ලුණු කියන්නේ අපට අත්‍යවශ්‍යම දෙයක්. ආහාර පිසීම ආදී කටයුතුවලට අපි භාවිතා කරන්නේ මේස ලුණු. ඒ හැරුණාම සහිද ලුණු, එප්සම් ලුණු ආදී වශයෙන් ලුණු වර්ග තියෙනවා. අද අපි කතා කරන්නේ මේ එප්සම් ලුණු පිළිබඳව. ශ්‍රී ලංකාවේ අපිට මේ එප්සම් ලුණු පහසුවෙන් ගන්නට හැකියාව පවතින නිසා මේ එප්සම් ලුණු භාවිතයෙන් අපිට ලබාගත හැකි වාසිදායක තත්ත්වයන් පිළිබඳව දැනුවත්වීම වැදගත් වේවි කියලා මා සිතනවා.
මේ එප්සම් ලුණු ඈත අතීතයේ සිටම විවිධ කටයුතු සඳහා භාවිතා වෙලා තියෙනවා. වතුපිටිවල පොහොරක් විදියට, පවිත්‍රකාරකයක් විදියටත් ශරීරයට ඉතා හොඳ ඖෂධයක් විදියටත් එප්සම් ලුණුවල භාවිතයන් බොහොමයක්ම පවතිනවා.මේ එප්සම් ලුණු මුලින්ම ලබාගෙන තිබුණේ එංගලන්තයෙන්. ඒ සරේ ප්‍රාන්තයෙන්. එප්සම් ලුණු භාවිතා කරන සාමාන්‍ය ලුණුවලට වඩා තරමක් වෙනස්.
සාමාන්‍ය ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් ලෙසයි හඳුනා ගන්නේ. එප්සම් ලුණු කියන්නේ මැග්නීසියම් සල්ෆේට් (MgSO4 ) කියන සංයෝගයට. දේහයේ විෂ ඉවත් කරන්නට මේ එප්සම් ලුණු සතු අපූරු හැකියාව නිසා එප්සම් ලුණු දියකරගත් ජලය ස්නානයෙන් අපිට වාසි බොහොමයක් ලබා ගන්නට පුළුවන්.
එප්සම් ලුණු ස්නානයෙන් ලැබෙන වාසි

- සිරුරේ විෂ ඉවත් කරනවා. මැග්නීසියම් සහ සල්පේට් ඛනිජ ලවණ දෙකටම සම හරහා අපේ ශරීරයට ඇතුළු වෙලා රුධිර ගමනාගමනයට එකතු වෙන්නට හැකියාව තියෙනවා. අන්වීක්ෂය ප්‍රමාණයේ ඉතා කුඩා සිදුරු රාශියක් මගින් ශරීරයට මෙවැනි ඛනිජ ලවණ ඇතුල් කරගන්නත් ශරීරයට හානි සිදු කරන විෂ ද්‍රව්‍ය බැහැර කරන්නත් සමට හැකියාව ලැබෙනවා. එප්සම් ලුණු ද්‍රාවණයක ගිලී සිටීමෙන් අපි සිරුරට ඇතුල් කරගන්නා නොයෙකුත් දේවල්වල ඇති විෂ ද්‍රව්‍ය වගේම ශරීර විසින්ම නිපදවන නොයෙකුත් විෂ ද්‍රව්‍යයත් එළියට දමා මැග්නීසියම් සහ සල්පේට් කියන අත්‍යවශ්‍ය ඛනිජ ලවණ ඉතා ඉක්මනින් ශරීරයට එකතු වෙනවා.
- පේශී සහ ස්නායු පද්ධති නිසි ක්‍රියාකාරිත්වයටත් දායක වෙනවා-මැග්නීසියම් කියන ඛනිජයෙන් ඉතා විශාල මෙහෙයක් සිදු කෙරෙනවා. එන්සයිම 325 ක පමණ ක්‍රියාකාරිත්වය සඳහා මැග්නීසියම් අවශ්‍ය වෙනවා. ඒ වගේම පේශී සහ ස්නායු පද්ධති නිසි ක්‍රියාකාරිත්වයටත් දායක වෙනවා.
- රුධිර ගමනාගමනයටත් ආසාදනය වීම් අවම කිරීමටත් දායක වෙනවා. සල්පේට්වල ප්‍රයෝජන මගින් සන්ධි සම සහ ස්නායු පටක වර්ධනය කරන අතර ඒවායේ නිසි ක්‍රියාකාරිත්වය වර්ධනය කරනවා.
- මැග්නීසියම් සහ සල්පේට් ගබඩා යථා තත්ත්වයට පත් කරනවා.අපේ ශරීරයේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් මේ මැග්නීසියම් සහ සල්පේට් වැය වෙනවා.මෙසේ වැයවෙන මැග්නීසියම් සහ සල්පේට් ගබඩා යථා තත්ත්වයට පත් කරන්නට එප්සම් ලුණුවලට හැකියාව තියෙනවා.
- විවිධ රෝග සඳහා ඖෂධයක් ලෙස කටයුතු කරනවා.
- සන්ධිපත්වලට ඉතාම දැඩි වේදනාවක් ගෙනදෙන ගවුඩ් තත්ත්වය සඳහා ගුණදායකයි.

