35න් පස්සෙත් 25 කෙල්ලෙක්ගේ පෙනුම ලබාගන්න කර යුතු දේවල් 7 ක්

health tips

අපිට උපතින් හිමිවෙන රූපය හැමදාටම පවත්වා ගෙන යන්නට අපි කොතරම් වෙහෙසෙනවාද?. නොයෙකුත් ආලේපන වර්ග භාවිතා කරමින් ඖෂධ වර්ග භාවිතා කරමින් විශේෂ උනන්දුවක් දක්වන්නේ අපේ තරුණ පෙනුම නොවෙනස්ව තබා ගන්නට. නමුත්  ලෝක ස්වභාවය අනුව වයස්ගත වෙද්දි අපේ රූපයත් විවිධ වෙනස්කම්වලට බදුන් වෙනවා. විශේෂයෙන්ම සමේ රැළි වැටීම්, පිගමන්ටේෂන් ඇතිවීම, ඇස්වල දීප්තිය අඩුවීම ආදී නොයෙකුත් ගැටළු ඇතිවෙනවා. මේ නිසා කනස්සල්ලට පත්වෙන බොහෝඅය විවිධ  නිෂ්පාදන භාවිතා කරමින් තරුණ පෙනුම රැක ගන්නට වෙහෙසෙනවා. සැබැවින්ම අවුරුදු 35 න් පසු කාන්තා පිරිමි දෙපාර්ශවයම තරුණ පෙනුම රැක ගැනීම වෙනුවෙන් කළ යුත්තේ මොනවද  කියලා දැන ගන්නට කැමති ඇති. ඉතින් අපි කතා කරමු අපේ තරුණ පෙනුම හැමදාටම තියා  ගන්නට අපි අනුගමනය කළ යුතු උපදෙස් මොනවද කියලා.

අධික මිල ගණන් යටතේ විවිධ නිෂ්පාදන අපේ සමට ගල්වනවාට වඩා අපේ දේහය තුළට අප ලබා ගන්නා දේවල් මගින් අපේ සමට ලැබෙන වාසි බොහොමයි. මොකද ශරීරයේ විවිධ පෝෂක වයසත් සමඟ අඩුවීම නිසා විවිධ ගැටළු ඇතිවෙන නිසා. ඒ නිසා දේහයට ලබාගත යුතු පෝෂක අඩුවක් නැතිව ලබා ගැනීමෙන් බාහිරින් අපි යම් නිෂ්පාදනයක් භාවිතා කරනවාට වඩා සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට හැකියාව  ලැබෙනවා.

තක්කාලි හැමදාම තරුණව සිටින්නට නිතර අපේ ආහාරවේලට එකතු කරගත යුතු දෙයක් තමයි තක්කාලි කියන්නේ. තක්කාලිවල  අඩංගු වෙන ලයිකොපීන් කියන  සංඝටකය හේතුවෙන් දේහයේ ඇතිවන ක්‍රියාවලියක් මගින් සමේ පිළිස්සුණු ලප  ඇතිවීම  වළක්වනවා. අව් රශ්මියට නිරාවරණය වීමෙන් පසුව ඇතිවන මේ තත්ත්වය බොහෝ අයට ගැටළුවක්. හිරු එළියට නිරාවරණයවීමෙන් වැළකී සිටීම කල නොහැකි නිසාවෙන් එවැනි ලප පිළිස්සුම් ඇතිවීම වළක්වා ගන්නට නිතරම අපේ ආහාරය සඳහා තක්කාලි එකතු කර ගන්නට පුළුවන්. 

මේ ලයිකොපීන් අපේ දේහයට අවශෝෂණය කර ගැනීම හොඳින් සිදුවීම සඳහා තෙල් එකතු කර පිස ගැනීමත් වඩා වැදගත්. එහිදී ඔලිව් තෙල් ආදිය ඔබට භාවිතා කරන්නට පුළුවන්. තරුණ පෙනුම රැකදෙනවාට අමතරව තක්කාලී අපේ හදවතත් නීරෝගී කරනවා. පිළිකාවලින් ආරක්ෂාව සලසනවා. නමුත් වස විස සහිත තක්කාලි භාවිතයෙන් නොයෙකුත් ලෙඩරෝග වැළදෙන නිසා කාබනිකව වගා කරන ලද තක්කාලි ආහාරයට ගැනීමෙන් ඔබට මේ ප්‍රතිලාභ ලබා ගන්නට හැකියාව තියෙනවා.

