙකුට කිසිවිටකත් කිසිම දියර ආහාරයක් ලබා නොදිය යුතුයි.
- දත කට පූට්ටු වීමේදී කටට හැදි හෝ වෙනත් යකඩ වැනි දෑ නොදැමිය යුතුයි.ඇතැම් ප්‍රදේශවල මිනිසුන් මී මැස්මොරය හැදුණු රෝගියාට තෙල් වර්ග පෙවීම්, වතුරේ බැස්සවීම, එළු මුත්‍රා පෙවීම, යකඩ කෑලි අතට දීම, හැන්දක් කටට දැමීම ආදී ක්‍රම මගින් රෝග පාලනය වේ යැයි සිතනවා. නමුත් ඒ දේවල් වලින් රෝගීයා මියයාමට වුණත් හැකි නිසා එවැනි දේ නොකර රෝහල්ගත කිරීමයි වැදගත් වෙන්නේ.
මී මැස්මොරය වැළදුණු රෝගීන් අනුගමනය කළ යුතු පිළිවෙත්
- ගස් නැගීම, කදු නැගීම ආදියෙන් වැළකී සිටිය යුතුයි.
- ඇළදොළක නාන්නට යන්නේ නම් ඒ සඳහා වගකිව යුතු අයෙක් සම්බන්ධ කරගත යුතුයි.
- නිදි වැරීමෙන් වැළකිය යුතුයි.
- රෝගියා පැය 7-8 ක නින්දක් ලබාගත යුතුයි.
- මේ රෝගය වැළදුණු දරුවන් නිතර රූපවාහිනීය නැරඹීම සුදුසු නැහැ.
- කුසගින්නේ සිටීම හෝ ආහාර වේල් මගහැරීමෙන් වැළකිය යුතුයි.
- අනාරක්ෂිත ස්ථානවලට යාමෙන් වැළකිය යුතුයි.
රෝගියාගේ බර අනුව වෛද්‍යවරුන් ලබාදෙන ඖෂධ නොකඩවා වසර 2-5 අතර කාලයක් ගැනීමෙන් මේ රෝගය මුළුමනින්ම සුවකරගන්නට පුළුවන්. ඒ රෝගීයාගේ මානසික සුවය ඇති කිරීමටත් වග බලා ගන්න.