ෆෝන් එක ලැප් එක සමඟ නිතර ගැටෙන ඔබේ ඇස්වල සෞඛ්‍ය වැඩි කරගන්නට කල හැකි ප්‍රතිකාර

health tips

 අපේ ශරීරයේ ලෝකය දකින්නට තියෙන එකම ඉන්ද්‍රිය තමයි අපේ ඇස් දෙක. ඒ වගේම තමයි වැඩිපුරම වෙහෙස වන ඉන්ද්‍රිය වෙන්නෙත් මේ ඇස්. මොකද අපි අවදි වෙලා ඉන්න හැම අවස්ථාවකම දෑස්   වෙහෙසෙනවා. අපේ ජීවිතයට  මේ ඇස්වලින් ලබාදෙන දායකත්වය කියා නිම කරන්න බැහැ.  අපේ ශරීරයේ ඉතාම වැදගත් අපිට නැතුවම බැරි මේ ඉන්ද්‍රිය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීම නම් අද අපිට අභියෝගයක්.

මොකද පරිගණකය, දුරකථනය, ලැප්ටොප් එක ආදී මෙකී නොකී ඉලෙක්ට්‍රොනික උපාංග එක්ක අපි ගැටෙන කාල වේලාව වැඩියි. මේ නිසා අපේ දෑස් වැඩි වශයෙන් වෙහෙසෙනවා. විශේෂයෙන්ම කොරෝනා වසංගතයත් එක්ක රැකියා කටයුතු වගේම අධ්‍යාපන කටයුතු ආදී සියල්ලම මාර්ගගත ක්‍රමයට සිදු කෙරෙන නිසා වැඩිහිටියන්ට විතරක් නෙවෙයි පාසැල් යන වයසේ දරුවන්ටත් අක්ෂි ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු වැඩියි. ඉතින් මේ ඇස් දෙක පණ වගේ රැකගන්නට නම් අපිට මෙන්න මේ කරුණු ගැන අවධානය යොමු කරන්නට සිද්ධ වෙනවා. ඉතින් අපි අද කතා කරන්නේ ඇසේ සෞඛ්‍ය වැඩිදියුණු කරගන්නට  උපකාරී වන ක්‍රම කිහිපයක් පිළිබඳව.

 ඇසට විවේකයක් ලබාදෙන හොඳම ක්‍රමය තමයි දෛනිකව ප්‍රමාණවත් පරිදි සුවදායි නින්දක් ලබා ගැනීම. ඒ වගේම රාත්‍රී කාලයේදී අපහසුවෙන් නිදිවැරීම හොඳ නැහැ. ඒ නිසා  වැඩ කරන්නට හොඳම කාලය වෙන්නේ භ්වභාවික හිරු එළිය තියෙන දහවල් කාලයේදී.

ඒ වගේම  ඉලෙක්ට්‍රොනික උපකරණ සමඟ වැඩ කරද්දි  සෑම විනාඩි 20 කටම වරක් වරින් වර දුරින් ඇති වස්තුවක් දෙස බැලීමත් ඇස්වල නිරෝගී බවට හේතු වෙනවා. බොහෝ වෙලාවට ඒකාකාරීව පොතක් පත්තරයක් බලන වෙලාවක වුණත් සෑම විනාඩි විස්සකට වරක් හෝ ඈතින් පිහිටි වස්තුවක් දෙස බැලීමට යොමු වුණොත් ඇසේ විඩාව නැති කරගන්නට හැකියාව ලැබෙනවා. 

ජල ප්‍රතිකර්මය

 ඇස් නිරෝගිව තියා ගන්නට නම් මේ  ජල ප්‍රතිකර්මයය හරිම වැදගත්.  දෙනෙත් පියාගෙන මුහුණට ඇල් ජලය ඉසින්න පුළුවන්. මේ සඳහා ඔබට ජලය ඉසින උපකරණයක් හෝ දෑත් භාවිතා කරන්න පුළුවන්. ඉන්පසුව මේ ජලය පිස දැමීමකින් තොරව ස්වභාවිකව වියළි යනතුරු ඉඩ හරින්න.

අව් කණ්ණාඩි භාවිතය

වැඩි දෙනෙක් අව් කණ්ණාඩි භාවිතයට යොමු වෙන්නේ වයස අවුරුදු විස්ස ඉක්මවීමෙන් පසුව වුණත්   දරුවන්ට පවා දැඩි හිරුඑළියෙන් ඇස් ආරක්ෂා කරගන්නට අව් කණ්ණාඩි පැළඳීම අත්‍යවශ්‍යයි. සූර්යාගෙන් නිකුත් කරන පාරජම්බුල කිරණ ඇස්වලට හානි කරනවා. ඒ නිසා මේ කිරණවලින් සීයට සීයක් ආරක්ෂාව සලසන ආකාරයේ අව් කණ්නාඩි භාවිතා කිරීම අනිවාර්යයි. ඒ වගේම පිටතට යාමේදී හිස්වැසුමක්, කුඩයක් ආදිය භාවිතා කිරීම ඇස් වලට වන හානිය අඩු කරගන්න පුළුවන්. 

