පිළිකාවට තිත තියන කටු පිල ශාකය සතු රෝග සුව කිරීමේ ගුණ 18 ක්

health tips

පිළිකාව සෛල විනාශ කරන පිළිකා නාශක ගුණ ඇති ඖෂධ බොහොමයක් දේශීය වෙදකමේ වගේම ආයුර්වේදය තුළත් භාවිතා කෙරෙනවා. පිළිකාව කුඩා බිලිදාගේ පටන් මහලුවියේ පුද්ගලයෙක් පවා බිලිගන්නා ඉතාම භයානක රෝගයක්. ඉතින් මේ රෝගයෙන් ආරක්ෂා වෙන්නට භාවිතා කරන්නට හැකි බොහෝ ඔසු රාශියක් අපේ මහපොළවේ තිබුණත් ඒ පිළිබඳව වැඩි දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසාම අපේ රටට ආවේණික වටිනාකමින් ඉහළ ඖෂධීය පැලෑටි පිළිබඳව දැනගැනීම සහ දැනුවත් කිරීම නීරෝගිමත් ජාතියක් විදියට නැගී සිටින්නට මහඟු අත්වැලක් සපයනු ලබනවා. ඉතින් අද අප මේ කතා කරන්නේ මහත් ගුණැති කටුපිල ශාකය පිළිබඳව.

Flugguea leucopyrus  යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කටුපිල හීන් කටුපිල ලෙසත් හඳුන්වන අතර ආයුර්වේදයේ ශරපුංඛා විදියටයි හඳුන්වන්නේ. ඒ හැරුණාම කණ්ටපුංඛා, ස්ලීහාශතෘ, කණ්ටපුංකිකා, කණ්ටාලු, කාලිකා ආදී නම්වලින් හඳුන්වනු ලබනවා.මේ ශාකය Euphorbiaceae කුලයටයි අයත් වෙන්නේ.කටු පදුරු ලෙස පහතරට පළාත්වල වගේම වියළි ශුෂ්ක ප්‍රදේශවලත් ඉබේ වැවෙන මේ කටුපිල ශාකය හෙවත් කාෂ්ටප්‍රලය පිළිකා රෝගයට ගුණ බව සඳහන් වෙනවා. මේ ශාකය දකුණු ඉන්දියාවේ  බොහෝ ප්‍රදේශවල දැකිය හැකි අතර අපේ රටේ වැලි සහිත වෙරළවල්වල වගුරු බිම්වල මුහුදු මට්ටමේ සිට මීටර් 150 දක්වා උස බිම්වල වැවෙනවා.විශේෂයෙන්ම මන්නාරම, පුත්තලම, හම්බන්තොට, අනුරාධපුරය, පොළොන්නරුව මාතලේ අම්පාර ආදී ප්‍රදේශවල බහුල වශයෙන් දකින්නට ලැබෙනවා.

නමුත් පිළිකා රෝගය හැරුණාම තවත් රෝග බොහොමයකට සුව සදන ඔසුවක් තමයි මේ කටුපිල.සාමාන්‍යයෙන් අඩි 3 ක් 4ක් පමණ උසට වැඩෙන කටුපිල ශාකයේ කොළ හරිත පැහැයක් ගන්නා වටකුරු හැඩයෙන් යුක්තයි.මෙහි මල් ලා කොළ පැහැයක් ගන්නා අතර ගම්මිරිස් ඇටයක් තරමට වඩා තරමක් ලොකු කටුපිල ගෙඩි පැසුණු විට සුදු පැහැයක් ගන්නවා.මෙහි බීජ අබ ඇටයක් තරම් කුඩා ලෙස පවතිනවා. නමින් කටුපිල වුණත් එතරම් තියුණු කටු දැක ගන්නට නැහැ.

ඖෂධීය ගුණ අතින් සලකන විට කටුපිල රසයෙන් කෂාය රස හා තිත්ත වෙනවා.ලඝු, රුක්ෂ හා තීක්ෂණ ගුණයෙන් සමන්විතයි.මේ කටුපිළ ශාකයේ කොළ,පොතු, ගෙඩි, මල්, මුල් ආදී පංචාංගයම හෙළ වෙදකමේදී භාවිතය ගනු ලබනවා. ඒ හැරුණාම කටුපිල කොළ වගේම දළුවලින් රසවත්ව කැඳ පිළියෙල කරගන්නවා. පරිප්පු සමඟ මේ කටුපිල කොළ ව්‍යංජනයක් ලෙස සලසා ආහාරයට ගන්නටත් පුළුවන්. ඒ වගේම කටු පිල දළුවලින් මැල්ලුම් සකස් කරගන්නටත් පුළුවන්. අද වෙද්දි පිළිකා නාශක ස්වාභාවික පානයක් ලෙස කටුපිල තේ වෙළදපොලේ මිලට ගන්නටත් අපිට හැකියාව පවතිනවා.

