ආහාර ජීර්ණය සඳහා සහය වීම,ශක්තිය ගබඩාකරගැනීම,වස විස ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම ආදි නොයෙකුත් කාර්යන් රැසක් අක්මාව මඟින් ඉටුකරයි.අක්මාවේ මේද තැන්පත්වීම හෙවත් ‘ෆැටි ලිවර් රෝගය’ (fatty liver disease) යනු අක්මාවේ සෛල තුළ අධික ලෙස මේද තැන්පත්වීමෙන් ඇතිවන ගැටලු තත්වයකි.මිනිස් සිරුරේ පිහිටා ඇති දෙවන විශාලතම අවයවය වන අක්මාවේ ඇතිවන මෙම තත්වය විශාල වශයෙන් සෞඛ්‍ය ගැටලු ඇතිකිරීමට හේතුවේ.වර්තමානයේ බොහෝ පිරිසක් මේ තත්වයට ගොදුරු වී තිබෙන බව හඳුනාගෙන ඇත.
අක්මාවේ මේද පැවතීම සාමාන්‍ය තත්වයකි.නමුත් 5%-10% ප්‍රමාණයකට වඩා මේද පැවතීම ෆැටි ලිවර් රෝගය ලෙස හඳුනාගනියි. මත්පැන් පානය, දුර්වල ආහාර පාන රටාව,ස්ථුලතාව,ව්‍යායාම නොමැතිකම හෝ අධි රුධිර පීඩනය වැනි සාධක නිසා අක්මාව තුළ මේද තැන්පත්වීම ඉහළ යා හැකියි.පුරුද්දක් ලෙස මේද බහුල ආහාර පරිභෝජනය කිරීම හා සිරුරට ජීර්ණය කළ හැකි ප්‍රමාණයට වඩා අධිකව ඒවා පරිභෝජනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස අක්මාවේ මේද තැන්පත්වීම සිදුවේ.අක්මාවේ මේද ඒකරාශී වීම එය තවදුරටත් හානියට ලක්වීමේ අවදානම වැඩිකරයි (විශේෂයෙන්ම ප්‍රදාහයට හා කැලැල් පටක ඇතිවීමට).
නීරෝගි ආහාර පාන රටාවක් ඇතිකරගැනීම ෆැටි ලිවර් රෝගය ඇතිවීම වළක්වාගැනීමට මෙන්ම එම තත්වයෙන් අක්මාවට ඇතිවූ හානි ප්‍රකෘතිමත් වීමට සහය ලබාදෙයි.මෙම රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා හිතකර හා අහිතකර ආහාර පාන මොනවාද කියායි අද අපි කතා කරන්නට සූදානම
අක්මාව සුවපත් වීමට ගුණදායි ආහාර පාන

මාලු සැමන්, සාඩින්,ටූනා වැනි මාලු වල ප්‍රෝටීන් හා ඔමේගා-3 මේද අම්ල බහුලයි.මෙම පෝෂක මඟින් අක්මා සෛල තුළ එකතුවී ඇති මේද කොටස් බිඳ දැමීමට හා ප්‍රදාහය අඩුකිරීමට සහය වෙයි.මස් වෙනුවට මාලු ආහාරයට එක්කරගැනීමෙන් සිරුරට අහිතකර මේද වර්ග ශරීරගත වීම පාලනය කරගත හැකියි.
සුදුලූනු සුදුලූනු පරිභෝජනය කිරීම මඟින් අක්මාවේ ඇති වස විස අපද්‍රව්‍ය බැහැර කර දමන එන්සයිම නිෂ්පාදනය සිරුර තුළ වැඩිවන බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදෙයි. සුදුලූනු වල සල්ෆර් සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු නිසා අක්මාව පවිත්‍ර කර සුවපත් කරවයි.සුදුලූනු අමුවෙන් හෝ වෑංජන වලට එක්කර ආහාරයට ගන්න.
