බර අඩු කරන හණ ඇට සත්කාරය

health tips

අපේ ආහාර අතරට අනිවාර්යෙන්ම එකතු කරගත යුතු කාණ්ඩයක් තමයි ඇට වර්ග කියන්නේ. සිරුරේ මනා පැවැත්මට මේ ඇට වර්ග අත්‍යවශ්‍ය කාර්යබාරයක් ඉටු කරන බව විද්‍යාත්මකව පර්යේෂණ මගින් තහවුරු කර තියෙනවා. මේ ඇට වර්ග අතුරින් හණ ඇට කියන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට බෙහෙවින්ම හේතු වන මීට වසර ගණනාවක පෙර සිටම භාවිතයට ගත් ඉහළ පෝෂණ ගුණයෙන් සමන්විත ඇට වර්ගයක්. එදා රජවරුන් සිය යුධ කටයුතුවලදී සෙබළුන්ට පවා මේ හණ ඇට අනුභවයට දුන් අවස්ථා පිළිබඳව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් අද අපි බොහෝදෙනා නිතර ආහාරයට නොගන්නා නමුත් හණ ඇට දිනපතාම ආහාරයට එකතු කර ගත යුතු සිරුරේ කාර්යක්ෂමතාවය වැඩි කරන ඇට වර්ගයක්. ඉතින් අද අපි ඔබට කියන්නට යන්නේ දිනපතාම හණ ඇට අනුභව කිරීමෙන් අපිට ලබා ගන්නට හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ පිළිබඳවයි.

මේ හණ ඇට දුඹුරු පැහැයෙන් වගේම රන්වන් පැහැයෙන් වර්ග දෙකක් දකින්නට ලැබෙනවා. නමුත් එහි පෝෂණ ගුණයන් එක හා සමානයි. දිනකට හණ ඇට මේස හැන්දක ප්‍රමාණයක් අනුභව කිරීමෙන් මිනිස් ශරීරයට අවශ්‍ය කරන ප්‍රෝටීන්, තන්තු ඔමේගා 3 මේද අම්ල සැලකිය යුතු ප්‍රමාණයක් ලබා ගන්නට හැකි වෙනවා. මේ හණ ඇට සතු ප්‍රෝටීන අතුරින් ඇමයිනෝ අම්ල,  ඇස්පාටික් අම්ල හා ග්ලූටමින් අම්ල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙනවා. ඒ නිසා මාංශමය ප්‍රෝටීනවලට නොදෙනිව ආකාරයෙන් ප්‍රෝටීන් ලබාගත හැකි අගනා ප්‍රභවයක් තමයි මේ හණ ඇට. ඒ නිසා නිර්මාංශික අයෙකුට මේ හණ ඇට ඉතාම වැදගත් වෙනවා.

මේ හණ ඇට මේස හැන්දක ප්‍රමාණයක තන්තු ග්‍රෑම් 3 ක් අඩංගු වෙනවා. එය දෛනිකව සාමාන්‍ය  පුද්ගලයෙකුට අවශ්‍ය කරන තන්තු ප්‍රමාණයෙන් 12% ක් .මේ හණ ඇටවල ජල ද්‍රාවී තන්තු වගේම ජල අද්‍රාවී තන්තු යන කොටස් දෙවර්ගයම අන්තර්ගත වෙනවා.ඒ හැරුණාම ශරීරයට අත්‍යවශ්‍ය වන B1 B6 කැල්සියම්, යකඩ  මැග්නීසියම්, පොස්පරස්,  පොටෑසියම් වැනි පෝෂක  සංඝටක රාශියක්ම මේ හණ ඇට තුළ අන්තර්ගත වෙනවා.

ඒ වගේම හදවත සෞඛ්‍ය සම්පන්නව තබා ගන්නට, මොළයේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වා ගන්නට  බෙහෙවින්ම උපකාරී වන ඔමේගා 3 පෝෂණ සංඝටකය මේ හණ ඇටවල සැලකිය යුතු ප්‍රමාණයකින් අන්තර්ගත වෙනවා. ඉතින් ඔමේගා 3 අපිට බහුලවම සත්ත්වමය ආහාර මගින් ලැබුණත් ශාකමය ආහාරයක් ලෙස හණ ඇට මගින් අපිට ඉතා ඉහළ මට්ටමින් සිරුරට අවශ්‍ය කරන ඔමේගා 3 මේද අම්ල ලබාගන්නට පුළුවන්.මේ හණ ඇට සතු ඔමේගා 3 මේද අම්ලත් එක්තරා ආකාරයකට විශේෂ වෙනවා. මොකද එහි ALA හෙවත් ඇල්ෆා ලිනෝලේනික් අම්ලය අන්තර්ගත වන නිසා. මෙය අපේ ශරීරයට නිපදවා ගන්නට නොහැකි අත්‍යවශ්‍ය මේද අම්ලයක් නිසා හණ ඇට අපේ ශරීරයට අත්‍යවශ්‍යයෙන්ම ලබාගත යුතු ඇට වර්ගයක් ලෙසට සලකන්නට පුලුවන්.

