ගර්භාෂ ගෙඩි හටගෙන ඇති බව පෙන්නුම් කරන ලක්ෂණ 9 ක්

health tips

කාන්තාවන්ට ඇතිවන ලෙඩ ලෙඩ රෝග අතර ගර්භාෂ ගෙඩි හෙවත් ෆයිබ්‍රොයිඩ් සුවිශේෂී රෝගී තත්ත්වයකි. මන්ද යත් වර්තමානයේ බොහෝ කාන්තාවන් තුළ තුල මෙම රෝගී තත්ත්වය සුලභව හඳුනාගත හැකිය.

මෙම රෝගී තත්වයේදී සිදුවන්නේ කාන්තාවන්ගේ ගර්භාෂයේ ගෙඩි හට ගැනීමයි. ගෙඩි කිවු සැනින් සිහියට නැගෙන්නේ පිලිකා තත්ව වේ. එනමුත් මේ ෆ්‍රයිබ්‍රොයිඩ් යනු පිළිකා තත්ත්වයක් නොවේ. මෙම ගෙඩි වලට පිළිකාවක් දක්වා ව්‍යාප්ත වීමේ හැකියාව අවම වේ.මෙම රෝගී තත්ත්වය බොහෝ අවස්ථාවලදී එතරම් හානිකර නොවන අතර ඇතැම් විට හානිදායක වන අවස්ථාද නැතුවාම නොවේ.ගර්භාෂ ගෙඩි හට ගනු ලබන්නේ ගර්භාශයේ පිටත බිත්තිය ,ඇතුළත බිත්තිය,ගර්භාෂය ඇතුළත ඇති ආවරණය,ගැබ් ගෙලෙහි වැනි ස්ථාන වල වේ. එකවර ගෙඩි කිහිපයක් හට ගැනීමේ හැකියාව මෙම රෝගී තත්වයේ සුවිශේෂී හැකියාවකි.

පවතින ස්ථානය, ගෙඩියේ ප්‍රමාණය සහ විශාලත්වය මත රෝග ලක්ෂණ විවිධාකාර වේ. බොහෝ දෙනෙක්ට පිහිටන්නේ සෙන්ටිමීටර් එකටත් වඩා කුඩා කිසිදු හානියක් නැති ෆයිබ්‍රොයිඩ් වර්ග වන අතර විශාලත්වයෙන් සෙන්ටිමීටර 5 ට වඩා වැඩි නම් ප්‍රතිකාර සඳහා යොමුවීම අනිවාර්ය වේ.ගර්භාෂයේ පිටත බිත්තියේ ඇතිවන ගෙඩි ඉතා විශාල වන තෙක් කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන අතර ගර්භාෂ කුහරය ඇතුළට නෙරා ඇති ගෙඩි වලින් අධිකව රුධිර වහනය සිදු වේ. එහි විශාලත්වය මත ඔසප් වීමේදී අධික වේදනාවක් හෝ අධික රුධිර වහනයක් සිදු විය හැකියි. ඔසප් වීමේදී අසාමාන්‍ය වේදනාවක් හෝ අසාමාන්‍ය රුධිර වහනයක් සහිත වේ නම් වෛද්‍ය පරීක්ෂාවකට ලක්වීම අනිවාර්ය වේ.

මෙම ගර්භාෂ ගෙඩි ඇති වීමට බලපාන නිශ්චිත හේතුවක් හදුනාගත නොහැකි අතර කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය මත මෙම ගෙඩි වර්ධනය වේ. කෙසේ නමුත් අවුරුදු 50 න් පමණ පසු ආර්තවාභාවයෙන් පසුව ඊස්ට්‍රජන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය අඩාලවන බැවින් ගර්භාෂ ගෙඩි ඇතිවීමේ අවදානම වයස අවුරැදු පනහ ඉක්මවීමෙන් පසුව අඩු වේ.