කෝපි අක්මාවේ සෛල වලට හානිකළ හැකි එන්සයිම දුරුකළ හැකි ගුණාංග කෝපි වල අඩංගුයි.අක්මා රෝග අවදානමෙන් පෙළෙන පුද්ගලයින් තුළ අසාමාන්‍ය ලෙස අක්මාවේ එන්සයිම ස්‍රාවය වීම අවම කරවයි.අක්මාවේ කැලැල් ඇතිවිම බොහෝදුරට පලානය කරයි.දිනකට කෝප්ප 2-3කට වඩා දිනකට කෝපි පානය කිරීමෙන් වළකින්න.කෝපි වලට සීනි එක්නොකර පානය කරන්න.
කොළ පැහැති එළවළු බෝංචි,නිවිති,සලාද,කොළ ගෝවා, බ්‍රොකොලි වැනි එළවළු වර්ග පෝෂණයෙන් අනූනයි.මෙවැනි එළවළු ආහාරයට ගැනීමෙන් අක්මාව තුළ මේද එකතුවීම බොහෝදුරට පාලනය වන බව ඇතැම් අධ්‍යයන පෙන්වාදෙයි.අකාබනික නයිට්‍රේට අඩංගු නිසා කොළ පැහැති එළවළු මඟින් අක්මාවේ මේද එකතුවීම අඩුකරවන බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
ග්‍රීන් ටී බර අඩුකරගැනීමට උත්සහ කරන ගොඩක් දෙනාගේ තේරීමක් තමයි ග්‍රීන් ටී කියන්නේ. ග්‍රීන් ටී වල ප්‍රතිඔක්සිකාරක බහුලයි.එම නිසාම සිරුරට මේද උරාගැනීමට සහය වී අක්මාවේ මේද ගබඩාවීම වළකයි.ප්‍රතිඔක්සිකාරක අක්මාවේ ක්‍රියාකාරීත්වය නීරෝගි කරයි.
අලිගැට පේර හිතකර මේද, සිරුරට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ වලින් බහුල ආහාරයක්. ඊට අමතරව අක්මාවේ පටල මතුපිට අහිතකර මේද වර්ග තැන්පත්වීම වළකන ශාක රසායනයන් ද මේවායේ බහුලයි.ඒවා මඟින් අක්මාව හානිවීම ද වළකයි.ග්ලූටතයෝන් අන්තර්ගතය ද ඉහළ නිසා අක්මාවේ හා ජීර්ණ පද්ධතියේ එන්සයිම නිෂ්පාදනය උත්තේජනය කරවයි.
අක්මාව ලෙඩ කරවිය හැකි මෙවැනි ආහාර පාන වලින් හැකිතාක් වළකින්න. ඔබ ෆැටි ලිවර් රෝගයෙන් පීඩා විඳින අයෙක් නම් මේ ගැන වැඩි සැළකිල්ලක් දක්වන්න.
මත්පැන් අක්මාව ලෙඩකරවන ප්‍රධානතම හේතුවක් ලෙස මද්‍යසාර පාන වර්ග දැක්විය හැකියි.මත්පැන් පානය අඩුකිරීමට වඩා සම්පූර්ණයෙන්ම එය අත්හැරීම ඔබේ සිරුරට ඉතාම හිතකර වේවි.දින කිහිපයක් එක දිගට මත්පැන් පානය කිරීමෙන් පවා සැළකිය යුතු ලෙස අක්මාවේ මේද එකතුවීමට පටන්ගත හැකි බව අධ්‍යයන මඟින් සොයාගෙන තිබෙයි.මත්පැන් නිසා අක්මාවට සිදුවන හානි බොහෝවිට යථා තත්වයට පත්කළ නොහැකි තරමේ බරපතල තත්වයන් ඇතිකළ හැකි බව මතක තබාගත යුතුයි.
