අපි ලෝකය දකින ඇස් දෙක ජීවිත කාලය පුරාම පරෙස්සම් කරගත්තොත් ඇස් පෙනීමේ දුර්වලතා සහ ඇස් ආශ්‍රිත බොහොමයක් රෝග වළක්වා ගන්නට පුළුවන්. නමුත් අද වැඩිහිටි ප්‍රජාවට වගේම කුඩා දරුවන් අතරත් ඇස් ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වී තියෙනවා. අද වැඩි වශයෙන් දුරකථනය, පරිගණයක් හෝ රූපවාහිනිය ආදී තාක්ෂණික මෙවලම් සමඟ ගැටීම වැඩිවීම ඒ සඳහා ප්‍රබල හේතුවක් බවට පත්ව තියෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ ඇස් ආශ්‍රිතව බොහෝදෙනෙක් පීඩා විදින රෝගයක් ලෙස හඳුනා ගෙන තියෙන ඇස්වලින් කඳුළු ගැලීම පිළිබඳව.
අපේ ශරීරයේ ඇති අනෙක් සෑම අවයවයකම ආරක්ෂාව වගේම ඇසේ ආරක්ෂාව වෙනුවෙන් පවා බොහෝ දේ සකස් වෙලා තියෙනවා. ඇස් පිහාටු වගේම ඇසේ කඳුළුත් ඒවාගේ ඇසට ආරක්ෂාකාරී කෘත්‍යයන් ඉටු කරන අංගයන්. විශේෂයෙන්ම ඇසේ කඳුළු ගැලීම සාමාන්‍ය තත්ත්වයක්. විශේෂයෙන්ම කඳුළුවලින් ඇසට ඇතුළු වුණු කුණු විෂබීජ ආදිය ඉවත් කිරීමක් සිදු කරනු ලබනවා. නමුත් ඒ සාමාන්‍ය ක්‍රියාවලිය හැරුණාම පොතක් දෙස බලා සිටියදී හෝ රූපවාහිනිය දෙස බලා සිටියදී හෝ ඇස්වලින් කඳුළු ගැලීමේ තත්ත්වයන් ඇතිවීම පිළිබඳව ඔබ අසා ඇති. ඒ වගේම ඇතැම්විට ඔබත් ඒ තත්ත්වයෙන් පීඩා විදින්නටත් පුළුවන්. එසේ නිතරම ඇසේ කඳුළු ගැලීමක් සිදු වෙන්නේ කුමන හේතුවක් පාදක කරගෙන ද යන්න විමසා බලමු.
මේ කඳුළු නිතරම ගැලීම කුඩා දරුවන් අතරේ වගේම වැඩිහිටියන් අතරෙත් සුලබව දකින්නට හැකි තත්ත්වයක්. සාමාන්‍යයෙන් ඇසේ නිතරම කඳුළු ගැලීමට එක් ප්‍රධානම හේතුව වෙන්නේ ඇසේ නාල සිරවීමක් හේතුවෙන් මේ නිසා කඳුළු ඇස තුළ තිබී බොඳවී පෙනීම නැතිවෙනවා. ඇතැම්විට කඳුළු පහළට කම්මුල් දිගේ ඉබේම බේරී යන්නත් පුළුවන්. එ හැරුණාම තවත් අයෙකුට එක් ඇසකින් පමණක් කඳුළු ගැලීම ඇති වෙන්නට පුළුවන්.මෙය ඇසේ යම් ගැටළුවක් ලෙස නිශ්චය කරගත හැකි වෙන්නේ මේ කඳුළු ගැලීම මාසයක සිට වසරක කාලයක් දක්වා දිගින් දිගටම පවතින විටදී. එවැනි අවස්ථාවක වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙනවා.
ඇස්වලින් කඳුළු ගැලීමට බලපාන හේතු

- උපතින් ඇසේ නාල කැඩී තිබීම හෝ නාල අසම්පූර්ණ වී තිබීම මෙය බොහෝවිට කුඩා දරුවන්ගේ ඇස්වල කඳුළු ගැලීමට බලපාන හේතුවක්. නාල සම්පූර්ණ නොවීමක් හෝ උපතින්ම එසේ නාල කැඩීමක් සිදුව ඇතිවිටෙක ඒ නාල තදවී කඳුළු ගැලීමක් සිදු වෙනවා.ඇසේ මූල සම්බාහනය කිරීමෙන් හෝ සැත්කමක් මගින් හෝ මෙය සුවකර ගන්නට හැකියාව පවතිනවා.
- ඇසේ නාල තදවීම මෙය මැදිවියේ පුද්ගලයන් බොහෝදෙනෙකුට ඇස්වලින් කඳුළු ගැලීමට හේතුවෙන කාරණයක්. මේ තත්ත්වයේදී තනි ඇසකින් කඳුළු ගැලීමක් වුණත් ඇති වන්නට හැකියි.එහිදී සැත්කමක් මගින් එය සුව කළ යුතු වෙනවා.
