පණු රෝග රැසකට සුව කැන්දන අවුරුද්දම හැඩකරන එරබදු ශාකයේ ඔසු ගුණය 

health tips

අවුරුදු කාලය ළං වෙද්දි හරි අපූරුවට හැඩ ගැන්වෙන ඖෂධීය ගුණයෙන් ඉතාම ඉහළ ශාකයක් තමයි එරබදු කියන්නේ. එරමුදු යනුවෙනුත් ගැමියන් හඳුන්වන මේ ශාකය දෙමළ භාෂාවෙන් මුල්ලු  මුරුංගෙයි වශයෙනුත් හඳුන්වනවා. එරබදු ගසේ කඳේ වගේම අතුවලත් උල්කටු පිරී පවතිනවා. ඒ නිසා මේ එරබදු ගසෙහි කඳ වැට මායිම් සඳහා සිටුවන්නට මිනිසුන් උනන්දුවක් දක්වනවා. ගෙවතුවලට වගේම වගාබිම්වලටත් ආරක්ෂාව සඳහා ඉතා උචිත වැටක් සකසා ගන්නට මේ එරබදු ගසේ කඳ භාවිතා කරන්නට පුළුවන්.

 මෙසේ වැටට සිටවන එරබදු ගස්වලටම බුලත් වැලක්, ගම්මිරිස් වැලක් හෝ අඟුණ කොළ වැලක් එහෙමත් නැත්නම් මෑ හෝ දඹල වැලක් වවා ගන්නටත් එදා ගැමියන් උනන්දුවක් දැක්වූවා. විශේෂයෙන්ම කුඹුරු සහ ඕවිටි වටා වැඩිය උස නොයන්නට කප්පාදු කරපු එරබදු වැටක් වැරදුනේ නම් නැහැ.  මාර්තු අග සහ අප්‍රේල් මුල් කාලයේ දී ගස පුරාම රතු පාට පාටින් එරබදු  මල් පොකුරු වශයෙන් හට ගන්නා මේ ශාකයේ අපූරු ගුණ ගැන තමයි අපි අද කතා කරන්නේ. 

ගෙවතුවලට ආරක්ෂිත වැටක් ලෙස භාවිතා කිරීම හැරුණාම සෙවණ ශාකයක් විදිහටත් එරබදු වගා කරනවා. ඒ වගේම එරබදුවල ස්වභාවික කෘමි විකර්ශක ගුණයක් වගේම පස  සාරවත් කිරීමේ සුවිශේෂී හැකියාවකුත් තියෙනවා.  ඒ විතරක්ම නෙවෙයි එරබදු ශාකයේ කොළ, පොතු, මුල්, ගෙඩි සහ මල් ආදී සියල්ලම දේශීය වෙදකමේ දී භාවිතයට ගනු ලබනවා. 

දේශීය ඖෂධ සැකසීමේදී විශේෂයෙන්ම එරබදු කොළ උදරයේ ඇති වන පණු ආසාදනවලට කන්වල වේදනා සදහාත් භාවිතයට ගත්තා. ඒ වගේම සමේ සහ ඇස්වල රෝග,  පිරිමින්ගේ ලිංගික අප්‍රාණිකත්වය , ආහාර අජීර්ණය ගැටළු, මලබද්ධය, පිළිකා සහ ශරීර අභ්‍යන්තරයේ ඇතිවන විෂ ගෙඩි ආදී තත්ත්වයන්ට ප්‍රතිකාර සඳහාත්  එරබදු ශාකයේ කොළ, පොතු ඇට ආදී කොටස් භාවිතයට ගන්නවා.

එරබදු වර්ග දෙකක් දැකගන්නට පුළුවන් .ඒ එරබදු සහ යක් එරබදු වශයෙන් සාමාන්‍ය එරබදු ශාකයට වඩා යක් එරබදු ශාකයේ කටු ඉතාම බහුලව දකින්නට ලැබෙනවා. අඩි දහයක් විස්සක් තරම් උසට වැඩෙන එරබදු ශාකයේ කඳ අළු පැහැයකින් සමන්විතයි. පත්‍ර තුනක් එක්ට සම්බන්ධ වෙලා එරබදු කොළ නිර්මාණය වෙලා තියෙනවා. එය බෝ කොලයකට සමාන හැඩයක් ගන්නවා. මෙහි දළු පත්‍ර බූව සහිතයි. 

