අක්මාවේ තැපත්වී ඇති තෙල් දවස් 7 න් ඉවත් කරන දේශීය කැඳ වර්ග 4 ක්

health tips

අක්මාව කියන්නේ අපේ ශරීරයේ නිරෝගී පැවැත්මට සුවිශාල කාර්යබාර්යක් ඉටු කරන ඉන්ද්‍රියක්. කිලෝග්‍රෑම්  1.5 ක් තරම් බරකින් යුක්ත අක්මාව මිනිස් සිරුරේ ක්‍රියාදාමයන් 500 කට අධික සංඛ්‍යාවකට දායක වෙනවා. ඉතින් අද  වෙද්දි අපිට බහුලවම අසන්නට ලැබෙන රෝග තත්ත්වයන් අතුරින් අක්මාවේ තෙල් තැන්පත් වීම් එහෙමත් නැත්නම් ෆැටි ලිවර් කියන්නේ වැඩිදෙනෙක් පීඩා විදින රෝගී  තත්ත්වයක්. මේ විදියට අක්මාවේ මේදය තැන්පත් වෙන්නට හේතු වෙන්නේ අපේ වැරදි ආහාර පුරුදු  චර්යාවන් නිසා  දේහයට අධිකව විෂ එකතු වීමෙන් .

විශේෂයෙන්ම අක්මාව තමන් විසින් රඳවා ගෙන තබා ගන්නා  විෂ ඉවත් කරන්නේ රාත්‍රී  11-2 ත් අතර අපි තද නින්දේ සිටින කාලයේදී, අපි කාලයක් තිස්සේ ප්‍රමාණවත් තරම් නින්දක් ලබා ගන්නේ නැත්නම් අක්මාවට විෂ  ඉවත් කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදියට විෂ  එකතුවීම වැඩිවෙලා අක්මාවේ සෛලවලට හානි ඇති කරන්නට පටන් ගන්නවා. මේ හානිය වළක්වා ගන්නට යොදන ප්ලාස්ටර් එක තමයි ෆැටි ලිවර් කියන්නේ.ඒවා අපි කන ආහාරවල තියෙන විෂ නිසා අපේ සිරුරෙන්ම නිෂ්පාදනය වෙන ෆැටි එක. ඇතැම් විට අක්මාවට තමන්ගේ කාර්ය හරියට කර ගන්නට බැරි වුණාම ඒ විෂ රුධිරයටත් එකතු වෙන්නට පුළුවන්.

සාමාන්‍යයෙන් අක්මාවේ බරින් 5% – ත් 10 %ත් අතර ප්‍රමාණයක් මේදය තැන්පත්වීම සාමාන්‍ය වුණත් ඊට වැඩි  ප්‍රමාණයෙන් මේදය තැන්පත්වීම ෆැටි ලිවර් ලෙස හඳුනා ගනු ලබනවා. මේ ආකාරයට අක්මාවේ මේදය තැන්පත්වීමට බලපාන හේතු ගැනත් දැනගෙනම ඒ සඳහා පිළියම් මොනවද කියල කතා කරමු .

අක්මාවේ මේදය තැන්පත්වීමට බලපාන හේතු 

• මත්පැන් භාවිතය 

• ක්ෂය රෝග තත්ත්වය 

• අධික ස්ථුලභාවය සහ අලස ජීවන රටාව. මේ නිසා ශරීරික ක්‍රියාකාරිත්වය අඩුවීමෙන් ශරීරයේ මේදය අක්මාව දෙසට ගමන් කරනු ලබනවා.

• දෙවනි ගණයේ දියවැඩියාව 

• අධික ලෙස ප්‍රෝටීන් ආහාරයට ගැනීම 

• අධික තෙල්, සීනි  සහ පිටි සහිත කෘතීම ආහාර පරිභෝජනය 

• ඇතැම් රෝග සඳහා භාවිතා කරන ඖෂධ

• උපත් පාලනය සඳහා භාවිතා කරන පෙති වර්ග නිතර භාවිතය  

• අධික කුසගින්න 

• ශරීරයේ බර අඩු කර ගැනීමට කරන සැත්කම් 

• වයස්ගතවීම 

මේ හේතු නිසා තැන්පත් වෙන මේදය අක්මාවේ විවිධ රෝග ඇති කරන්නට මූලික වෙනවා  වගේම හෘද රෝග සහ වකුගඩු රෝග ඇති කරන්නටත් හේතු වෙනවා. මේ අක්මාවේ තෙල් තැන්පත්වීමෙන් අක්මාව ඉදිමී එය හානිවීමට පටන් ගන්නවා.  ඒ නිසා අක්මාවේ තෙල් කියන්නේ බරපතල රෝග බොහොමයක් සඳහා බලපාන මූලිකම තත්ත්වයක්. අක්මාවේ තෙල් තැන්පත් වීම නිසා 