ඔලිව් තෙල් සමේ දීප්තිමත් බව සහ ප්‍රත්‍යස්ථභාවය සඳහා පහසුවෙන් අපිට භාවිතා කරන්නට හැකි දෙයක් තමයි ඔලිව් තෙල්. මේ ඔලිව් තෙල්වල 73% ට අධික ප්‍රමාණයක්ම අන්තර්ගත වෙන්නේ MUFA කියන සංඝටකය.මෙමගින් සමේ ඇදෙන සුළු බව පවත්වා ගන්නට විශාල දායකත්වයක් ලබාදෙනවා. එය සමේ අවපැහැවීම් සහ රැළි වැටීම අවම කරන්නට උපකාරී වෙනවා. අව්වට පිළිස්සුණු සම යථා තත්ත්වයට පත් කරන්නටත් මේ ඇතිවන ප්‍රදාහ තත්වයන් සුව කරන්නටත් ඔලිව් තෙල් වැදගත් වෙනවා. සමට බාහිරින් ආලේප කිරීම මගින් පවා මේ ප්‍රතිලාභ ලැබුණත් ඔබේ ආහාරවේලට ඔලිව් තෙල් එකතු කර ගැනීම  තමයි වඩාත්ම හිතකර සහ වඩාත් ඵලදායි වෙන්නේ.

ග්‍රීන් ටී ග්‍රීන් ටී අපේ නීරෝගී බවට වගේම තරුණ බව රැක ගන්නත් බෙහෙවින් වැදගත් වෙනවා. ග්‍රීන් ටීවල බහුලවම අන්තර්ගත වෙන ප්‍රතිඔක්සිකාරකය වෙන්නේ පොලිෆීනෝල්. එමගින් සමට විශාල කාර්යබාරයක් ඉටුකරනු ලබනවා. විශේෂයෙන්ම ග්‍රීන් ටී සතු රසායනිකවලට හිරු කිරණින් පිළිස්සුණු සම නැවත යථා තත්ත්වයට පත් කරන්නටත් හැකියාව තියෙනවා. ඒ වගේම සමේ ප්‍රත්‍යස්ථභාවය පවත්වා ගනිමින් එහි පිරිපුන් ස්වභාවය පවත්වා ගන්නා කොලජන් කියන් ප්‍රෝටීන්  වයසත් සමඟ හානි වීමට ලක් වෙනවා. එය වළක්වා  ගන්නත්, මුක්ත ඛන්ඩකවලින් දේහයට සිදුවෙන හානිය වළක්වා ගන්නත් ග්‍රීන් ටීවලට විශේෂ හැකියාවක් පවතිනවා. ඒ හැරුණාම දියවැඩියාව, කොලෙස්ටරෝල්, පිළිකා, තරබාරුව ආදී රෝග තත්ත්වයන්ගෙන් ද ආරක්ෂාව සලසනු ලබනවා.

මේදමය මාළු හිරු එළියට නිරාවරණය වීමෙන් සමේ ඇතිවන පැල්ලම් නැති කර සම නැවත යථා තත්ත්වයට පත් කරන්නට විශේෂ හැකියාවක් මේදමය මාළු සතු වෙනවා. ඔමේගා 3 මේද අම්ලය මූලිකවම අපේ ශරීරයට ලැබෙන්නේ අපි ආහාරයට ගන්නා මේ මාළු මගින්. ඒ නිසා දිනපතාම ඔබේ ආහාරයට මේද බහුල ආහාර වර්ග එකතු කර ගැනීම ඔබේ සෞඛ්‍යට වගේම ඔබේ පෙනුම රැක ගන්නත් ඉතා වැදගත් වෙනවා. 