මේ එරබදු ශාකයේ දළු  විවිධ රෝගාබාධ සුවපත් කරගන්නට භාවිතයට ගැනෙනවා .විශේෂයෙන්ම එදා ලොකු පොඩි කාටත් ඇතිවෙන පණූ රෝගවලදී අත් බෙහෙත් විදිහට සෑම නිවසකම භාවිතයට ගත්තේ මේ එරබදු දලු.  මේ එරබදු දළුවල  එරිත්‍රීන්  නම් අල්කොලයිඩය  රෝගීන් සඳහා ගුණදායක වෙන්නට බලපාල තියෙනවා  

රසවත් පලා වර්ගයක් වුණු එරබදු නිසිපරිදි පිස ගන්නට එදා අම්මලා හොඳින් දැන සිටියා. මේ දල්ලේ ඇති තිත්ත රසය යන්නට මද උණු වතුරේ විනාඩි පහක් පොඟවා මිරිකා ගෙන හරි අපූරු ව්‍යාංජනයක් එහෙමත් නැත්තම් මැල්ලුමක් සකසා ගන්නටත් ඔවුන් දැන සිටියා. මේ රසවත් එරබදු ව්‍යංජනය සඳහා නොමේරූ කොළ භාවිතයට ගන්නවා. එරබදු දළු රසවත් සලාදයක් ලෙසත් මැල්ලුමක් ලෙස ආහාරයට ගන්නවා. තවත් විටක එරබදු මල් රසවත් මැල්ලුමක් ලෙසත් ආහාරයට එකතු කර ගනු ලබනවා. 

එරබදු දළු ගුණදායක  වෙන ආකාරය 

කුඩා දරුවන්ගේ පණු රෝග දුරුකරයි.

දද, කුෂ්ඨ රෝග සඳහා ගුණදායකයි. 

හිසරදයට ගුණදායකයි.

විසප්පු ගෙඩි සුවපත් කරන්නට උදව් වෙනවා.

කැස්ස, ඇදුම සහ හතිය ආදී රෝගවලට සහනය සලසයි.

උදරයේ වේදනා සුව කරයි.

අලස බව නැතිකර කරයි. 

මල බද්ධය දුරකර  ආහාර ජීරණ ගැටළු නැති කරගන්නට උදව් වෙයි.

ඔසප් චක්‍රය ක්‍රමවත්ව පවත්වාගෙන යන්නට දායක වෙයි.

ගෙඩි සහ පිළිකා සුව කරන්නට භාවිතා වෙයි.

රුධිරය පිරිසිදු කරයි.

වේදනා නසයි.

අක්ෂි රෝග සඳහා සුවය සලසයි.

ලිංගික බෙලහීනතාවය දුරු කරයි.

ඔසප් වේදනාව සමනය කරයි. 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. 

සන්ධිවල ඉදිමීම් සහ   උලුක්කුවලට සහනය සලසයි.

සර්ප විෂට ප්‍රතිකාර පිණිස භාවිතා කරයි. 

අපස්මාරය සඳහා ප්‍රතිකාර පිණිස භාවිතයට ගැනෙයි.

නින්ද නොයාමට ප්‍රතිකාර සඳහා භාවිතා වෙයි. 

මුත්‍රා ආසාදන සඳහා ගුණදායකයි. 

ඒ හැරුණාම රසායනාගාර පර්යේෂණ දත්තවලට අනුව සනාථ කරගෙන ඇති එරබදුවල ගුණ මෙසේ සදහන් කරන්නට පුළුවන්.

ඔසප් නතර වුණ කාන්තාවන්ගේ අස්ථිවල සිදුවන වෙනස්කම් වැළකීමේ හැකියාව.

මධ්‍යම ස්නායු පද්ධතියට බලපාන වලිප්පුව වැළැක්වීමේ හැකියාව

මුඛ කුහරයේ පිළිකාකාරක බැක්ටීරියා විනාශ කිරීමේ  සහ මුඛ සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ හැකියාව

පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව

කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාව 

රුධිරගත සීනි ප්‍රමාණය අඩු කිරීමේ හැකියාව

බැක්ටීරියා සහ වෛරස්වලට විරුද්ධව සටන් කිරීමේ හැකියාව

ගැඹුරු ශිරා සහ පෙනහලුවල රුධිර කැටි ඇතිවීම වැළැක්වීමේ හැකියාව

එරබදුවල ඖෂධීය භාවිතයන්  

වටපණු, කිරිපණු පටි පණු ආදී පණු රෝග සඳහා

 අලුත් එරබදු කොළ යුෂ අවුන්ස 2 මී පැණියෙන් ගෙන පානය කරන්න.

