එදිනෙදා ජීවිතයේදී අපේ ජීවිතයට සිදුවෙන්නට පුළුවන් අනතුරු පිළිබඳව අපිට කලින් කියන්නට බැහැ. කිසියම් අනතුරක් සිදුවන්නට යන්නේ ඉතාම සුළු කාලයක් . නිවසේදී වගේම නිවසින් පිටතදී ඕනෑම අවස්ථාවක ලොකු කුඩා අපි හැමෝම අනතුරකට භාජනය වීමට පුළුවන්. ඒ පිළිබඳව අපට කලින් දැනකියා ගන්නට අවස්ථාවක් නැහැ. යම් අනතුරක් සිදු වූ අවස්ථාවකදී පුද්ගලයාව රෝහල් ගත කරන තෙක් ඒ පුද්ගලයාගේ ජීවිතයට හානියක් නොවන ආකාරයට කරන්න ඕන මොනවද නොකරන්න ඕනේ මොනවද කියන කාරණා ගැන අපි දැනුවත් වෙලා ඉන්න එක හරිම වැදගත් .අනපේක්ෂිතව ඇතිවන හදිසි කරදරයකදී ඔබ දැන සිටිය යුතුම ප්‍රථමාධාර ක්‍රම කිහිපයක් තමයි මේ.

පිළිස්සුම් තුවාල සඳහා-සමේ විශාල ප්‍රදේශයක් ආවරණය වන පිලිස්සුම් තුවාල, පුද්ගලයාගේ මුහුණ, ඉඟටිය, කකුල්, අත් හෝ පාදවල ඇති පිලිස්සුම් තුවාල රසායනික ද්‍රව්‍ය හෝ විදුලිය නිසා ඇතිවූ පිළිස්සුම් තුවාල ආදිය සඳහා ඔබ ප්‍රථමාධාර සිදුකිරීමට යාම සුදුසු නැහැ. අපි මේ කතා කරන්නේ සම මතුපිට ස්ථරය පමණක් බලපෑමට ලක්වූ සාමාන්‍ය සුලු පිලිස්සීමකදී සිදු කළ හැකි ප්‍රතිකාර පිළිබඳවයි.
බලපෑමට ලක් වූ ප්‍රදේශය පුරා විනාඩි 20 ක් ජලයෙන් සෝදා හරින්න. මෙහිදී පිළිස්සුම් ස්ථානය වතුරට අල්ලාගෙන සිටීමයි කළ යුත්තේ.
අයිස් ජලයෙන් සේදීම ක්ෂණික සුවයක් ලබා දුන්නත් එය පටකවල හානිය තවදුරටත් බරපතළ වෙන්නට හේතුවක් වෙන්න පුළුවන්.
තුවාලය පිරිසිදු කරගත් පසුව අයිස් පැක් එකක් හෝ රෙදි කැබැල්ලකට අයිස් කැට කිහිපයක් දමා පොට්ටනියක් සේ සාදා තුවාලය තවන්න.
බේකින් සෝඩා සහ ජලය ස්වල්පයක් මිශ්‍රකර ආලේප කිරීමෙන් පිලිස්සුම් තාපය ඉවත් කරගන්නට පුළුවන්.
වෛද්‍ය නිර්දේශය නොමැතිව ඔසුසල්වලින් ලබාගත හැකි OTC-Over the counter වේදනා නාශක මගින් වේදනාව සමනය කරගත හැකියි.
lidocaine හෝ කෝමාරිකා ජෙල් ආලේප කිරීමෙන් සුලු පිළිස්සුම් නිසා ඇතිවන වන අපහසුතා අවම කරගන්නට පුළුවන්.
තුවාල වූ විට-මුලින්ම රුධිරය වහනය නතර කරගත යුතුයි.සුළු කැපුමක් නම් ලේ ගැල්ලීම ඉක්මනින් නතර වෙනවා. නමුත් තරමක් විශාල කැපුමක් නම් ගෝස් හෝ පිරිසිදු රෙදි කැබැල්ලක් තදින් තුවාලයට උඩින් තද කරගෙන සිටීමෙන් රුධිර ගලනය නවතා ගන්න පුළුවන්. ප්‍රතිකාර සඳහා රෝගියාව ගෙනයනතුරු ලේ ඇලීම නවතා ගැනීම ඉතා වැදගත්.
