උදරය ආශ්‍රිතව ඇතිවන විවිධ රෝග තත්ත්වයන් අතරින් බඩ පිපීම (බ්ලොටින් ) කියන්නේ ජීවිතයේ එක් වරකදී හෝ ඔබත් අත්විද ඇති තත්ත්වයක්. ඒ වගේම නිරන්තරයෙන් බොහෝ අය පීඩා විදින තත්ත්වයක්. මේ බඩ පිපීම සාමාන්‍යයෙන් රෝගයක් ලෙස වගේම වෙනත් රෝගයක ලක්ෂණයක් ලෙසත් ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේ බඩ පිපිම කියන තත්ත්වය නිසා එදිනෙදා කටයුතු නිසි පරිදි කරගෙන යාමට පවා බාධා ගෙනදෙනවා. ඉතින් සැබැවින්ම බඩ පිපීම කියන තත්ත්වය කායිකව මහත් අපහසුවක් ගෙන දෙන අතර එය අපේ උදරය විශාල ලෙස පෙනීමටත් හේතුවක් වන නිසා මානසිකවත් යම් පීඩාවක් ඇති කරන්නටත් සමත් වෙනවා. ඉතින් මේ බඩ පිපීම නිරන්තරයෙන් වගේම කලාතුරකින් යම් අයෙකුට ඇති වෙන්නත් පුළුවන්. නමුත් කලාතුරකින් ඇතිවන තත්ත්වයට වඩා නිතර නිතර උදරයේ ඇතිවන මේ අපහසුතාවය නොසලකා හැරීම නුසුදුසුයි. ඒ වගේම බඩ පිපුමට ප්‍රතිකාර කරනවාට වඩා මේ බඩ පිපීම ඇති නොවෙන්නට වග බලා ගැනීම හැමෝමටම වැදගත් වේවි. ඉතින් අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ බඩ පිපීම ඇතිවෙන්නට බලපාන හේතු පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට. එවිට මේ තත්ත්වය ඇතිවීම වළක්වා ගන්නට ඔබට පුළුවන්.
සාමාන්‍ය බඩ පිපීමක් ඇති වෙන්නේ අප ගනු ලබන ආහාර ආමාශය තුළ හෝ කුඩා බඩවැල තුළ පැසවීමට ලක්ව විවිධ වායු වර්ග නිෂ්පාදනය කිරීම හේතුවෙන්, ඒ නිසා ආමාශයට අපහසුතා දැනෙන ආකාරයට ආමාශය පිරීම සිදු වෙනවා. ඒ නිසා උදරය ඉදිමී ගිය ස්වභාවයක් වගේම බඩේ තද ස්වභාවයක් ද ඇති වෙන්නට පුළුවන්.නමුත් ඒ තත්ත්වය හැරුණාම ආමාශයේ වාතය පිරීමට හා බඩ පුරවා දැමීමට උදරය තුළ දියර ඒකරාශීවීමක් හෝ ගෙඩියක් හේතුවී ද යන්න වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරවා ගැනීම වැදගත්.
බඩ පිපීම ඇති වන්නට බලපාන හේතු

- වාතය කෝප කරන ආහාර පාන නිතර ලබා ගැනීම (තෙල් මිරිස් අධිකව යොදන ලද ආහාර, කිරි ආහාර,ඇට වර්ග බිත්තර )
- පහසුවෙන් පැසවන ආහාර වර්ග නිතර භාවිතය (පිපුම්කාරක භාවිතා කර සාදන ලද ආහාර වර්ග, බෝංචි, සෝයා ඇට, කව්පි, කඩල, දෙල්, කොස් )
- ආමාශය තුළ වැඩි කාලයක් රැඳෙන ආහාර ගැනීම
- මේදය සහ පිටි බහුල ආහාර ගැනීම
- අධික ප්‍රමාණයක් ආහාර ගැනීම
- පෙර ගත් ආහාරය ජීර්ණයවීමට පෙර නැවත ආහාර ගැනීම
- ප්‍රෝටීන බහුල මාංශමය ආහාර වැඩි වශයෙන් ගැනීම
- පෙර සකස් කළ ලුණු සහ මේදය බහුල ආහාර බහුලව ලබා ගැනීම
- ආහාර සංකලනයේ දුර්වලතා
විවිධ වර්ගයේ ආහාර එකවිට ලබාගත් විට ජීර්ණ ක්‍රියාවලියට බාධා ඇතිවීම සිදුවෙනවා.ප්‍රධාන වශයෙන් පලතුරු අනුභව කරන විට ප්‍රෝටීන් ආදී ආහාර සමඟ සංයෝග කර අනුභව කිරීමෙන් බඩ පිපීම් ඇති වෙන්නට පුළුවන්.
