අපි නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ හොඳ පෝෂ්‍යදායි ආහාර වේලක් සෞඛ්‍ය සම්පන්නව ලබාගන්න. නමුත් අපේ නොදැනුවත්කම සහ නොසැලකිලිමත් බව කියන කාරණා නිසා නොදැනුවත්වම ආහාර විෂ වෙන්නට පුළුවන්. ජීවිතය පවත්වාගන්නට අත්‍යවශ්‍ය ආහාර නිසාම අපිට ජීවිතය හැර යන්නට සිදුවන්නේ නම් එය කෙතරම් ඛේදනීය තත්ත්වයක් ද? ඒ නිසා ආහාර විෂවීමක් හඳුනා ගන්නට හොඳ අවබෝධයක් අප තුළ තිබීම හරිම වැදගත්. ඉතින් ඒ නිසාවෙන් අද අපි සිතුවා මේ පිළිබඳව කරුණු කාරණා ටිකක් ඔබට කියලා දෙන්නට .
ආහාර නිෂ්පාදනය කරන ගොවි බිමේ සිට කෑම මේසය තෙක්ම විවිධ අවස්ථාවල දී ආහාර විෂ වෙන්නට පුළුවන්. ඒ නිසා ආහාර නිෂ්පාදනයේ දී ගබඩා කිරීමේදී සහ ආහාර පිසීමේදී අපි නිවැරදි පුරුදු අනුගමනය කරන්නට අවශ්‍ය වෙනවා. මෙසේ ආහාර විෂ කරන බැක්ටීරියා බොහොමයක්ම තියෙනවා. සැල්මොනෙල්ලා බැක්ටීරියාව, ක්ලොස්ට්‍රීඩියම් බැක්ටීරියාව සහ streptococcus බැක්ටීරියාව ඒ අතරින් කිහිපයක්. ඉතින් අපේ නොදැනුවත් බව නිසා සුලබවම ආහාර විෂ වීම් සිද්ධ වෙන්නට පුළුවන්.
ආහාර විෂ වීමට බලපෑ හැකි හේතු

- ආහාර නිෂ්පාදනය සඳහා භාවිතා කරන කෘෂි රසායන ඩ්‍රව්‍ය
- ආහාර මීයන්, කැරපොත්තන් සහ හූනන් ආදී සතුන්ට නිරාවරණය වීම හා සතුන්ගේ අසූචි මිශ්‍රවීම
- ශීතකරණයේ අමු ආහාර සමඟ පිසින ලද ආහාර නොවසා ගබඩා කිරීම
- අධිශීත කොටසේ මාලු සමඟ අයිස් ක්‍රීම් ආදිය ගබඩා කිරීම
- මාළු මස් ආදිය සෝදා පිරිසුදු නොකර ශීතකරණයේ ගබඩා කිරීම
- සුදු ලූණු, ලූණු සහ කහ ආදිය ශීතකරණය ගබඩා කිරිම
- කල් ඉකුත් වූ ආහාරපාන පරිභෝජනය
- මස් මාළු කැපීම සඳහා භාවිතා කරන කැපුම් පුවරුව පාන් එළවළු ආදිය කැපීමට භාවිතා කිරීම
- තුවාල, දද, කුෂ්ඨ රෝගීන්, දුම්පානය කරන්නන් සහ බුලත් විට හපන්නන් ආහාර පිළියෙල කිරීම
- ප්‍රමිතියකින් තොර ආහාර මිලට ගැනීම
- නිවසින් පිටත දී ගන්නා ආහාරවල සෞඛ්‍ය සම්පන්න බව ගැන සැලකිලිමත් නොවීම
- උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝගවලින් පෙලෙන අය ආහාර පිසීම
- ආහාර බොහෝ වේලාවක් කපා තැබීම හෝ පිසින ලද ආහාර අනුභවයට නොගෙන බොහෝ වේලාවක් එළිමහනේ තැබීම
- දිගු වෙලාවක් උණුසුම්කරණයේ තබන ලද ආහාර අනුභවය
- මද උණුසුමෙන් පිසගත් ආහාර අනුභවය (මස්, මාලු ,බිත්තර ආදියේ ඇති සැල්මොනෙල්ලා බැක්ටීරියාව විනාශ වෙන්නට හොඳින් පිසගත යුතු වෙනවා).
- ආහාර පිසින ලද භාජන සෝදා පිරිසුදු නොකර උදේ සිට සවස් වනතුරු තැබීම
- ප්‍රමිතියෙන් බාල වර්ගයේ භාජනවල ආහාර පිසීම
- දෙහි, විනාකිරි, අඹ, ඇඹරැල්ලා, බීට් රූට් ආදී ආහාර ඇලුමිනියම් භාජනවල පිසීම
- පුස් බැඳී ඇති කැවිලි වර්ග ආහාරයට ගැනීම (මේවායේ ඇති වෙන පුස් පිළිකා කාරක වන බව මතක තබා ගන්න)
- මුද්‍රිත අකුරු සහිත කඩදාසිවල ආහාර වර්ග දැවටීම (විශේෂයෙන්ම දොදොල්, වඩේ ආදියේ තෙල් ගතිය ඉවත් වීමට මුද්‍රිත අකුරු සහිත කඩදාසි යොදා ගැනීම මගින් බැර ලෝහ ශරීර ගත වෙන්නට පුළුවන්.)