 කැරට්,කහ බතල සහ වට්ටක්කා එළවලු අපේ දේහයේ නීරෝගී පැවැත්මට අත්‍යවශ්‍ය වෙන බව නොරහසක්. ඒ එළවලු වර්ග අතුරින් කැරටිනොයිඩ් බහුල ආහාර අතරට මේ කැරට්, කහ බතල සහ වට්ටක්කා ඇතුළත් වෙනවා. මේ බීටා කැරොටීන් අපේ ශරීරයේ විටමින් A නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා  දායකත්වයක් සපයනවා. මෙය සමේ ඇතිවන අව්වට පිළිස්සුණු ලප සහ අවපැහැවීම දුරු කරන්නට අපිට බෙහෙවින් උදව් වෙනවා. ඒ වගේම ඒවායේ අඩංගු ප්‍රතිඔක්සිකාරක හේතුවෙන් සමේ ඇතිවන විවිධ පිළිකාවලින් ද ආරක්ෂාවක් සපයනවා.

කහ පැහැ එළවලු සහ කොළ පැහැ එළවලින් අපේ ශරීරයට ලැබෙන විටමින් C අපේ සමේ නීරෝගි බව සඳහා අවශ්‍යයි. එය කොලජන් නිෂ්පාදනයට ඉතා වැදගත් වෙනවා. කොළපැහැ එළවලු පලතුරු වගේම ඇඹුල් රසැති එළවලු පලතුරුවලින් පවා අපේ තරුණ බව රැක ගන්නට අවශ්‍ය කරන විටමින් C ප්‍රමාණය ඉතා පහසුවෙන් ලබා ගන්නට හැකියාව තියෙනවා.

දෙළුම් දෙළුම් කියන්නේ පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ පලතුරක්. ලෙඩරෝග බොහොමයකින් ආරක්ෂා වී සිටින්නට උදව් වෙන දෙළුම් හිරු රශ්මිය නිසා සමේ ඇතිවන ලප යථා තත්ත්වයට පත් කරමින් සමේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් ද සමනය කරන්නට උදව් වෙනවා. ඒ වගේම දෙළුම්වල අන්තර්ගත  විවිධ රසායනකියන් හේතුවෙන්  සමට හානිවීම් වළක්වා ඒවා නැවත යථා තත්ත්වයට පත් කිරීමටත් උදව් වෙනවා. ඒ වගේම කොලජන් නිෂ්පාදනයටත් වැඩි දායකත්වයක්  ලබාදෙනවා.

අලිපේර අපේ සම හිරු එළියට නිරාවරණයවීමෙන් සම මත අඳුරු ලප ඇතිවෙනවා වගේම DNA විකෘතිත පවා ඇති වෙන්නට එය හේතු වෙනවා. නමුත් මේ තත්ත්වය සම මගින් නැවත යථා තත්ත්වයට පත් කරනවා. මෙවැනි විකෘතිතා දීර්ඝකාලයක් පැවතීම පිළිකා ඇති කරන්නට පවා සමත් වෙනවා. ඒ නිසා එවැනි තත්ත්වයක්දී සමට ඒ තත්ත්වය නැවත යථා තත්ත්වයට පත් කරන්නට විවිධ පෝෂ්‍යා පදාර්ථ අවශ්‍ය වෙනවා. මේ අලිපේර එහෙම නැත්නම් අලිගැට පේරවල අන්තර්ගත වෙන පෝෂ්‍ය පදාර්ථ ඒවා නැවත යථා තත්ත්වයට පත් කරමින් ආරක්ෂාව සලසනවා.

වයසත් සමඟ අපේ සම විශාල වශයෙන් වෙනස්කම්වලට බඳුන් වෙනවා. ඒ වෙනස්කම්වලට එරෙහිව යමින් තරුණ පෙනුම දිගුකලක් පවත්වා ගෙන යන්නට ඔබේ ආහාරවේලට  මේ ආහාර නිතර එකතු කර ගැනීම වැදගත් වෙනවා. බාහිරින් යම් යම් ආලේපන වර්ග ගල්වනවාට වඩා දේහය අභ්‍යන්තරයට අවශ්‍ය කරන පෝෂක  දේහයට ලබාදීම ඔබේ පෙනුම වගේම නීරෝගී බවත් ආරක්ෂා කරදෙනවා.