උණ හැදුනාම පටස් ගාලා සුව කර ගත හැකි ස්වභාවික සත්කාර 9 ක්

health tips

අද අපි ඕනෑම සුළු රෝගයකදී පවා වෛද්‍යවරුන් සොයා ගියත් දේශීය වෛද්‍ය ක්‍රමය කොතරම් දියුණුව පැවති එකක් ද යන්න අපි හැමෝටම අමතක වෙලා.  ඉතින් අපේ පාරම්පරික වෛද්‍ය ඥානය උපයෝගී කරගනිමින් සිරුරට අපහසුතා ගෙන රෝග තත්ත්වයන් සඳහා නිවසේදී කළ හැකි පිළියම් ගැන දැනුවත් වෙන්න හොඳම කාලයයි මේ . අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ සුලබවම අපිට වැළදෙන්නට හැකියාව තියෙන උණ රෝගය සඳහා දේශීය වෛද්‍ය විද්‍යාව තුළ  ඉදිරිපත් කරල තියෙන ප්‍රතිකාර ක්‍රම කිහිපයක් පිළිබඳව.

  • වියළි ඉඟුරු
  •  කොත්තමල්ලි
  •  ගම්මිරිස්
  •  තිප්පිලි
  •  හීන් අරත්ත අල 

 මේ ඔසු සමාන ප්‍රමාණයන්ගෙන් අරගෙන වෙන වෙනම රන්වන් පැහැ වනතුරු බැදගන්න. ඉන් පසුව මේවා කොටා කුඩු වශයෙන් ගන්න. උණ රෝගය වැළඳුණු අවස්ථාවකදී මේ කුඩු මිශ්‍රණයෙන් මේස හැඳි දෙකක් ගෙන උණුවතුරට දමා තම්බා පෙරා පානයට ගන්න.

  • හීන් මදුරුතලා
  •  බිං කොහොඹ
  •  ඉඟුරු
  •  කොත්තමල්ලි
  •  තොටිල පොතු
  •  රුක් අත්තන පොතු

 මේ සියල්ල සමාන ප්‍රමාණයන්වලින් ගෙන වතුර බඳුනකට දමා හොඳින් තම්බා ගන්න. ඉන්පසුව ඒ වතුර උදේ සවස පානයට ගන්න.

  • කොත්තමල්ලි
  •  අරළු
  •  නෙල්ලි
  •  සහිඳ ලුණු
  •  තිප්පිලි

 මේ සියල්ලම සම ප්‍රමාණවලින් ගෙන කබලේ බැද ගන්න. ඉන්පසුව කුඩු කරගන්න. මේ කුඩු මේස හැදි 2 ක පමණ ප්‍රමාණයක් නටන උණු වතුර කෝප්පයකට දමා වසා පැය භාගයකට පමණ පසුව පෙරා පානයට ගන්න.

  • වෙනිවැල්ගැට
  •  වියළි ඉඟුරු
  •  දුම්මැල්ල
  •  පත්පාඩගම්

 මේ ඔසු සියල්ල සම ප්‍රමාණවලින් ගෙන හොඳින් තම්බා පානය කරන්න.

  • ඉඟුරු
  •  කොත්තමල්ලි

 ඉඟුරු සහ කොත්තමල්ලි සම ප්‍රමාණවලින් ගෙන හොඳින් තම්බා සීනි දමා දිනකට දෙතුන් වරක් පානයට ගන්න.

අජීර්ණ සහිත උණ සඳහා

  •  ඉඟුරු
  •  කොත්තමල්ලි
  •  එළබටු මුල්
  •  කටුවැල් බටු

 මේවා කලං දෙකයි මංචාඩි අට බැගින් ගෙන කසාය ලෙස පිළියෙල කර දිනකට දෙවරක් පානයට දෙන්න. 

 හුමාලය සඳහා 

  • ආඩතෝඩා කොළ
  • කුප්පමේනියා කොළ

 මේ කොළ වර්ග වතුර බඳුනකට දමා හොඳින් තම්බා වාෂ්ප අල්ලන්න.

  • යකිනාරං කොළ
  •  කුප්පමේනියා කොළ

මේ දෙවර්ගය  හොඳින් තම්බා දුම් අල්ලන්න. මේවා කුඩා දරුවන්ට  ලබාදීමට එතරම් හිතකර නැහැ. එබැවින් කුඩා දරුවෙකුට උණ ඇති අවස්ථාවකදී කළ හැකි හොඳම පිළියම වන්නේ කොත්තමල්ලි තැම්බූ ජලය වරින්ව වර ලබාදීමයි. ඒ වගේම හොඳින් දහදිය දමන තෙක් දුම් ඇල්ලීමත් වරින් වරඋණු ජලය පානයට ලබා දීමත් මෙයින් සහනය ලබා ගන්නට උපකාරී වෙනවා. 

මෙය ඔබගේ දැනුම සඳහා වන ලිපියක් වන බැවින් ඔබ මේවා ප්‍රතිකාරයක් වශයෙන් භාවිතයට ගන්නේ නම් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.