මස් වර්ග සොසේජස්,බේකන්,මීට් බෝල්ස්,හර්ක් මස්, ඌරු මස්ම්,බැටළු මස් වැනි රතු මස් වර්ග සෞඛ්‍යයට එතරම්ම හිතකර නැහැ.සැකසූ මස් නිෂ්පාදන වල සංතෘප්ත මේද ඉතා බහුලයි.මෙවැනි ආහාර අධිකව ගැනීමෙන් ෆැටි ලිවර් රෝග අවදානම ද ඉහළ යයි.
සීනි සීනි හා පැණි රස ආහාර පාන අධිකව ගැනීම බොහෝ සෞඛ්‍ය ගැටලු වලට හේතුවෙයි. දියවැඩියාව හා ස්ථුලතාව එවැනි බරපතල අවදානම් තත්වයන් වේ.කෙක්,බිස්කට්,රස කැවිලි,චොකලට්,සෝඩා වැනි සීනි අධික බීම වර්ග අධි රුධිර සීනි මට්ටම් වලට හේතුවෙයි.මෙහි ප්‍රතිඵලයක් ලෙස අක්මාවේ මේද ප්‍රමාණයන් ද ඉහළ යයි.එම නිසා ඔබේ දෛනික සීනි පරිභෝජනය හැකි උපරිමයෙන් සීමා කරන්න.

බිත්තර බිත්තර වල ආහාරමය කොලෙස්ටරෝල් අධිකබව සඳන වෙයි.මේවා අධිකව පරිභෝජනය කිරීමෙන් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම් වැඩිවීම හා අක්මාවේ මේද තැන්පත්වීම ඉහළ යා හැකි බව ඇතැම් අධ්‍යයන වල සඳහන් වෙයි.අක්මාවේ මේද මට්ටම් ඉහළ යාමට බලපාන SREBP සාධක වැඩිවීමට ද මේවා හේතුවන බව සඳහන්.
ගැඹුරු තෙලේ බදින ලද තෙල් අධික ආහාර අල පෙති, බර්ගර්,පේස්ට්‍රි,පීසා ආදි ආහාර වල සිරුරට අහිතකර සංතෘප්ත මේද බහුලයි.සිරුරේ එම මේද මට්ටම් වැඩිවීම ෆැටි ලිවර් රෝග අවදානම් වැඩිකරවයි.එම මේද මට්ටම් ඉහළ යාමෙන් අක්මාවේ ක්‍රියාකාරීත්වය එසැණින් දුර්වල වීමට පටන්ගත හැකි බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.
පාන් පිටි පාන්, සුදු සහල්, පැස්ටා, බේකරි ආහාර වැනි පිරිපහදු කළ ධාන්‍ය පිටි වලින් සකසන ආහාර රුධිර සීනි මට්ටම් ඉහළ යාමට හේතුවිය හැකි බව පෙන්වාදෙයි.මින් අක්මාවට ඇතිකරන බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස ට්‍රයිග්ලිසරයිඩ වැනි ලිපිඩ මට්ටම් වැඩි වී ෆැටි ලිවර් රෝග ලක්ෂණ වර්ධනය විය හැකියි.පිරිපහදු කළ පිටි වලට වඩා සම්පූර්ණ ධාන්‍ය වලින් සකසාගත් පිටි වලින් ආහාර සකසන්න.
අධික ලෙස පලතුරු ආහාරයට ගැනීම ෆෘක්ටෝස් වැනි සීනි බහුල පලතුරු වර්ග (වියළි මිදි ඇතුළු වියළි පලතුරු) අධිකව ආහාරයට ගැනීමෙන් සිරුරේ ප්‍රදාහය හා ෆැටි ලිවර් රෝග ලක්ෂණ වර්ධනය විය හැකියි.ඊට හේතුව මේවායේ අඩංගු ෆෘක්ටෝස් සීනි මට්ටම්ය.මේවා නිසා රුධිරය තුළ අසාමාන්‍ය මට්ටමින් මේද එකතුවිය හැකියි.