බුදුන් පුදන නේක වර්ණයෙන් යුක්ත ඕලු මල් අලංකාරවත් බවින් සහ පිවිතුරු බවින් ඉතා ඉහළයි. ඒත් ඕලු ශාකයේ තියෙන ඖෂධීය වටිනාකම් ගැන ගොඩක් අය දැනුවත් නැහැ. ඖෂධයක් විදිහට ගත්තහම අතීතයේ සිටම මේ ඕලු ශාකයේ විවිධ කොටස් විවිධ ප්‍රතිකාර සඳහා භාවිතයට අරගෙන තියෙනවා. නොගැඹුරු වැව්වල ඕලු ශාකයේ හට ගැනීම දකින්න පුළුවන්. ඒවායේ මල්, දඬු, ඇට, රේණු ආදී සියල්ලම ආහාරයට ගන්නවා. ඒ වගේම ඒවායේ ඖෂධීය වටිනාකම ඉතාම ඉහළයි. අපිට නිරෝගීව ජීවත් වෙන්න කොහොමද ඕලු සහල් උදව් වෙන්නේ. ඒ ගැනයි අද කතාව .

මොනවද මේ ඕලු සහල් ඕලු සහල් කියලා කියන්නේ මෝරන ලද ඕලු මල්වල හට ගන්නා ගෙඩිවලින් නෙලා ගන්නා ලද ඕලු ඇට. වැව් ජලයෙන් පෝෂණය වන ඕලු ශාකයේ ටික කලකට පසුව අලංකාරවත් ඕලු මල් පිපීම ආරම්භ වෙනවා. පිපුණ මල්වල පෙති හැලී ගොස් ඕලු ගෙඩි බවට පත්වෙනවා. මාස දෙකක් තුනක් ගත වෙද්දී මෝරන ලද ඕලු ගෙඩි කඩා ගැනීමෙන් ඒවායේ ඇති ඕලු ඇට ලබා ගන්න පුළුවන්. මේ ඕලු ඇට හොදින් සෝදා ගරාගෙන බත් ආකාරයෙන් හෝ කැඳ විදිහට පිළියෙල කර රසවිදින්න පුළුවන්. අබ ඇටවලට වඩා තරමක් විශාල මේ ඕලු ඇට ආහාරය පිණිස භාවිතා කරද්දි පැය 6 ක පමණ කාලයක් පොගවා ගන්න ඕන.
ඕලු බත්-පොගවා ගත් ඕලු සහල් හොදින් ගරා සෝදා බත් පිසින ආකාරයටම පිස ගන්න පුළුවන්. ඕලු සහල්වලින් බත් පිසීමේදී ඔබ භාවිතා කරන වෙනත් සහල් වර්ගයක් වුණත් එකතු කරන්න පුලුවන්. මේ ඕලු සහල්වලින් කිරිබත් පිස ගන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් ඕලු බත් එළවළු සමග වගේම මී කිරි සමග ආහාරයට ගන්නත් පුළුවන්.
ඕලු සහල් කැද
- ඕලු සහල්
- පොල් කිරි
- සුදු ළූණු බික් දෙකක්
- ලුණු ස්වල්පයක්
මුලින්ම වතුර භාජනයක් ලිප තබා පැය හයක් පමණ පොඟවා පිරිසිදු කරගත් ඕලු සහල් අවශ්‍ය ප්‍රමාණයට එකතු කර වතුර දමා හොඳින් තම්බා ගන්න. සහල් හොඳින් තැම්බුණ පසුව එයට කපාගත් සුදු ළූණු එකතු කර මදක් තැම්බෙන්නට තියන්න. ඉන්පසුව පොල්කිරි දමා විනාඩි තුනක් පමණ හැදිගාමින් පිසගෙන ලුණු ස්වල්පයක් රස අනුව එකතු කර ළිපෙන් ඉවත් කරන්න. මද රස්නය තිබියදීම පානයට ගන්න. මෙය දරුවන්ටත් වැඩිහිටියන්ටත් එක සේ ගුණදෙන පෝෂණීය කැදක්.
මේ ඕලු ඇට ජලයේ පෙඟෙන්නට හැරලා ගලකින් අඹරා ගෙන පොල් සමග මිශ්‍ර කරමින් ඉමිහිරි රසයකින් යුක්ත රොටී සකස් කරගන්නත් පුළුවන්. මෙසේ සකසා ගන්නා පිටි පාන් පිටි වගේම ඇලෙන සුළු ගතියකින් වගේම පිපෙන ස්වභාවයකින් යුක්තයි. ඒ නිසා රොටී විතරක් නෙවෙයි කේක් වර්ග, බිස්කට්, බනිස් වගේ ඔබ ප්‍රියකරන ගොඩක් ආහාර වර්ග මේ ඖෂධීය පෝෂණීය පිටිවලින් සකස් කර ගන්නත් හැකියාව තියෙනවා.
දරුවන්ට පාන් පිටිවලින් සකස් කරපු විවිධ ආහාරපාන ලබාදී අනාගතයේ රෝගීන් බවට පත් කරනවාට වඩා හොඳ පෝෂණයක් තියෙන මේ වගේ ඕලු පිටි භාවිතා කරල දරුවන් ප්‍රිය කරන ආකාරයේ රස කැවිලි පිළියෙල කර දෙන්න හැකියාව තියෙනවා .
ඕලු සහල් අනුභවයෙන් ලැබෙන ප්‍රතිලාභ

- ආහාර මාර්ගයේ හෝමෝන පාලනය කර ඒ හරහා ආමාශයට එන්සයිම ස්‍රාවය වීම උත්තේජනය කරනවා.
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.
- අක්මාවේ තැන්පත්වී ඇති මේදය දියකර හරිනවා .
- සිරෝසිස් ආදී අක්මා රෝගවලට එරෙහිව ක්‍රියා කරනවා.
- අර්ශස් රෝගය ඇතිවීම වළක්වා ගන්නට දායක වෙනවා.
- වකුගඩුවල නිරෝගී බව සඳහා උදව් වෙනවා.
- ප්‍රජනන පද්ධතියේ රෝගවලට හිතකරයි.
- දිලීර නාශක ගුණයෙන් සමන්විතයි.
- පිත්තාශයේ සහ වකුගඩුවල ගල් සෑදීම පාලනය කරනවා. ඒ වගේම මේ ගල් දියකිරීමේ හැකියාවකින් ද සමන්විතයි.
- රුධිර කැටි ගැසීම පාලනය කරනවා.
- හදවතට ගුණදායකයි.
- ශරීරයට ශක්තිය ලබා දෙනවා.
- සෙම කිපීමෙන් ඇතිවන රෝග සමනය කරනවා.
- ඇස්වල පෙනීම වර්ධනය කරනවා.
- ආහාර ජීර්ණය පහසු කරනවා.
- උණ රෝගය සමනය කරනවා.
- අතීසාරයට ගුණදායකයි.
- ඉදිමුම් සුව කරනවා.
- වා පිත් සෙම් යන තුන් දොස් සමනය කරනවා.
- ගර්භනී මව්වරුන්ට ගුණදායකයි.
- පිපාසය සහ වමනය සුව කරනවා.
- දියවැඩියා රෝගීන්ට ගුණදායකයි.
- අධි රුධිර පීඩනය වළක්වා ගන්නට උපකාරී වෙනවා.
- ශරීරයේ ඇතිවන දැවිලි ආදිය දුරු කරනවා.
සැලකිලිමත් වෙන්න.ඔබ වෙනත් රෝග සඳහා ඖෂධ ලබා ගන්නේ නම් ඕලු සහල් භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න.