- සීරීම්,තුවාල, මස්පිඩු පෙරලීම් ආදියටත් සුවයක් සලසනවා.
- දීර්ඝකාලීන රෝග සහ වේදනාවන් සමනය සඳහා ගුණදායකයි.
- දියවැඩියාව ආදී රෝග අවම කරනවා.
- වණ, ලප කැලැල් දුරු කරනවා.
- මානසික ආතතිය දුරු කරනවා.
- ඉරුවාරදය සුවපත් කරනවා.
- මැරුණු සෛල ඉවත් කර තරුණ පෙනුම රැක දෙනවා.
- සමේ දිලීර ආසාදන සුව කරනවා.

එප්සම් ලුණු ස්නානය -මේ සඳහා බාත් ටබ් එකක් උණු ජලයෙන් පුරවන්න. එයට එකතු කරන එප්සම් ලුණු ප්‍රමාණය පුද්ගලයාගේ බර අනුව තීරණය වෙනවා.කිලෝග්‍රෑම් 30 ක් දක්වා අය සඳහා සම්මත ප්‍රමාණයේ බාත් ටබ් එකකට එප්සම් ලුණු කෝප්ප භාගයක් එකතු කරන්න. කිලෝග්‍රෑම් 30 සිට 45 ක් දක්වා අය සඳහා සම්මත ප්‍රමාණයේ බාත් ටබ් එකකට එප්සම් ලුණු කෝප්ප 1 ක් එකතු කරන්න. කිලෝග්‍රෑම් 45 – 65 දක්වා අය සඳහා සම්මත ප්‍රමාණයේ බාත් ටබ් එකකට එප්සම් ලුණු කෝප්ප 1 ½ ක් දමන්න. කිලෝග්‍රෑම් 65-100 දක්වා අයෙකුට සම්මත ප්‍රමාණයේ බාත් ටබ් එකකට එප්සම් ලුණු කෝප්ප 2 ක් එකතු කරන්න. වැඩිවන සෑම කිලෝ 20 ක් සඳහාම එප්සම් ලුණු කෝප්ප භාගයක් වැඩිපුර එකතු කරන්න.
ජලය සහ එප්සම් ලුණු හොඳින් කලවම් කර ඒ ජලයේ විනාඩි 40 ක් බැස සිටින්න. ශරීරයේ විෂ ඉවත් වීමට විනාඩි 20 ක කාලයක් සහ ඛනිජ අවශෝෂණය සඳහා විනාඩි 20 ක් වශයෙන්.
අවශ්‍ය නම් මේ එප්සම් ලුණු ජලයට ඔලිව් තෙල් කෝප්ප භාගයක් එකතු කළ හැකියි. එමගින් ඒවායේ ඇති පොලිෆීනෝල් සමට අවශෝෂණයෙන් ප්‍රතිඔක්සිකාරක ගුණාංග ලබාදෙනවා. ඒ හැරුණාම ඉඟුරු තේ හැදි 1 සිට කෝප්ප භාගයක් දක්වා එකතු කිරීමෙන් දහදිය දැමීම උත්තේජනය කර එය හරහා පරිවෘත්තීය විෂ ද්‍රව්‍ය පිටවීම වැඩිකර ගන්නට පුළුවන්.ආතරයිටීස් රෝගියෙකු නොවෙන්නේ නම් එප්සම් ලුණු ස්නානයෙන් පැය 2 ක් පමණ කාලයක් විවේකීව සිටින්න.
සැලකිය යුතුයි.ගර්භනී මව්වරුන්ට හා විජලනයට පත්ව සිටින අයට වගේම සමේ තුවාල ඇති අයටත් මේ එප්සම් ලුණු ස්නානය සුදුසු නැහැ.එප්සම් ලුණු සමඟ සබන් භාවිතා කරන්නට එපා.