එක දවසක් ආහාරයට ගැනීමෙන් කිරි පණුවන් නැති වෙන බටකිරිල්ල අග්ගලා හදන විදිය

health tips

මේ ලක් දෙරණේ අපි ලොකු කුඩා සෑම රෝගයක් සඳහාම අද බටහිර ඖෂධ සොයා ගියත් එදා  ගැමියන් තමන්ගේ ලෙඩට දුකට අවශ්‍ය ඖෂධ  අවට වටපිටාවෙන් සපයා ගත්තා. මොකද අපේ පයට පෑගෙන සෑම පැලෑටියකම කුමන හෝ ඖෂධීය වටිනාකමක් පවතින නිසා. නමුත් අවාසනාව නම් තමන්ගේ ගෙවත්තේ ඇති පැලෑටි පිළිබඳවවත් නූතන පරපුරේ බොහෝ උදවිය නොදැන සිටීමයි. නමුත් මේ මහ පොළවේ කිසිදු ඔසු ගුණයක් නැති කිසිදු පැලෑටියක් නැහැ. වල් පැලෑටි ලෙස අපි හඳුනා ගන්නා බොහෝ පැලෑටි ලෙඩ රෝග බොහොමයක් සඳහා ඉතාම ගුණදෙන ඔසු පැල. ඉතින් අපෙන් දුරස්ව යන එවැනි ඔසු පැල අපේ භාවිතයට ගන්නට දුවා දරුවන් ඒ පිළිබඳව දැනුවත් කරන්නට හොඳම කාලය තමයි මේ .ඒ නිසාවෙන් අදත් අපි ඔබ සමඟ කතා කරන්නට සූදානම් වෙන්නේ එවැනි මහත් ගුණදායක එදා ගැමි ජනතාව බහුලව භාවිතයට ගත් ඖෂධ පැලෑටියක් පිළිබඳව.

ඒ තමයි බටකිරිල්ල . Ertthroxylaceae කුලයට අයත් බටකිරිල්ලව ශාකයේ උද්භිත විද්‍යාත්මක නාමය  Erythroxylum mooniihochr  වෙනවා. අපේ රටේ වගේම ඉන්දියාවෙත් මේ බටකිරිල්ල ශාකය දැක  ගන්නට හැකියාව තියෙනවා. බොහෝසෙයින් අතු බෙදෙමින් පඳුරක් ලෙස ගෙන වැඩෙන බටකිරිල්ල ශාකයේ පොත්ත ලා දුඹුරු පැහැයෙන් යුක්තයි. කුඩා ශාකයක් වන මේ බටකිරිල්ල ශාකය මීටර 5 ක පමණ උසකින් සමන්විතයි. අතු ඉතා සිනිඳු අතර මෙහි පත්‍ර  සෙන්ටිමීටර් 3.5- සෙන්ටිමීටර 9 දක්වා දිගින් යුක්තයි.මේ ශාකයේ පත්‍ර  ඉලිප්සාකාර හැඩයක් ගන්නා අතර මෙහි හට ගන්නා මල් සුදු පැහැයෙන් යුක්තයි. කොළ පැහැ ඵලය ඉදුණු පසු දීප්තිමත් රතු පැහැයෙන් සමන්විතයි. මේ ශාකයේ ඉදුණු ඵලය ආහාරයට ගන්නටත් පුළුවන්.  

ආයුර්වේදයේ වගේම හෙළ වෙදකම තුළත් මේ බටකිරිල්ල ශාකයේ කොළ, දලු සහ මල් ආදිය සඳහා භාවිතා  කෙරෙනවා. ඖෂධීය ගුණයෙන් යුක්ත මේ බටකිරිල්ල ශාකය යන්ත්‍ර මන්ත්‍ර  බලි තොවිල් ආදී කටයුතු සඳහාත් බොහෝවිට භාවිතයට ගනු ලබනවා. ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ මේ ශාකය වැඩි වශයෙන් භාවිතා කෙරුණේ දරුවන්ගේ වගේම වැඩිහිටියන්ගේ පණු රෝග එහෙම නැත්නම් ක්රිමි රෝග සඳහා. ඒ සඳහා මේ බටකිරිල්ල කොළ මැල්ලුම් වශයෙන් හෝ ව්යංජන වශයෙන් හෝ කොළ කැඳ වශයෙන් භාවිතයට ගත්තා. ඒ විතරක්  නෙවෙයි වියළාගත් මේ කොළවලින් අග්ගලා සාදා දරුවන්ට ලබාදෙන්නත් ඔවුන් අමතක කළේ නැහැ.