සෑම විටම තුවාලය හෘදයේ මට්ටමට වඩා ඉහළින් තබා ගන්න. ඉදිමුම සමනය කරගැනීමට සහ තරල ඉවත් වීමට සහයක් එයින් ඔබට ලැබෙනවා.කොට්ටයක් භාවිතා කරමින් ඒ ප්‍රදේශය මදක් උස්ව සිටිනා ආකාරයෙන් තබා වැතිර සිටීම වඩා වැදගත්.
අස්ථි බිඳීම් සඳහා-මේ වගේ අවස්ථාවකදී අනිවාර්යෙන්ම රෝගියාව රෝහල්ට ගෙන යා යුතුයි.මෙවැනි අවස්ථාවකදී තුවාලය දිගහැරීමට හෝ නැවීමට උත්සාහ නොකරන්න. හානි වූ අස්ථිය නොසෙල්වෙන සේ ස්ථාවර සේ පතුරක් වෙළුම් පටියකින් වෙලන්න. කැඩුණු අස්ථිය සෙලවීමෙන් ඇතුළෙ මාංශපේශීවලට හානි වෙන්නට පුළුවන්. ඒ ස්ථානය සිසිල් වීමට සීතල රෙදිකඩක් ඊඩ උඩින් තබා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න.
මීමැස්සෙක් දෂ්ඨ කළ විට හැකි ඉක්මනින් මේ විශ තුඩ ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. ඊට හේතුව මී මැස්සකුගේ තුඩ ගැලවී ගිය විට ඉන් යම් ගන්ධයක් නිකුත් කරන නිසා ඒ ගන්ධයට අනෙකුත් මී මැස්සන් ආකර්ශණය වීම සිදුවෙනවා. එය නැවත ඔබට ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් නිර්මාණය වෙනවා.
හොඳින් තුවාලය සෝදන්න. ඉන්පසුව අයිස් කැට පොට්ටනියකින් තුවාලය තවන්න. විෂ නැතිවීමට යම් තෙලක් හෝ අලේපනයක් ගල්වන්න.
ඇසට් පිටතින් යමක් ඇතුළු වූ විට මේ සඳහා අපට කළ හැක්කේ පිරිසිදු ජලයෙන් ඇස සේදීම පමනයි .
ඉන්පසු හොඳින් ඇස ආවරණය කර ගෙන ප්‍රතිකාර සඳහා යොමුවෙන්න. මොකද ඇස ඉතාම සංවේදී ඉන්ද්‍රියක් නිසා පිටින් යම් යම් දේ දැමීම කිසිසේත්ම සුදුසු නැහැ.
කීරක් ඇනීම නිසා වන තුවාල කීරක්, පතුරක් හෝ කටු තුළත් ඇණීම නිසා වන තුවාලයක් මඟින් විෂබීජ ආසාදනයක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මුලින්ම ඔබේ දෑත් විසබීජහරණය කරගන්න.
පළමුව antiseptic දියරයක් ගල්වා උණුවතුරෙන් තම්බාගත් ඉදිකටුවකින් ඔබට පීඩා ගෙන දෙන කීර හෝ පතුර ගලවා ඉවත් කර ගන්නට පුළුවන්. ඉන්පසුව තුවාලය සබන් යොදා ඡලයෙන් හොඳින් සෝදා ගැනීමට මතක තබා ගන්න.
තුවාල කැලැල් ඇතිවීම වැළැක්වීම තුවාල ඇති වූ විට කැළල් අපේ සම මත ඉතිරිවීම බොහෝ දෙනෙක් පීඩා විඳින කාරණාවක්. විශේෂයෙන්ම බේකින් සෝඩා භාවිතා කර තුවාලවලට ප්‍රතිකාර කරන විට ඒ ස්ථානයේ කැළැල් ඇතිවීමක් වෙන්නේ නැහැ. සම මත කැළැල් ඇතිවීම වැළැක්වීමට ඒවායේ ඇති විෂහරන ගුණ වැදගත් වෙනවා. මෙහිදී ඔබට ජලයට බේකින් සෝඩා ස්වල්පයක් මිශ්‍රකර තුවාලය සේදීමත් කරන්නට පුළුවන්.