මේ හණ ඇට විවිධාකාරයෙන් ආහාරය පිණිස ලබා ගන්නට පුළුවන්. ඒ අතුරින් හණ ඇට අහුරු දෙකක් වතුරේ පෙගෙන්නට දමා ඒ වතුර පානය කරන්නට හැකි වගේම හණ ඇටවලින් සකස් කළ තෙල් ද පරිභෝජනය කරන්නට පුළුවන්. නැත්නම් ඔබ ගන්නා වෙනත් ධාන්‍ය වර්ගවලට මේ හණ ඇට එකතු කර ගන්නට හැකි අතර කේක් වර්ග ආදිය සකස් කිරීමේදීත් මේ හණ එකතු කරන්නට පුළුවන්.

හණ ඇට අනුභවයෙන් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ 

හදවත් රෝග ඇතිවීම වළක්වයි  මෙහි අඩංගු ඇල්ෆා ලිනෝලෙනික් අම්ලය මගින් හදවත කරා රුධිරය ගමන් කරන රුධිර වාහිනීවල රුධිරය තැන්පත්වීම හා රුධිර නාලිකාවල ප්‍රදාහමය තත්ත්වයන් ඇතිවීම වළක්වනු ලබනවා. හණ ඇටවල බහුලව අඩංගු මේ ALA කියන ඔමේගා 3 මේද අම්ලය නිසි පරිදි සිරුරට ලැබීම හෘදයාබදවලින් ආරක්ෂා වීමටත් ආඝාතය ආදී රෝගවලින් ආරක්ෂා වෙන්නටත් බෙහෙවින් උපකාරී වෙනවා. 

පිළිකාවලින් ආරක්ෂා කරයි ලෝකය පුරාම ඉතාමත් භයානක ආකාරයෙන් පැතිරී යන පිළිකා අවදානමෙන් මිදීම සඳහා උපකාරී වන ආහාරයක් තමයි මේ හණ ඇට.මේ හණ ඇට තුළ අඩංගු වෙන ලිග්නන්ස් කියන ප්‍රතිඔක්සිකාරක සංයෝගය පිළිකාවලින් අපිව ආරක්ෂා කරන්නට උපකාර කරනවා. දිනපතා හණ ඇට අනුභව කරන කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම 18% කින් පමණ අඩු කරගත හැකි බව සමීක්ෂණවලින් හෙළි කරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි හණ ඇට අනුභව කිරීමෙන් පුරුෂයන්ගේ පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව පිළිකා ඇතිවීමේ අවදානම ද අඩුකර ගන්නට හැකියාව ලැබෙනවා. ඒ හැරුණාම බඩවැල් ආශ්‍රිත පිළිකා හා සමේ ඇතිවන පිළිකාවලින් පවා ඉහළ ආරක්ෂාවක් ලබාදෙනවා.

මල බද්ධය ඇතිවීම වළක්වා බඩ පිපුම ආදිය සමනය කරයි.හණ ඇටවල ජල ද්‍රාවී සහ ජල අද්‍රාවී තන්තු බහුල වශයෙන් අන්තර්ගතව තිබීම නිසා ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත මෙවැනි ගැටළු විසඳා ගන්නට බෙහෙවින් උපකාරී වෙනවා.

අධි රුධිර පීඩනයෙන් ආරක්ෂා කරයි දිනපතා ග්‍රෑම් 30 ක හණ ඇට ප්‍රමාණයක්  මාස 6 ක් නොනවත්වා ආහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය සැලකිය යුතු මට්ටමින් අඩු කර ගන්නට හැකියාව ලැබෙනවා.

ශරීර බර අඩු කරයි අද බොහෝදෙනා පීඩා විදින මේ ගැටළුවට සාර්ථකම විසඳුම වෙන්නේ හණ ඇට. විශේෂයෙන්ම ආහාර අනුභවයේදී හණ ඇට අනුභව කළ විට කුස පිරිණු ස්වභාවයක් ගැනීමෙන් නිතර බඩගිනි ඇති වෙන්නේ නැහැ.

අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අවම කරයි දිනපතා හණ ඇට කුඩු ග්‍රෑම්  30 ක් මේස හැදි 3 ක ප්‍රමාණයක්  නොනවත්වා මාස 3 ක කාලයක් පරිභෝජනය කිරීමෙන් ශරීරයේ නරක කොලෙස්ටරෝල් මට්ටමට 20% කින් අඩු කරගත බව සමීක්ෂණවලින් පෙන්වා දී තියෙනවා.

රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි හණ ඇට දෙවන ගණයේ දියවැඩියාව ඇතිවීම පාලනය කරන අතර හණ ඇට කුඩු ග්‍රෑම් 20 ක්  දිනපතා පාරිභෝජනයෙන් මාසයකින් පමණ පසුව  රුධිරගත සීනි මට්ටම 20% කින් පහළ යන බව සමීක්ෂණ මගින් සොයාගෙන තියෙනවා.

නමුත් මේ හණ ඇට පමණට වඩා ලබා ගැනීමට නම් සිරුරට අහිතකර බලපෑම් ඇති කරන්නට පුළුවන්. ඒ නිසා අවශ්‍ය පමණට හණ ඇට ආහාරයට එකතු කරගන්නට වග බලා ගන්න.