- දිගු වේලාවක් නිරාහාරව සිටීම හා රාත්‍රියේදී අධික ලෙස ආහාර ගැනීම උදෑසන ආහාරය නොගෙන දහවල් අධික ලෙස ආහාර ගැනීමෙන් රුධිරයේ සීනි ප්‍රමාණය ක්ෂණිකව වැඩි වෙනවා.
- ප්‍රතිජීවක ඖෂධ බහුලව භාවිතා කිරීම බඩ පිපුම ඇතිවෙන්නට බලපාන සුලබ තත්ත්වයක් වන්නේ මේ ප්‍රතිජීවක ඖෂධ භාවිතයයි .විශේෂයෙන්ම කුඩා වයසේදී කන්වල ආසාදනවලදී සෙම් ගෙඩි ආදිය රෝගවලදී වගේම යොවුන් වියේදී කුරුලෑ හෝ මුත්‍ර ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධ බහුලව භාවිතා කරනු ලබනවා. මේ ඖෂධ සිරුරේ අන්ත්‍රවල සිටින හිතකර බැක්ටීරියා විනාශ කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස යීස්ට් ආදී ක්ශුද්‍ර ජීවීන් වර්ධනය වීම වැඩිවී නිෂ්පාදනය කරන වායු ප්‍රමාණය වැඩිවීමෙන් බඩ පිපුම ඇති වෙනවා.එහිදී අප ගනු ලබන ආහාර යීස්ට් මගින් පැසවීමට ලක් කරනු ලබනවා.

- ජලය අඩුවෙන් පානය කිරීම
- මානසික ආතතිය
- වාතය ගිලීම
ආහාර ගන්නා අතරේ කතා කිරීම, චුන්ගම් හැපීම, ශ්වසන අපහසුතා නිසා මුඛයෙන් හුස්ම ගන්නා විට වාතය වැඩි වශයෙන් ඇතුළු වෙනවා.
- පණු රෝග
- මල බද්ධය
- අමිල පිත්ත රෝගය
- ඉන්සියුලින් ප්‍රතිරෝධය
රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය ශරීරයට විෂ වන තරමට වැඩිවීම නිසා උදරයේ පිපුණු ස්වභාවයක් ඇතිවෙන්නට පුළුවන්.
- නිදි වැරීම
- මළ මුත්‍ර වේග දරා සිටීම
රෝග ලක්ෂණ
- උදරයේ පිම්බුණු ස්වභාවය
- උදර වේදනාව
- ඔක්කාරය
- උගුරට ඒම
- ගුදය මගින් වාතය පිටවීම
- පපුව හිර කරන ස්වභාවය හා ශාරීරික අපහසුතාවය
- යටිබඩ ප්‍රදේශයේ වේදනාව
- කොන්ද කැක්කුම
- වමනය
ඉතින් බඩ පිපුම් කියන්නේ කාන්තා පුරුෂ බාල මහලු භේදයකින් තොරව බොහෝදෙනෙකුට ඇතිවෙන්නට හැකි අපහසුතාවයක්. මේ තත්ත්වය ඇතිවෙන්න්ට ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ අපේ අවිධිමත් ආහාර පුරුදු. එබැවින් ඒ වැරදි පුරුදු හා චර්යාවන් නිවැරදි ලෙස වෙනස් කර ගැනීම මගින් මේ අපහසුතාවය ඇතිවීම වළක්වා ගන්නට අපිට පුළුවන්. නමුත් නිතර නිතර බඩ පිපීම ඇතිවන්නේ නම් ඒ සඳහා වෛද්‍යවරයෙකු හමුවී වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වෙනවා. නමුත් කලාතුරකින් ඇතිවන බඩ පිපුමකදී එය සුව කරගන්නට නිවසේදී කළ හැකි සරල ප්‍රතිකර්ම කිහිපයක් අත්හදා බැලීම වැදගත්.