බටකිරිල්ල සතු ඖෂධීය ගුණ 

  • කිරි පණු රෝගය, පටි පණු රෝගය සහ  කොකු පණු  ආදී  පණු රෝග සුව කරනවා.විශේෂයෙන්ම කුඩා  දරුවන්ට පණුගායට ලබාදෙන සැර ඖෂධ වෙනුවට මේ බටකිරිල්ල ශාකය අපූරුවට භාවිතා කළ හැකියි. මොකද මේ බටකිරිල්ල ශාකයට පණුවන් විනාශ කිරීමේ අපූරු හැකියාවක් පවතිනවා. මේ සඳහා බටකිරිල්ල කොළ අව්වේ වියළා කුඩු කර ඒ චූර්ණය මී පැණියෙන් අනා කෑමට දීම සහ බටකිරිල්ල දළු චූර්ණය කලං 6 ක් හා බැදි හාල් කුඩු කලං 2 ක් සමඟ මී පැණියෙන් අනා දින 3 ක් ආහාර ගැනීමෙන් පසු  ආහාරයට දීමෙන් වටපණුවන් විනාශ වන බව සඳහන් වෙනවා.
  • බටකිරිල්ල අග්ගලා කුඩා දරුවන්ගේ පණු  රෝග සඳහා මේ බටකිරිල්ල ශාකයේ පොතු කශාය කර දෙන අතර බටකිරිල්ල කොළවලින් තැනූ අග්ගලා ද දරුවන්ගේ පණු  රෝග සඳහා ලබාදෙනු ලැබුවා. එය පණුවන් වැටීම සඳහා ගම්බද වැඩිහිටි උදවිය දරුවන්ට සඳහා දෙන ආහාරයක්. මේ බටකිරිල්ල අග්ගලා කිහිප ආකාරයකට සාදා ගන්නට  පුළුවන්. බටකිරිල්ල කොළ, බැදගත් වළගසාල් සහ ඉඟුරු චූර්ණ කර බැදිහාල් කුඩු දමා පොල් පැණි දමා අනා අග්ගලා සාදා උදෑසන  ආහාරයට දරුවන්ට ලබාදෙනවා.ඒ වගේම වළගසාල්, අසමෝද්ගම්, වී පොරි, බටකිරිල්ල කොළ වියලි ඉඟුරු එක පමණ ගෙන හොඳින් කුඩුකර ඒ පිටි එක තරමට ගෙන පොල් පැණි මිශ්‍ර කර අග්ගලා මෙන් සාදා එක බැගින් ආහාරයට ලබා දෙනවා.ඒ වගේම බටකිරිල්ල කොළ පොල් හකුරු හෝ කිතුල් හකුරු සමඟ අනා නෙල්ලි ගෙඩියක ප්‍රමාණ ගුලියක් උදෑසන හිස්බඩ ආහාරයට ගැනීමත් ගුණදායකයි.
  • මාන්දමට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නවා.විශේෂයෙන්ම පණුවන් වැටීමට, උදරය විශාල වීම සඳහා වගේම මාන්දමටත් මේ බටකිරිල්ල කොළ භාවිතයට ගන්නවා. වළගසාල්, අරළු, බුළු , නෙල්ලි තිවර්ග අතිඋඩයන් , සුදු ලූණු,  සූදුරු, අසමෝදගම්, දැත්ත අල , ඇහැල දළු, කළද බැගින් ගෙන තිරස්සවාලු  බටකිරිල්ල දලු අලං 2 ½ බැගින් ගෙන මී පැණි සමඟ දීම ඉතා ගුණදායකයි. 
  • වාතය සහ පිත නසන ගුණයෙන් සමන්විත වෙනවා.
  • සෙම් වඩන ගුණයෙන් ද සමන්විතයි.
  • වමනය සඳහා ගුණදෙනවා.
  • කුඩා දරුවන්ට නිතර වැලදෙන පණු රෝගවලට ඉතාම ගුණදායක මේ ශාකය සෑම ගෙවත්තකම තිබිය යුත්තක්. මොකද දේහයට අහිතකර ලෙඩරෝග ඇතිකරන පණුවන් සියල්ල ශරීරයට බලපෑමක් ඇති නොවන ආකාරයෙන් බැහැර කරන්නට මේ බටකිරිල්ල කොළවලට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ශාකයේ  අලංකාර බව නිසාම එය විසිතුරු ශාකයක් ලෙසටත් ඔබේ ගෙවත්තට අලංකාරයක් ගෙන දෙන්නටත් මේ බටකිරිල්ල ශාකයට හැකියාව තියෙනවා.