උදෑසන හිස්බඩට පානය කිරීමෙන් වකුගඩු ගල් පවා ඉවත් වෙන ස්වභාවික පානයක්

health tips

දිනපතා උදෑසන හිස්බඩ ලෙමන් වතුර වීදුරුවක් පානය කිරීමට පුරුදු වීමෙන් පුදුම හිතෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ‍රැසක් ඔබට අත්කරගත හැකි බව ආයුර්වේදයේ මෙන්ම බොහෝ අධ්‍යයන මඟින් පවා සොයාගෙන තිබෙයි.ලෙමන් යනු විටමින් C වලින් අනූන පලතුරක්.මේවා ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ලෙස සිරුර තුළ ක්‍රියාකරමින් එහි නීරෝගී බව වඩවයි.සම සඳහා බාහිර සත්කාරයක් ලෙසත් ලෙමන් වලින් බොහෝ ප්‍රයෝජන තිබෙයි.ලෙමන් වල ඇති සිට්‍රික් අම්ල වල ප්‍රතිබැක්ටීරියා හා ප්‍රතික්ෂුද්‍රීය ගුණාංග මඟින් ආමාශය හා බඩවැල් පිරිසිදු කර නීරෝගි කරයි. මෙය සිරුරේ ශක්තිය වඩවන පානයක් ලෙස ද සැළකෙයි. ඇතැම් අය උණුසුම් වතුර වීදුරුවකට ලෙමන් යුෂ තේ හැඳි කිහිපයක් එක්කර පානය කිරීමට පුරුදුව සිටිනවා. ලෙමන් වතුර පානය කිරීම හැර පාන වර්ග සඳහා ලෙමන් භාවිත කළ හැකි තවත් ක්‍රම තිබෙනවා.සිරුරට ප්‍රතිලාභ දෙන ලෙමන් මිශ්‍ර වෙනත් පාන වර්ග සහ ඒවායේ වැදගත්කම ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ.

ග්‍රීන් ටී සමඟ ලෙමන්-උදෑසන ඔබ පානය කරන ග්‍රීන් ටී කෝප්පයට ලෙමන් යුෂ එක්කරගැනීම ඔබේ හෘද සෞඛ්‍ය වඩවන හොඳ පුරුද්දකි.විටමින් වල පොටෑසියම් ඛනිජ ලවණ ද යහමින් අඩංගුයි. මේවා මඟින් රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමින් පවත්වාගැනීමට හොඳ සහයක් ලබාදෙයි.එමෙන්ම ස්නායු උත්තේජනය වැඩිකරයි.ලෙමන් ගෙඩියක පොටෑසියම් මිලිග්‍රෑම් 80ක් පමණ අඩංගුය.කෙණ්ඩා පෙරළීම් වැනි පේශී කැක්කුම් වලට ක්ෂණික සහනයක් සලසයි.

බර අඩුකරන ලෙමන් වතුර-ලෙමන් වල ඇති පෙක්ටීන් නම් සංඝටක බඩ පිරුණු ගතියක් දනවයි. එම නිසා නිතර බඩගිනි වීම පාලනය වේ. ලෙමන් වතුර පානය කරන විට බඩගින්න අඩුවීයයි.එම නිසා ආහාර පාන ගන්නා ප්‍රමාණය ද වෙනදාට වඩා අඩුවෙයි. මෙය සිරුරේ බර අඩුවීමට හොඳ සහයක් ලබාදෙයි.‍රැයක් පුරා පෙ‍ඟෙන්නට තැබූ චියා ඇට වලින් මේස හැඳි 1-2ක් පමණ ලෙමන් වතුර වීදුරුවට මිශ්‍ර කර පානය කිරීමෙන් වැඩි වෙලාවක් බඩගිනි ඇති නොවී කාලය ගෙවා ගැනීමට ඔබට හැකිවෙයි.බර ආහාර ගැනීමේ ප්‍රවණතාව අඩුවෙයි.ලෙමන් මේද දහනක ගුණයෙන් යුක්ත නිසා අවලස්සන ලෙස නෙරා ඇති බඩ අඩුකරගැනීමට ද හොඳ සහයක් ලැබෙයි.

සමේ තරුණ බව වඩවන ලෙමන් මිශ්‍ර එළවළු පානය-ලෙමන් මඟින් සිරුරේ ඇති කොලැජන් මට්ටම් වැඩිකරයි.මේවා සමේ නම්‍යශීලී බව හා සවිමත් බව ආරක්ෂා කරන ප්‍රෝටීනයකි. මෙම පානය දිනපතා ලබාගැනීමෙන් සම ‍රැළි වැටීම, ඉරි තැලීම බොහෝ දුරට පාලනය කරගත හැකි වේවි. සමට ස්වභාවික දීප්තියක් එක්වෙයි.විටමින් C වස විස ද්‍රව්‍ය නසයි. එමෙන්ම කුරුලෑ ,බිබිලි වැනි ආසාදන වළකයි.