හෘදයාබාධයක් ඇති විට

- හෘදයාබාදයක රෝග ලක්ෂණ සහිතව අපහසුතාවයක් පපුවේ වේදනාවක් ඇති අයෙක් ඒ අපහසුතාවය ඔබට පවසන්නේ නම් එවිට ඇදක් හෝ හාන්සි කිරීමට යමක් නොමැති නම් බිම් හෝ රෝගීයාව තිරස්ව වැතිරීමට සලස්වන්න.
- පුටුවක වාඩි කරන්නේ නම් දෙපා රෝගියාගේ සිරුරට සමාන්තරව ඔසවා තබන්න.
- සිහි මද ගතියක් ඇත්නම් රෝගියාව වහාම එක් ඇලයට හරවන්න.
- තද ඇදුම් ලිහිල් කරන්න.
- මුත්‍ර හෝ මළපහ පිට කිරීමට අවශ්‍ය නම් දිගාවී සිටියදීම එය කිරීමට සලස් වන්න. නැගිටුවා ඇවිද්දවීම නොකළ යුතුයි.
- ඇස්ප්‍රීන් පෙත්තක් ඇල්වතුර කෝප්ප කාලකට දියකර රෝගියාට ලබා දෙන්න.වෙනත් පානයන් ලබා නොදෙන්න. වහාම වෛද්‍යවරයෙකු කරා යොමු කරන්න.
සර්ප දෂ්ටනයකදී රෝගීයාව සන්සුන්ව තබා ගන්න. එය රුධිර සංසරණය වේගවත් වී විෂ ඉක්මනින් ශරීරගත වෙන්න පුළුවන්.දෂ්ට කළ තුවාලය අවට සේදීමෙන් වළකින්න.
වලිප්පුව සඳහා
- අවට සිටින අය ඉක්මනින් ඉවත් කර රෝගියාට හොඳින් වාතාශ්‍රය ලැබීමට සලස්වන්න.
- රෝගියා ආරක්ෂක ස්ථානයකට රැගෙන යන්න.
- හිසට යටින් කොට්ටයක් හෝ රෙද්දක් වැනි දෙයක් තබා හිසපොළොවේ හෝ දැඩි මතුපිටක ගැටීම වළක්වන්න.
- බෙල්ල අවට තද වුණ ටයි පටි, කොලර්, මාල ආදිය ලිහිල් කරන්න.
- කිසිසේත්ම කට ඇතුලට ඇඟිලි යකඩ හැඳි ආදිය ඇතුළු කරන්න එපා.
- ෆිට් එක ඉබේම නවතින තුරු සිට රෝගියාව ප්‍රතිකාර සඳහා යොමු කරන්න.
- ක්ලාන්ත වූ විට
- කලන්තෙ නිසා බිම වැටුණු කෙනෙක් නම් වැටීම නිසා හානියක් වී ඇතිද යන්න මුලින්ම බලන්න.
- එහෙම නැත්නම් හාන්සි කරවා පිරිසිදු වාතය ලැබෙන්න සලස්වන්න.
- යටිපතුල් සිරුරේ මට්ටමට වඩා ඉහළින් සිටින විදියට සකස් කරන්න.
- ඇඳුම් ලිහිල් කර ඇග සිසිල් වෙන්නට ඉඩ හරින්න.
- මුහුණේ වතුර ස්වල්පයක් ආලේප කරන්න.
- පියවි සිහිය ලැබෙන තුරු වතුර බොන්නට උත්සාහ කරන්න එපා.මේවා මූලික ප්‍රතිකාර පමණක් වන නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගියාව යොමු කරවන්නට මතක් තබා ගන්න.