උදුපියලිය පිළිබඳව බොහෝ අය අසා ඇති. දැක ඇති.නමුත් එහි අන්තර්ගත ඖෂධීය ගුණයන් පිළිබඳව නොදන්නවා ඇති. ඒ නිසාම මේ උදුපියලිය සතු මහඟු ගුණයන් පිළිබඳව කතා කරන්නට අපි සිතුවා. මේ උදුපියලිය පොළවට සමාන්තරව වැල් ආකාරයෙන් ස්වභාවිකව වැවෙන ශාකයක්.මෙහි මල් දම් පැහැයකින් යුක්තයි. උදුපියලිය Fabaceae කුලයටයි අයත් වෙන්නේ.නමුත් උදුපියලිය වර්ග කිහිපයක්ම දකින්නට තියෙනවා.හීන් උදුපියලිය, මහ උදුපියලිය, ඇත් උදුපියලිය වශයෙන් ඒවා හඳුනා ගන්නට පුළුවන්. හීන් උදුපියලිය සහ මහ උදුපියලිය ඖෂධීය ගුණයෙන් යුතු වන අතරම ඇත් උදුපියලිය ඔසු සඳහා යොදා නොගන්නා බවයි සඳහන් වෙන්නේ. මේ හීන් උදුපියලිය බෙහෙත් උදුපියලිය හා කැඳ උදුපියලිය යන නමිනුත් හඳුන්වනවා.
උදුපියලිය බහු වාර්ෂික පැලෑටියක්.මේ ශාකය පුරාම සියුම් බූවක් දැක ගන්නට පුළුවන්.ඵලය කුඩා කරලක් ලෙස දකින්නට පුළුවන්.උදුපියලිය ශරීරයේ ලෙඩ රෝග රැසකටම ගුණදායක ඖෂධීය පැලෑටියක්.උදුපියලිය මත පාවහන් නොමැතිව ඇවිදයාමෙන් පවා අපේ සිරුරේ ලෙඩ රෝග බොහොමයක් සුව කරගන්නට තරම් සුවිශේෂී හැකියාවක් උදුපියලිය සතු වෙනවා. අපේ පැරණි මුතුන් මිත්තන් උදුපියලිය මත නිරුවත් දෙපාවලින් ඇවිදීමෙන් ආයුෂ වර්ධනය වන බවටත් අක්ෂි රෝග සියල්ල සුවපත් වන බවටත් විශ්වාස කළා.
ඖෂධීය ගුණ

- උදුපියලිය කැඳ පානය කිරීමෙන් සෙංගමාලය සුව කරයි.
- ශරීරයේ උෂ්ණත්වය පාලනය කර සිරුරේ විෂ ඉවත් කරයි. ශරීරය සිසිල් කරයි.
- ආමාශයේ දැවිල්ල, උගුරට ඒම සඳහා උදුපියලිය කැඳ සුවයක් ලබාදෙයි.
- ඇස් රෝග නසා ඇස්වල පෙනීම ඇති කරයි.
- කුඩා දරුවන්ගේ කෑම අජීර්ණයට වගේම ආහාර රුචිය වඩන්නටත් හීන් උදුපියලිය යුෂ ස්වල්පයක් පානය කරන්නට දීම සුදුසුයි.
- උදුපියලිය මද රස්නේ වේලා කුඩු අරගෙන කෝපි පානයක් සේ භාවිතා කිරීමෙන් බඩ පිපුම ආදී උදරයේ රෝග තත්ත්වයන් සමනය කරයි. ඒ වගේම උදුපියලිය කුඩුවලට උළුහාල් කුඩු තේ හැදි භාගයක් දමා තේ මෙන් පානය කිරීම මධුමේහය නිසා ඇතිවන පිපාසයටත් ගුණදායකයි. මෙය සතියකට දෙවරක් පානය කිරීම ප්‍රමාණවත්.
- උදුපියලිය කොළ බුලත් මෙන් සපා යුෂ ගිලීමෙන් තොල් පැලීම සුවකර ගන්නට හැකියි.