සමට හිතකර ලෙමන් මිශ්‍ර පානයක්:වතුර කෝප්ප 1කට බීට් රූට්, කැරට් සහ තක්කාලි කෝප්ප 1/2 බැගින් එක්කරන්න. ඊටම පිපිඤ්ඤා පෙති 4ක් සහ ලෙමන් ගෙඩි බාගයක යුෂ එක්කරන්න.බ්ලෙන්ඩර් කප් එකකට දමා යුෂ පානයක් ලෙස සකසාගන්න.දිනපතා උදෑසන මෙය පානය කිරීමෙන් සමේ නීරෝගී රෝස පැහැය වර්ධනය වී කුරුලෑ ස්වභාවය දුරු වී යනු ඇත.

ප්‍රතිශක්තිය වඩවන ලෙමන් මිශ්‍ර ඉඟුරු  පානය-ලෙමන් වල විටමින් C බහුලයි.ඒවා මඟින් සිරුරේ සුදු රුධිරාණු ප්‍රමාණය වැඩි කරමින් ප්‍රතිශක්තිය වඩාත් ප්‍රවර්ධනය කරයි. සිරුරට හානිකර රෝගකාරක හා ආගන්තුක ද්‍රව්‍ය වලට එරෙහිව සටන් කර ඒවා විනාශ කරමින් සිරුර ආරක්ෂා කිරීමට මූලිකත්වය ගන්නේ මෙම සුදු රුධිර සෛලයි.වෛරස හා බැක්ටීරියා නසන ප්‍රතිදේහ නිපදවීම වැඩිකරයි.මේ සඳහා ප්‍රතිප්‍රදාහක හා ප්‍රතිඔක්සිකාරක බහුල ඖෂධීය ඉඟුරු ඔබට භාවිත කළ හැකියි.

පිරිසිදු කරගත් ඉඟුරු කැබලි 1ක් ,ලෙමන් ගෙඩි බාගයක යුෂ බ්ලෙන්ඩර් කප් එකට දමන්න, වතුර මේස හැඳි 3-4ක් සහ කහ කුඩු ඉතා ස්වල්පයක් දමා මිශ්‍ර කරවන්න. පසුව කෝප්පයකට පෙරාගන්න.උදෑසන හිස්බඩ පානය කරන්න. අවශ්‍ය නම් මී පැණි ස්වල්පයක් ඊට එක්කර රසවිඳින්න.වැඩිපුර සකස් කරගත් මිශ්‍රණයක් සතියක් පමණ ශීතකරණයේ කල්තබගත හැකියි.

සිරුර ක්ෂාරීය කරවන පානයක්-ලෙමන් යනු ස්වභාවිකව ම ආම්ලික ගතියෙන් යුතු පලතුරකි.කෙසේවෙතත් පරිභෝජනය කළ පසු, ජීර්ණ ක්‍රියාවලියට නතු වූ පසූ ඒවා ක්ෂාරීය සංඝටක බවට පරිවර්තනය වෙයි.මේ ආකාරයෙන් ඒවා සිරුරේ pH මට්ටම් නියාමනයට දායක වෙයි.සිරුර ක්ෂාරීය කරවන ,එසේත් නැතිනම් ආම්ලිකබව උදාසීන කරවන පානයක් සකසා ගන්නේ මෙහෙමයි:

කාමර උෂ්ණත්වයේ ඇති වතුර කෝප්ප 4-5 ක් පමණ ජොග්ගුවකට පුරවන්න. ඊට ලෙමන් ගෙඩියක් කුඩා පෙති කපා එක්කරගන්න.ලුණු ස්වල්පයක් ද දමා කළවම් කරන්න.දවස පුරා විටින් විට උගුරු බැගින් මෙය පානය කරන්න.මෙම පානය මඟින් ඔබේ සිරුරේ විෂහරණය කරයි.සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට ඇතැම් අම්ල ඉතා වැදගත්. එම නිසා මේවා ඔනෑවට වඩා පානය නොකළ යුතුයි.

වකුගඩු ගල් ඉවත්කරන පානයක්-ලෙමන් වතුර පානය කිරීම වකුගඩු වල ගල් හටගැනීමේ අවදානම වළකයි.ලෙමන් වල අඩංගු සිට්‍රේට් කැල්සියම් සමඟ බන්ධනය වී මෙවැනි වකුගඩු ගල් වර්ධනය වීමේ ඉඩකඩ අවහිර කරයි.මේ සඳහා හොඳම පානය වන්නේ ලෙමනේඩ්ය.දිනපතා ලෙමනේඩ් වීදුරු 2ක් පමණ පානය කිරීමට පුරුදුවන්න.මෙය වකුගඩු වල ගල් සෑදී ඇත්නම්, ඒවා දියකර හැරීමට ද උපකාරී වෙයි.මූත්‍රා ආසාදන ද වළකයි.