සම්බාහනය

 මුහුණ වගේම දෙනෙත් සම්බාහනය කිරීම මගින් ඇස්වල  සෞඛ්‍යය තත්ත්වය යහපත් අතට පත් කරගන්නට පුළුවන්. මේ  සඳහා කපු ලේන්සුවක් මද උණු වතුරේ ගිල්වා ගෙන එය භාවිතා කරමින් කම්මුල්, නලල සහ ගෙල ප්‍රදේශය තවාගන්න. නමුත් මෙයින් දෑස් තැවීම සිදු කරන්නට එපා. ඉන්පසුව ඇඟිලි තුඩු භාවිතා කරමින් නළල සහ ඇස් පිහාටු මෘදු ලෙස සම්බාහනය කරන්න. මෙයින් දෙනෙත්වල විඩාව මග හැරී මාංශපේෂි ඉහිල් වීම සිදුවෙනවා.

දෙනෙත් රිද්මයානුකූලව චලනය කරන්න

 දෙනෙත් රිද්මයානුකූලව චලනය කිරීම මගින් ඇස්වල පේශීන් ඉහිල් වීමට ලක්වෙනවා. එයින් ඇස්වල ඇති වේදනාව නැති කරගන්න පුළුවන්. 

දෙනෙත් සඳහා ඇති    ව්‍යායාම්වල නිරත වෙන්න 

අක්ෂි කාච පැලඳගෙන නින්දට යන්නට එපා.

 ඔබ ඇස්වලට කාච පළදින අයෙක් නම් ඒවා සමග නින්දට යාම ඇසට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු කරන්න වගේම එමගින් ආසාදන ඇති කරන්නටත් හේතු වෙනවා. ඒ නිසා  නින්දට පෙර කාච ගලවා ඉවත් කරන්න. 

අධික ආලෝකයෙන් ඈත් වෙන්න.

 අධික ආලෝකයක් විහිදවන විදුලි බල්බ භාවිතයෙන් වැළකීම වගේම රාත්‍රී කාලයේ දී  පරිගණකය වගේම දුරකථනයේ  brightness level එක අඩු කර භාවිතයට ගන්නට කටයුතු කළොත් එය ඇස්වල නිරෝගි බවට බෙහෙවින් උදව්වක් වේවි.

නින්දට පෙර හොඳින් මේකප් ඉවත් කරන්න.

 විශේෂයෙන්ම මස්කාරා, අයිලයිනර්  සහ අයිෂැඩෝ නින්දට පෙර හොඳින් ඉවත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. නැත්නම් ඇහි පිහාටු පාමුල ඇති කුඩා තෙල් ග්‍රන්ථි අවහිර වීමේ අවදානමක් නිර්මාණය වෙනවා. මේකප්  සමග නින්දට යාමෙන් ඇස්වල බැක්ටීරියා වර්ධනය වීම සහ  ආසාදන ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඇස් වලින් කඳුළු ගැලීම සහ  ඇස්වල වේදනාව ආදිය ඇති වෙන්නට පුළුවන්.

ඇස් සේදීම

 සමන්පිච්ච මල් හොඳින් සෝදා ජලයේ දමා රැයක් තබා පසුදින උදෑසනම වතුරෙන් දෑත් සේදීමත් ඇස්වල විඩාව නැතිකර සෞඛ්‍ය සම්පන්න බව වැඩි කරගන්නට උදව් වෙනවා.

 වියළි නෙල්ලි ඇට තලා සාදාගත් කුඩු උතුරන දියට දමා පෙරාගත් වතුර ඇස් සේදීම සඳහා භාවිතා කරන්නටත් පුළුවන්. 

කෝමාරිකා ආලේපය

 ඇස්වල අධික වෙහෙස විඩාව නැතිකර ගැනීම සඳහා කෝමාරිකා පත්‍රවල ජෙල් කොටස ඇස් මත විනාඩි කිහිපයක් තබා ගැනීමෙන් සහනය ලබා ගන්නට පුළුවන්.  

ඇස්වල සෞඛ්‍ය තත්ත්වය වැඩි කරන හොඳ ආහාර වේලක් ලබා ගන්න.

ප්රතිඔක්සිකාරක, විටමින්, ඔමේගා ත්‍රී මේද අම්ල ඇස්වල සෞඛ්‍ය තත්ත්වය වැඩි කරන්නට උදව් වෙනවා. නිවිති, ගෝවා විටමින් සී අධිකව ඇති එළවළු පලතුරු, විටමින් ඊ අධික ගෙඩි වර්ග සහ ඇට වර්ග බිත්තර කෙලවල්ලා ආදී මාළු වර්ග ආහාරයට නිතර එකතු කර ගැනීම ඇස්වල  සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වා ගන්නට උදව් වෙනවා