මෙම ෆයිබ්‍රොයිඩ් අවදානම් සහිත අය

  • ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම ඉහළ මට්ටමක පවතින නිසා ගර්භණී කාන්තාවන් අවදානම් සහගත වේ.
  • පවුලේ වෙනත් කාන්තාවකට මෙම තත්ත්වය පව‍තී නම් පවුලේ සෙසු කාන්තාවන් අවදානමට ලක්වේ.
  • අධික ස්ථුලභාවය සහිත කාන්තාවන් අවදානම් වේ.
  • දරුවන් නැති කාන්තාවන් ට හෝ දරුවන් අඩු කාන්තාවන් අවදානමට ලක් වේ.
  • මල්වරවීමෙන් පසුව සිට අර්තවහරණය දක්වා සෑම කාන්තාවකටම මෙහි අවදානම අඩුවැඩි වශයෙන් පවතී.

කාන්තාවක් ගර්භනී වීම සඳහා ගර්භාෂයේ ගෙඩි ඇතිවීම යම්තාක් දුරකට බාධා ගෙන දේ. විශේෂයෙන් මෙහිදී ගබ්සාවීම් සිදුවන අතර යම් කාන්තාවකට දිගින් දිගට කිහිප වරක් ගබ්සා වීම් සිදුවුවහොත් ස්කෑන් පරීක්ෂණයකට යොමු වී ගර්භාශයේ ගෙඩි ඇත්දැයි තහවුරු කරගත යුතුය. යම් හෙයකින් ගර්භාෂ ගෙඩි පවතින අවස්ථාවකදී කාන්තාවක් ගර්භණී තත්ත්වයට පත්වුවහොත් එය ඉවත් කළ යුත්තේ දරු ප්‍රසූතියෙන් පසුව වේ.

ගර්භාශයේ ගෙඩි ඇතිවූ විට කාන්තාවන්ගෙන් සියයට පනහකට පමණ රෝග ලක්ෂණ පෙන්නුම් කළ ද සෙසු අයට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරනු ඇත. කෙසේ වෙතත් මෙම රෝගයට පොදු වූ රෝග  ලක්ෂණ කිහිපයක් පහත පරිදි පෙන්වාදිය හැකි ය.

  • ඔසප් සමයේදී රුධිර වහනය අධික වීම.
  • රුධිර කැටි ලෙස පිට වීම.
  • පහත බඩ ප්‍රදේශයේ ඇති වන අධික වේදනාව
  • පිට කොන්දේ ඇතිවන වේදනාව
  • දිනකට වැඩි වාර ගණනක් මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය ඇතිවීම
  • උදරය ඉදිරියට නෙරා ඒම
  • වළලූකර පහළ කොටස ඉදිමීම
  • නහර ගැට ගැසීම
  • මළපහ කිරීමේ අපහසුතා ආදී රෝග ලක්ෂණ ගර්භාෂ ගෙඩි තත්ත්වයේදී හඳුනාගත හැකිය.

ගර්භාශයේ ගෙඩි ඇතිවූ විට ප්‍රතිකාර වෙත යොමු වීම අනිවාර්ය වේ. කෙසේ නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන ගර්භාෂ ගෙඩි සදහා ප්‍රතිකාර අත්‍යවශ්‍ය නොවේ. රෝග ලක්ෂණ පහළ වූ විට සුදුසු ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයකු මුණගැසී ස්කෑන් පරීක්ෂණයක් හරහා රෝගය තහවුරු කරගත යුතුය. මුල් කාලීනව රෝගය තහවුරු කරගත හොත් ගිලින පෙති හෝ එන්නත්කරණය මගින් මෙම රෝගය සුවපත් කරගත හැකිය.

කල්ගත වූ ගර්භාෂ ගෙඩි සදහා සැත්කමක් සිදු කිරීම අනිවාර්ය වන අතර එමඟින් එම ගෙඩි ඉවත් කරගත හැකිය. සැත්කමින් පසුව බෙහෙත් ගැල්වීමේදී ඉතා ප්‍රවේශම් සහගත විය යුතු ය. තුවාලය  නිතරම  පිරිසිදුව හා වියලිව තබා ගැනීමට වගබලා ගත යුතු අතර පැසවීමට ලක් නොවිය යුතුය. එමෙන්ම තුවාලය හොඳටම සුව වන තෙක් පඩි නැගීමේදී සහ බර ඉසිලීමේදී ප්‍රවේසම් සහගත විය යුතුය. වෛද්‍ය උපදෙස්  නිසි පරිදි පිළිපැදීම ද මෙහිදී අත්‍යවශ්‍ය වේ.