පණු රෝග බාල මහලු භේදයක් නැතුව කොයිකාටත් ඇති වෙන තත්ත්වයක්. පණු රෝග උත්සන්න වුණොත් වඩාත් බරපතල රෝග පවා අපිට ඇතිවෙනවා. කුඩා දරුවන් මියැදෙන්නට තරම් මේ පණු රෝග බලවත් .ඉතින් ඒ නිසා පණු රෝග සුළුවට ගන්නට හැකියාවක් නම් නැහැ. එදා අපේ පැරැන්නන් මේ පණු රෝග වළක්වා ගත්තේ ඖෂධ භාවිතා කරල නෙවෙයි.ගොඩක් කොළ වර්ග පලා වර්ග පණුවන් මර්දනය උදෙසා ඔවුන් ආහාරයට ගත්තා . ඒ විතරක්ම නෙවෙයිමාස කිහිපයකට වරක් හොඳ විරේකයකුත් සිදුකර ගත්තා. වසරකට වරක් තැඹිලි විරේකය, සෙනෙහෙ කොළ විරේකය, අරළු විරේකය වගේ විරේක කර පණු රෝගවලින් මිදුණා.අදටත් අපේ වැඩිහිටි උදවිය මේ ක්‍රම අනුගමනය කළත් තරුණ පරපුරට මේවා ගැන හොඳ දැනුමක් නැහැ.
ආහාර අරුචිය, වමනය, ඔක්කාරය,අලස බව, නොසන්සුන් බව, නිතර දැනෙන මහන්සිය , ගුද මාර්ගය කැසීම , උදරයේ ඉහළ කොටසේ වේදනාව , උදරය ඉදිමීම ,වගේ ලක්ෂණ පණු රෝගවලදී දකින්නට ලැබෙනවා. මේ වගේ අවස්ථාවකදී සරල පිළියම්වලින් අපිට පණු රෝග මර්දනය කරගන්න පුළුවන් .
ඉතින් කෙතරම් පිරිසිදු ආහාරපාන ලබා ගත්තත් පණු රෝග කුඩා දරුවන්ට වගේම මහලු උදවියටත් වැලදීම ස්වාභාවිකය. නමුත් එයින් බොහෝදුරට අපිට වැළකෙන්නට පුළුවන්. ඔන්න අපි ඔයාට කියන්නට යන්නේ වඩාත් පහසුවෙන් පණු රෝග වළක්වා ගන්නට උදව් වෙන පිළියම් කිහිපයක් ගැන.

- කරිවිල කොළ මිටවල් දෙකක් ගෙන එය පොල් ස්වල්පයක සමඟ කොටා වතුර පතක් දමා මිරිකා යුෂ ලබා ගන්න. එයට එරඩු තෙල්මේස හැදි 1 ක් දමා හිස්බඩ පානයට දෙන්න. මෙය කිරිපණු රෝගයට ඉතාම ගුණදායකයි.
- කුරුම්බා මදයක් ගෙන එයත් සමඟ එඩරු තෙල් මේස හැන්දක් පානය කරන්න .
- කුප්පමේණිය කොළ ටිකක් , සුදු ළූණු සමඟ තම්බා සති දෙකකට වරක් පානයට ගන්න .
- කරපිංචා නැටි හා කොළ කබලේ බැද කුඩුකර තේ හැදි 1 බැගින් උදේ සවස කෝපි මෙන් සකසා පානය කරන්න.
- උණු අලු පල්ලේ තම්බා ගත් වදකහවලින් හාල් ඇටයක තරම් ප්‍රමාණයක් කිරි වීදුරුවකට දියකර පානයට ගන්න .
- තේවලට හෝ පිළියෙල කරන ආහාරවලට හෝ කරාබු නැට්ටක් දමා පානය කරන්න .
- අමුකහ ගලේ අඹරා ආහාරයට එකතු කර ගන්න .
- අරළු බුළු නෙල්ලි තැම්බූ වතුර සතියකට දින කිහිපයක් පානයට ගන්න .
- උළුහාල්, සියඹලා, සූදුරු, මහදුරු,සුදු ළූණු ආදිය යොදා සාදන තැම්බුන් හොදි පානයට ගන්න .

- සාදික්කා ගෙඩියක මදයෙන් භාගයක් පමණ ගෙන දෙහි ඇඹුලින් ගල ගා එයට දියකර පානය කරන්න.
- ගොටුකොළ සමඟ වළගසාල් කසාය සකසා පානය කරන්න .
- ඇත්තෝර ලපටි දළු මැල්ලුමක් ලෙස ආහාරයට ගන්න. කිරි පණු රෝග සුව වී ආමාශයේ සිටින පණුවන් ඉවත් කරන මෙය රාත්‍රියට ගැනීම සුදුසුයි.
- එරබදු දළු කොටා වණ්ඩුවේ තම්බා ගත් යුෂ මේස හැදි 2 ට දෙහි ඇඹුල් සහ මී පැණි තේ හැදි 2 බැගින් දමා දින කිහිපයක් උදේට පානය කරන්න. මෙයින් බඩ බුරුල්වී යාමෙන් පණු රෝග නසයි.
- ගැට තුඹ මැල්ලුම වගේම සහමුලින්ම තම්බා බීමත් පණු රෝග සඳහා ඉතා ගුණදයකයි. දළු වගේම මෙහි ගෙඩි වේලා කොටා තබාගෙන කෝපි මෙන් පානය කිරීමෙන් වගේම බටකිරිල්ල ගෙඩි කුඩුකර හාල් පිටි සමඟ මිශ්‍රකර සාදා ගන්නා අග්ගලා කුඩා දරුවන්ගේ පණු රෝග සුව කරයි. බටකිරිල්ල දලු රතු ළූණු දමා පොල් කිරෙන් උයා ආහාරයට ගැනීමත් සුදුසුයි.
මේ පිළියම් ඔබට පණු රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්නත් පණු රෝග සුවපත් කරගන්නත් උපකාරී වෙනවා. සිරුරට අහිතකර නොවෙන ඔසු නිසාවෙන් මේවා භාවිතයට බිය විය යුතු නැහැ. නමුත් සීමාව ඉක්මවා නිතර නිතර මේවා නොකරන්නට වගබලා ගන්න.වෙනත් රෝගවලින් පීඩා විදින ඖෂධ භාවිතා කරන අයෙක් නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කාරුණික වෙන්න.