- විශාල පිරිසක් වෙනුවෙන් ආහාර සැකසීමේදී සැලකිලිමත් නොවීම
විශේෂයෙන්ම විශාල පිරිසක් වෙනුවෙන් පිසින ආහාරවල පිසීම සහ අනුභවය අතර වැඩි කාල පරතරයක් තියෙනවා. විශේෂයෙන්ම පැය 4-6 ක් වගේ දීර්ඝ කාලයක් පිසූ ආහාර අනුභවය නොකර තියෙනවා . මේ කාලය තුළ බැක්ටීරියාවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා.
ඒ විතරක් නෙවෙයි විනෝද චාරිකා ආදී ගමන් යද්දී ආහාර පිළියෙළ කරන්නේ උදෑසන පහට පමණ. ඒවා අනුභව කරන්නේ දවල් 1ට 2ට. ඒ වන විට පැය 12ක් පමණ ගත වෙලා. ඒ විතරක් නෙවෙයි බොහෝ වෙලාවට පිසින ලද ආහාර ගබඩා කරන්නේ වාහනයේ වහලය කොටසේ. එවිට ආහාර බහාලු භාජනවල අභ්‍යන්තර උෂ්ණත්වය ඉහල යාම නිසා බැක්ටීරියා ක්‍රියාත්මක වෙලා ආහාර විෂ වෙන්නට පුළුවන්.
ආහාර විෂ වීමෙන් ඇතිවන රෝග තත්ත්ව

ක්ෂුද්‍ර ජීවීන් ආහාර සමග ශරීර ගතවන වීමෙන් මුලින්ම හානි කරන්නේ මහා අන්ත්‍රවලට. ඒ නිසා ආහාර ගැනීමෙන් පැය බාගයක සිට පැය තුනක් අතර කාලය තුළ උදරයෙහි දැඩි අපහසුතාවක් ඇති වෙනවා. ඒ හැරුණාම වෙනත් අපහසුතා බොහොමයක් ද ඇති වෙන්නට පුළුවන්. මෙහිදී ඇතිවන අපහසුතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නට පුළුවන්.
- ආහාර අරුචිය
- වමනය
- හිසරදය
- මාංශ පේශි වේදනාව
- උණ
- පාචනය
- දරුණු ලෙස ඇතිවන බඩේ කැක්කුම
- වමනය හේතුවෙන් විජලනය ඇතිවීම
- මරණය
මේ වගේ අවස්ථාවකදී වහාම වෛද්‍යවරයෙක් හමුවට රෝගියාව රැගෙන යා යුතු වෙනවා. රෝගියාව වෛද්‍යවරයකු හමුවට හෝ රෝහලක් කරා ගෙන යන තෙක් නිරන්තරයෙන් දියර වර්ග පානයට ලබා දෙන්න. විශේෂයෙන්ම එහිදී දෙහි යුෂ වගේම සුදුසු පළතුරු යුෂ පානයට ලබා දීම සුදුසුයි. ඒ වගේම විෂ වූ ආහාරය ගැන සොයා බලන්නට අවශ්‍ය නිසා ආහාර සාම්පල පරික්ෂාවට රැගෙන ඒමත් වැදගත් වෙනවා .
- ආසාත්මිකතා
ආහාර විෂවීම නිසා විවිධ ආසාත්මිකතා ඇතැම් පුද්ගලයන්ට ඇති වෙන්නට පුළුවන්. මේ තත්ත්වය ඉතාම භයානකයි. මේ නිසා සිරුරේ පලු ඇතිවීම, රස්නය දැනීම, රතු වීම, බිබිලි මතුවීම, ඉදිමීම සහ කැසිල්ල සහ අවසානයේදී මරණය පවා සිද්ධ වෙනවා.
ඒ නිසා යම් අවස්ථාවක ආහාර අසාත්මිකතාවයක් ඇති වුනොත් වහාම වෛද්‍යවරයෙකු කරා රැගෙන යා යුතු වෙනවා. මෙහිදී හැකිතාක් ජලය පානය කිරීමට දී රෝහලක් වෙත රෝගියාව රැගෙන යා යුතු වෙනවා .
ආසාත්මිකතා ඇති වෙන්නට වැඩි ඉඩකඩක් තියෙන ආහාර කිහිපයක් තියෙනවා. ඒ පිළිබඳව ඔබ දැනුවත්ව සිටීම හරිම වැදගත්.
- ඉස්සො
- දැල්ලො
- කකුළුවෝ
- බල මාලු
මේ ආහාර බොහෝ දුරට ආසාත්මික වෙන්නේ එහි ඇති හිස්ටමින් නැමති රසායනික ද්‍රව්‍ය හේතුකරගෙන. ඒ වගේම මේ ආහාර වර්ග රසයෙන් වැඩියි වගේම අඩංගු වෙන ප්‍රෝටීන් ප්‍රමාණයත් වැඩියි.
ආහාර විෂ වීම් බොහෝවිට ඇති වෙන්නේ අපේම වරදින්. ඒ නිසා ඒ කාරණාවන් පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කිරීම මගින් මෙවැනි බරපතල තත්ත්වයන් ඇතිවීම වළක්වා ගන්නට පුළුවන්.