කටුපිළ සතු අපූරු ගුණ 

  • පිළිකා නාශක ගුණයෙන් යුක්තයි. 
  • යටි පතුළේ පිලිකා, අක්මාවේ පිළිකා ගර්භාෂයේ පිළිකා ආදීය සඳහා ගුණදායකයි.
  • කටුපිල කැද දත් කැක්කුමට සහ කුඩා දරුවන්ගේ පණු රෝග නසාලීමට උපකාරී වෙයි.
  • ගෙඩි හා වණ ආදියට සහනය ලබාදෙයි.
  • අධික තරබාරුව මර්දනය කරයි.
  • ශරීරය සිසිල් කරයි.
  • මී විෂට සහ සර්ප විෂට ප්‍රතිකාර පිණිස භාවිතා කරයි.
  • දරුවන්ගේ රත ගායට ගුණදායකයි. 
  • ගුල්ම රුදාව නසයි.
  • ඇදුම අණ්ඩ වෘද්ධිය සඳහා වූ ප්‍රතිකාරවලට යොදා ගනියි.
  • ශරීරයේ විෂබීජ නසයි.
  • රුධිරය පිරිසිදු කිරීමේ ගුණයෙන් යුක්තයි. 
  • අක්මාවේ රෝගාබාධ සඳහා සුවය සලසයි.
  • හන්දිපත් වේදනාව සමනය කරයි.
  • මානසික සහනය ලබාදෙයි.
  • හෘදයාබාධවලින් වලක්වයි.
  • මුත්‍රා  ආබාධ දුරු කරයි.
  • අර්ශස් රෝගින්ට ගුණදායකයි.

කටු පිළ ශාකයේ ඖෂධීය භාවිතයන් 

පිළිකා රෝගයට කටුපිළ ගසේ පංචාංගයේ සාරය මී පැණි දමා පානය කිරීම.කටුපිල කොළ එළවලුව හෝ මේ කොළ හීනටි හාලෙන් කැඳ පිස ආහාරයට ගැනීමත් ගුණදායකයි. මේ කැඳ පිසීමේදී කරපිංචා, දෙදරු, සමන්පිච්ච දළු, කුබුරු දළු, එකතු කර පිසීම වඩා ගුණදායකයි.

බඩවැලේ ඇතිවන තුවාලවලට කටු පිල කොළ, ගස් කරල් හැබ කොළ සමව ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුශ නිවෙන්නට හැර මී  පැණි යොදා උදේ පානය කිරීම සුදුසුයි.

ස්ත්‍රීන්ගේ ගර්භාෂයේ ගෙඩි සඳහා කටුපිල මුල්වල සහ පෝටා වැල් සාරය අමු කහ ඉස්ම සමඟ පානය කිරීමෙන් ඒ ගෙඩිය දියකර ගත හැකියි.කටුපිල කොළ ගස් කරල් හැබ කොළ එල සමානව ගෙන කොටා වණ්ඩුවේ තම්බා යුෂ ලබාගෙන මී පැණි සමඟ පානය කිරීම ගුණදායකයි.

අර්ශස් රෝගයට කටුපිල කොළ මිටක් හා කංසා කොළ මිටකින් අඩක් ගෙන චූර්ණ කර මී කිරි සමඟ පානය කීරීම සුදුසුයි.

අක්මාවේ පිළිකා හා ගෙඩි සඳහා කටුපිල කෂාය ගම්මිරිස් කුඩු සමඟ දීම ආදිය මේ සඳහා ආයුර්වේදය තුළ භාවිතා කරනු ලබනවා.

යටි පතුලේ හට ගන්නා පිළිකා සඳහා කටුපිළ ගසේ කොළ, පොතු, මල්, ගෙඩි මුල් ආදී පංචාංගය කහ ලුණු සමඟ කොටා මලවා බැඳීම යෝග්‍යයයි.

ඉතින් කටුපිළ ශාකය අපේ රටේ වගේම ලෝකයටම මහත් පිළිලයක්ව තියෙන පිළිකා රෝගය නසාලන්නට සමත් සුවිශේෂී ගුණ සතු ඔසු පැළෑටියක්. ඒ නිසාම අයුර්වේදයේ වගේම හෙළ වෙදකම තුළත් මේ ශාකයේ පංචාංගයම විවිධ ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර සඳහා භාවිතයට ගනු ලබනවා. නමුත් කණගාටුදායක කාරණය වන්නේ මේ ශාකය ඇතුළු බොහෝ ඖෂධීය වටිනාම සහිත ඔසු පැළ සම්බන්ධයෙන් සිදුපර්යේෂණ ඉතා සීමිතවීමයි . අතීතයේ හෙළ වෙදකම තුළ ප්‍රබල පිළිකා නාශක ගුණයක් ඇති බව හෙළි කළ කටු පිල ශාකය පිළිබඳව විධිමත් පර්යේෂණයක් සිදු නොවීම සැබෑවටම අවාසනාවක්.