 එරබදු දලු මැල්ලුමක් හෝ කොළ ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගන්න.

 එරබදු ඇට හොඳින් වියළා කුඩුකර තේ හැඳි එකක ප්‍රමාණය උණු වතුර සමග එකතු කර පානය කරන්න.

සන්ධි ඉදිමුම සඳහා 

 එරබදු කොළ කොටා කහ සහ  ලුණු දමා මලවා ඉදිමුම් සහිත ස්ථානයේ බඳින්න.  ඒ වගේම ඉදිමුම් සහිත වණ  එරබදු කොළ සහ පොතු තම්බා සෝදාහරින්න. 

මාන්දම සඳහා

 එරබදු කොළ එකතු කරමින් සාදාගන්නා කොළ කැඳ පානය කිරීම මේ සඳහා ඉතාම ගුණදායකයි.

පීනස සඳහා

 හිසේ ගෑම සඳහා සිඳින ලද තෙල්වලට යක් එරබදු කොළ එකතු කිරීම මගින් පීනස  සුවපත් කරගන්නට පුළුවන්.

දද,  කුෂ්ට හෝ විසර ගෙඩි සඳහා 

එරබදු දලු මිටක් ගෙන හොඳින් තම්බා ඒ දියරින් තුවාල විසර ගෙඩි උදේ සවස දින කිහිපයක් සෝදා හැරීමෙන් මෙම ආසාදන තත්වයන් සියල්ල නැති කරගන්නට පුළුවන්. ඒ වගේම පොල්, දුම්කොළ සහ එරබදු කොළ සහ පොතු අඹරා ලිප තබා කකාරා ගෑමෙන් තුවාල සහ ඉදිමුම් සුව කරගන්න පුළුවන්.

විෂ කටු ඇනුණු  විට

 මේ අවස්ථාවකදී එරබදු කොළ සහ දළු තම්බා ගත් වතුරෙන් ඒ ස්ථානය සේදීමෙන් විෂ ඉවත්ව ගොස් තුවාලය ඉක්මනින් සුව පත් වෙනවා. දියවැඩියාව ආදී රෝග තත්ත්වයන් හේතු කරගෙන දිගුකල් පවතින තුවාලවල කබොල්ල ඉවත් කර තුවාලය පිරිසිදු කරන්නට එරබදු දළු මී පැණියෙන් අඹරා තුවාලය මත තැබිය යුතුයි.

 ආහාර ජීර්ණය නොවීම, වමනය සහ ආහාර අරුචිය සඳහා

 දිනපතා උදේ සවස එරබදු පොතු කෂායක් ලෙස පත අට එකට සිදුවා උදේට පත භාගයයි සවසට පත භාගය බැගින් දින කිහිපයක් පානය කරන්න. 

කිරි වර්ධනය සඳහා

 එරබදු කොළ ස්වල්පයක් මුට්ටියකට දමා එයට වතුර පත අටක් දමා හොඳින් තම්බා පත එක පදමට සිඳුණු පසු උදේ සවස පත භාගය බැගින් දින කිහිපයක් පානය කරන්න.

අස්ථි බිඳීම් ඉක්මනින් සුව කරගැනීම සඳහා

 එරබදු  පොතු කහ ලුණු සමව දමා හොඳින් කොටා මලවා අස්ථි බිඳීම්, හන්දි උලුක්කු වූ ස්ථානවල බැඳීමෙන් අස්ථි බිඳීම් ඉක්මනින් සුව කරගන්නට පුළුවන්. 

සිකනල් සහ ගෝනුසු විෂට

සෝදා පිරිසිදු කර ගත් එරබදු කොළ සිහින්ව ලියා ගන්න. එයට සිහින්ව කපාගත් රතු ලූනු, අමුමිරිස් ලුණු යොදා කලවම් කර මදගින්නේ විනාඩියක් පමණ මලවා ගන්න. 

දියවැඩියා රෝගීන් සඳහා

දියවැඩියාව සඳහා එරබදු කොළ යුෂ පානය කිරීමෙන් ඉක්මන් සුවය ලබා ගන්නට පුළුවන්.   

 නමුත් මල බුරුලට යන අයට නම් මේ එරබදු ආහාරයට ගැනීම එතරම් හිතකර නැහැ. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.