- ඇසේ ඇතිවන තුවාල ඇසට සිදුවන අනතුරක් නිසාවෙන් තුවාලයක් ඇතිවිටෙක කඳුළු ගැලීමක් සිදු වෙන්නේ ඇසේ ග්‍රන්ථි, නාල කැඩීයාම හේතුවෙන්. ඒ හැරුණාම බැක්ටීරියා, දිලීර, වෛරස් වැනි ආසාදන හේතුවෙන් ද ඇති වන්නට පුළුවන්. තවද සති 6 ත් අවුරුදු 2 ත් අතර කුඩා දරුවන් අතර විටමින් ඌණතා හේතුවෙන් ද මේ තුවාල ඇති වන්නට පුළුවන්.
- මානසික ආතතිය
- හිසරදය
- බොහෝවේලාවක් පොත් හෝ දුරකථන හෝ පරිගණක ඇස් ආසන්නයේ තබා ගෙන වැඩ කටයුතු කිරීම
වැඩි වේලාවක් ඇස ආසන්නයේ පොතක් තබාගෙන පාඩම් කිරීම හෝ වෙනත් ඩිජිටල් තිරයන් දෙස වැඩිවේලාවක් බලා සිටීම නිසා ඇස්වලින් කඳුළු ගැලීමක් වගේම ඇස්වල වේදනාවක් ඇතිවෙන්නට පුලුවන්. සෑම විනාඩි 30 කින් පසුව පොතෙන් හෝ ඩිජිටල් තිරයෙන් දෑස් ඉවතට ගෙන හොඳින් ඇස්පිය ගසා ඇස් නිදහස් කරගැනීම තුළින් මේ අපහසුතාවය බොහෝදුරට මගහරවා ගන්නට පුළුවන්.එවිට ඇසේ මාංශපේශී ලිහිල් වී ඒ අපහසුතාවයන් මගහැරී යනවා.

- අක්ෂි පටල ප්‍රදාහය මෙහිදී ඇසේ උඩු හා යටි පියන් ඇතුල් පැත්තෙන් ආවරණය කරන සහ ඇසේ සුදු ඉංගිරියාව ආවරණය කරන ශ්ලේෂ්මල පටලය ප්‍රදාහයට ලක්වීම සිදුවන අතර වේදනා රහිත මේ තත්ත්වයේදී ඇස් රතුවීම, කබ හෝ කදුළු ගැලීම ඇතිවෙන්නට පුළුවන්. මේ සඳහා බහුලවම හේතුවන්නේ වෛරස් ආසාදන හා ආසාත්මිකතාවයන්.
- පාරම්පරික ඖෂධ භාවිතය හා මාසයක පමණ කාලයක් භාවිතය සඳහා විවෘත කරන ලද ඇස් සඳහා භාවිතා කරන ඖෂධ වර්ග නැවත භාවිතා කිරීම
මේ හේතු නිසාවෙන් ආසාත්මිකතා ඇතිවී ඇස් රතුවී කඳුළු ගැලීමක් ඇති වෙන්නට පුළුවන්. අද බොහෝදෙනෙක් පීඩා විදින එදිනෙදා කටයුතු කර ගැනීමට අපහසු වන කඳුළු ගැලීම බොහෝවිට සිදුවන්නේ ඇස්වල කඳුළු වියළීම නිසාවෙන්. යමක් දෙස බොහෝවේලා බලා සිටීමේදී ඇස්පිය ගසන වේගය අඩුවීම නිසා ඇසේ කඳුළු වියළීම් සිදු වන්නට පුළුවන්.ඒ නිසා රූපවාහිනිය නැරඹීමේදී පොත් පත්තර බැලීමේදී ඇස්වලින් කඳුළු වියලී රිදීමක් ඇතිවෙනවා. කඳුළු ඒමත් සමඟ ඇස්වල වේදනාවක් ඇතිවීමකදී රතුවීමකදී වෛද්‍යවරයෙකු හමුවීම අවශ්‍ය වෙනවා.
ඩිජිටල් තිර දෙස දවසේ වැඩි වේලාවක් බලා සිටින අයෙකු නම් හෝ නිතර කියවන ලියන අයෙක් නම් හෝ සෑම විනාඩි 20 වරක්ම එයින් දෑස් ඉවතට ගෙන ඈත ඇති වස්තුවක් දෙස තත්ත්පර 20 ක් බලා සිටීමත් හොඳින් ඇසිපිය ගැසීමත් වරින් වර ජලය පානය කිරීමත් කළ යුතුයි. එමගින් ඇස් වියළීම අවම කරගත හැකි කදුළු ගැලීම, වේදනා ඇතිවීම එයින් බොහෝදුරට සමනය කරගන්නට පුළුවන්. නමුත් ඒ හැරුණාම දීර්ඝකාලයක් ඇස්වලින් කදුළු ගැලීමේ තත්ත්වයන් පවතින විට වෛද්‍යවරයෙකු හමුවී පරික්ෂා කරවා ගත යුතු වෙනවා.