- ලිංගික ශක්තිය වර්ධනය සඳහා හීන් උදුපියලිය වැල් පෙනෙල කොළ යොදා සාදා ගන්නා කැඳ ඉතාම ගුණදායකයි. මෙය කාන්තා පිරිමි දෙපාර්ශවයටම ලිංගික දුර්වලතා මගහරවා ගන්නට උපකාරී වෙන ඔසුවක්.
- සැරව ගෙඩි සුව කිරීම සඳහා හීන් උදුපියලිය ,කෝමාරිකා මද,අමුකහ දලු ස්වල්පයක් පොල් කිරෙන් තම්බා එය අඹරා සැරව ගෙඩිවල ඇතිල්ලීමෙන් සුවයක් ලබාගත හැකියි.
- තුවාල ආදිය සඳහා මුල් සහ කොළ යුෂ ආලේප කිරීම සුදුසුයි.
- හාවුන්ගේ වසුරු, උදුපියලිය කොළ යුෂවලින් අඹරා ආලේප කිරීමෙන් ඉදිමුම් තත්ත්වයන් සුවකරයි.
- කිරිදෙන මව්වරුන්ට කිරි වැඩීම සඳහා හීන් උදුපියලිය අඹරා පුවක් ගෙඩියක ප්‍රමාණයට ගෙන කිරි සමඟ මිශ්‍රකර උදෑසන පානය කිරීම ඉතාමත් ගුණදායකයි.
- මුත්‍රා අඩිස්සියට හීන් උදුපියලිය සම්පූර්ණ පැලෑටියම තම්බා පානය කිරීම ගුණදායකයි.
- දත්මුල්වලින් සැරව ගැලීමට හීන් උදුපියලිය යුෂ, ගොටුකොළ යුෂවලට තලතෙල් දමා උණුකර හිසේ ගෑම සුදුසුයි.
- කකුල් අධිකව පැලීම සඳහා හීන් උදුපියලිය, අමු කහ, කයිප්පු, තැඹිලි වතුරින් සිහින් වනතුරු අඹරා තලපයක් ලෙස ගල්වාලීමෙන් සති තුනක් ඇතුළත කැක්කුම් වේදනා දැවිල්ල පහවී සහනය ලැබෙයි.

- සමේ රෝග සඳහා උදුපියලිය හොඳින් සෝදා සිහින්ව ලියා මද පවනේ වියළා කුඩු කරගෙන කුඩු පෙනේරයකින් හලා උදේ දවල් රාත්‍රී තේ වෙනුවට වරකට තේ හැදි 1 බැගින් භාවිතා කිරීම සුදුසුයි. ඒ වගේම උදුපියලිය පිටි,සුදු හදුන්, එකතු කර පවුඩර් එකක් මෙන් සකස් කර බිබිලි හෝ සමේ කැසීම් ඇති ස්ථානවල ගෑමත් සුදුසුයි.
- පරණ තුවාල සඳහා හීන් උදුපියලිය දළු අමු කහ සහ රත් හදුන් ඇල් වතුරින් ගල ගා අඹරා ගෙන මද රස්නය ඇති උණුවතුරෙන් සෝදාගත් තුවාලය මත ආලේප කරන්න. දින කිහිපයක් මෙසේ සිදු කිරීමෙන් තුවාලයේ සැරව සුද්ද වී වියළී යයි.
- පත්තෑ විෂ මග හරවා ගන්නට හීන් උදුපියලිය පැලෑටිය දෙහි ඇඹුලෙන් අඹරා ආලේප කිරීම සුදුසුයි.
- පොළොන් විෂට උදුපියලිය යුෂ ස්වල්පයක් පානය කරන්නට දීම විෂ නසන්නට උපකාරී වෙයි.