• අක්මාව පිහිටා තියෙන්නේ උදරයේ දකුණු පැත්තේ නිසා දකුණු ප්‍රදේශයේ බඩ පුරවා දැමීම ඇතිවෙන්නට පුළුවන්. ඒ වගේම වේදනාකාරී ස්වභාවයක් ඇතිවෙන්නටත් පුළුවන්. 

• ආහාර රුචිය අඩු වීම 

• අධික තෙහෙට්ටුව 

• අප්‍රාණික ගතිය 

• නිරන්තර ඔක්කාරය 

ආදිය ඇති වෙන්නට පුළුවන්.

අක්මාවේ තෙල් ඉවත් කිරීම සඳහා භාවිතා කළ හැකි දේශීය කැඳ වර්ග

1.හීන් බෝවිටියා, ගස් කරල් සැබ ,  බක්මී, රසකිද කොළ, මොණර කුඩුම්බිය , මුස්සැන්ද, සැවැන්දරා කොළ මේකොළ වර්ග සම ප්‍රමාණවලින් ගෙන සෝදා කොටා මිරිකා  ගත් යුෂ හීනටි සහල් හෝ රතු කැකුළු සහල් සමඟ කැඳ ලෙස සකසා  ගෙන පානය කරන්න.

2.මුස්සැන්ද කොළ, ගැට තුඹ කොළ, කරිවිල කොළ , හීන් බෝවිටියා මේ කොළ වර්ග සම ප්‍රමාණවලින් ගෙන කොටා ලබාගත් යුෂ දේශීය සහල් වර්ගයක් සමඟ කැඳ වශයෙන් සකසා ගෙන පානය කරන්න.

3.මුස්සැන්ද කොළ , බක්මී පොතු , හාතවාරිය අල, පිටවක්කා කොළ, මේ ද්‍රව්‍යයන් මිටක් පමණ බැගින් ගෙන කොටා එහි යුෂ  ගෙන හීනටි සහල් සමඟ කැඳ සඳහා  උදෑසන දින දින 3 ක් කිතුල් හකුරු සමඟ පානය කරන්න.

4.යකිනාරං කොළ යකිනාරං කොළ කොටා ගත් යුෂ  හීනටි සහල්  සමඟ ලුණු එකතු නොකර කැඳ වශයෙන් සාදාගෙන පානය කරන්න. මෙය පානය සඳහා කිතුල් හකුරු වඩාත් සුදුසුයි.

මේ කැඳ වර්ග සකසා  ගැනීමේදී රතු කැකුළු සහල් හෝ දේශීය සහල් වර්ගයක් භාවිතා කිරීම වගේම එයට සුදු ළූණු  ගම්මිරිස් ස්වල්පයක් ආදියත් එකතු කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව තියෙනවා. කොලෙස්ටරෝල් රෝගීන් මේ කැඳ සඳහා පොල් කිරි අඩුවෙන් එකතු කර ගන්නට හෝ පොල් කිරි නොදමා පිසගැනීමත් ඉතා හොඳයි. 

ඉතින් මේ  කැඳ වර්ග සතියකට දෙතුන් වරක් ඔබට පානය කරන්නට හැකි නම් එමගින්  අක්මාවේ මේදය දිය කර අක්මාව නීරෝගී කරනවා  වගේම ශරීරය අනෙකුත් බොහෝ රෝගාබාධවලින් පවා ආරක්ෂා  කරනවා. ඒ  වගේම ඔබේ ආහාර පුරුදු වගේම චර්යා රටාවත් යහපත් ආකාරයට වෙනස් කර ගත්තොත් අක්මාව විතරක් නෙවෙයි  අපේ ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම  ආරක්ෂා කරගන්නට හැකියාව ලැබෙනවා. එය ඔබට නීරෝගීව ජීවත් වෙන්නට විශාල උපකාරයක් ද වෙනවා.