- මාන්දම, අතීසාරය, ගෙඩි ,ළදරු ක්ෂය රෝගය,ඉරුවාරදය ආදී තවත් බොහෝ රෝගවලට ඖෂධ සෑදීමේදී හීන් උදුපියලිය බහුලව භාවිතා කරනු ලබනවා.
1. උදුපියලිය යුෂ පානයක් සාදා ගන්නා ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය
- රතුළූණු ගෙඩි ස්වල්පයක්
- උදුපියලිය අවශ්‍ය ප්‍රමාණයට
- ගාගත් පොල්
සාදා ගන්නා ආකාරය -මේ ද්‍රව්‍ය සියල්ල හොඳින් සෝදා බ්ලෙන්ඩර් කර එහි යුෂ ලබා ගන්න.එසේ ලබාගත් යුෂවලට පොල් කිරි අවශ්‍ය ප්‍රමාණයට එකතු කර කලවම් කර නැවත විනාඩි දෙකක් පමණ රත්කර සීනි දමා පානය කරන්න.කුඩ දරුවන්ගේ මොළයට ගමන් කරන ඔක්සිජන් ප්‍රමාණය වැඩිකර මොළය වර්ධනයට මෙය ඉතාම ගුණදායක පානයක්.
2. අවශ්‍ය ද්‍රව්‍ය
- අමු උදුපියලිය මිටක්
- ලුණු ස්වල්පයක්
- සීනි තේ හැදි 2 ක්
- දෙහි ස්වල්පයක්
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
උදුපියලිය මිටක් සෝදා පිරිසිදු කර වතුර වීදුරුවක් දමා බ්ලෙන්ඩර් කර ගන්න.පසුව එය පෙරා එයට සීනි, ලුණු, දෙහි සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් අවශ්‍ය පමණට එකතු කර පානය කරන්න. මෙය උදෑසන පානය කිරීම ඉතා ගුණදායකයි.
හීන් උදුපියලිය මැල්ලුමක් සාදා ගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය
- උදුපියලිය අවශ්‍ය ප්‍රමාණයට
- ගා ගත් පොල්
- කහ කුඩු ස්වල්පයක්
- කොත්තමල්ලි කුඩු ස්වල්පයක්
- සුදුළූණු
- ගම්මිරිස්
- ඉඟුරු
- අමු මිරිස්
- රතුළූණූ ගෙඩි 6 ක්
- කරපිංචා
- ලුණු
- දෙහි
- පොල්තෙල්
සාදා ගන්නා ආකාරය -මේ සියලුම ද්‍රව්‍ය හොඳින් සෝදා සියල්ලම කොටා ගන්න.පසුව මැටි භාජනයක් ගෙන එයට පිරිසිදු පොල්තෙල් හෝ බටර් ස්වල්පයක් ගෙන හොඳින් රත් වූ පසු සාදාගත් මැල්ලුම එයට එකතු කර මදගින්නේ විනාඩි 5 ක් පමණ පිස ගන්න.ලිපෙන් ඉවත් කරන්නට පෙර දෙහි ඇඹුල් ස්වල්පයක් දමා හොඳින් කලවම් කරන්න.
උදුපියලිය ශක්තිජනක ක්ෂීර වර්ධක, විෂ නසන ගුණයන් රාශියකින් යුක්ත ඖෂධ පැලෑටියක්. අද අපේ වැරදි ආහාර රටාවන් නිසා වැඩි වශයෙන් පීඩා විදින රෝගවලින් වැළකෙන්නට උදුපියලිය කැඳ, තේ, මැල්ලුම් හෝ යුෂ පානයක් ලෙසට සකස් කරගෙන සතියකට වතාවක් හෝ භාවිතා කිරීමෙන් ඉහළ ගුණයක් අත්කර ගන්නට හැකියි.
සැලකිය යුතුයි.මේ උදුපියලිය කැඳ හෝ මැල්ලුම් යුෂ ලෙස පානය හෝ දිනපතා ගැනීම සුදුසු නොවෙයි. විවිධ`රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නා අයෙක් නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට වග බලා ගන්න.