ආහාර පාන අපේ ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සාධකයක් වුණත් ඒ ආහාර පාන අපේ නීරෝගී පැවැත්මට සිදු කරන්නේ යහපත් හෝ අයහපත් බලපෑමක් ද යන්න අපි දැනගත යුතු වෙනවා.අවබෝධයකින් තොරව අතට හසුවෙන ඕනෑම දෙයක් බඩට දාගන්නට ගියොත් අපි සිතන්නෙවත් නැති බොහෝ ලෙඩරෝගවලට අපිට ගොදුරු වෙන්නට සිදු වෙනවා.ඉතින් අපි ගන්නා ආහාර බෝ නොවන රෝග බොහොමයකට බලපාන ප්‍රධානම සාධකයක්. අපේ ශරීරයේ පිහිටා තියෙන අක්මාව කියන ඉතා වැදගත් ඉන්ද්‍රියේ ක්‍රියාකාරිත්වය අඩපණ කරන්නටත් අපි ගන්නා ඇතැම් ආහාර හේතුවෙනවා. ඉතින් අක්මාව බේරා ගන්නට නොහැකි වෙන ඒ ආහාර මොනවාද කියලයි අද අපි ඔබට කියන්නට යන්නේ.
අක්මාව ආශ්‍රිතව බහුලවම අසන්නට ලැබෙන ෆැටි ලිවර් තත්ත්වයට ගොදුරුවීමේ වැඩි අවදානමක් දියවැඩියා රෝගයෙන් පීඩා විදින අයට වගේම තරබාරු පුද්ගලයන්ටත් පවතිනවා. මේ ෆැටි ලිවර් තත්ත්වය ඇතිවූවිට එය යථා තත්ත්වයට පත් කරගන්නට නිශ්චිත වූ ඖෂධ පවතින්නේ නැහැ.එවැනි අවස්ථාවක එය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා දේහ බර අඩුකර ගැනීම, ව්‍යායාම්වල නිරතවීම, නිවැරදි ආහාර රටාව හා ආහාර අතිරේකයන් භාවිතා කරන්නට පුළුවන්. ඒ නිසා අක්මාවේ ආරක්ෂාව සඳහා වැඩි අවදානයක් යොමු කිරීම අතිශයින්ම වැදගත්. ඒ සඳහා වැළකිය යුතු ආහාරයි මේ.

- සීනි බාහිරින් අපි ආහාරවලට එකතු කරන සීනි හැරුණාම අපි ගනු ලබන එළවලු පලතුරුවලත් යම් සීනි ප්‍රමාණයක් සැඟවී තියෙනවා. විශේෂයෙන්ම වෙළදපොළෙන් මිලට ගන්නා පලතුරු යුෂවල බොහෝවිට එහි රසය වැඩි කිරීමට සීනි වගේම කෘතීම පැණි රසක් ලබාදෙන රසායන ද්‍රව්‍ය භාවිතා කරනවා. ඒ හැරුණාම පාන්, බනිස්, ආදී බේකරි නිෂ්පාදනවල හා බිස්කට්, රස කැවිලි හා බීම වර්ග ආදියේ ද බහුල වශයෙන්ම සීනි අන්තර්ගත වෙනවා. නමුත් මේ ආහාර ගන්නා විට අපි ඒවායේ සීනි ප්‍රමාණය නොසලකා හරින නිසාවෙන් අපේ ශරීරයට අධික ලෙස සීනි ලැබීමක් සිදු වෙනවා. ඒ නිසා අක්මාවේ නීරෝගි බව පිළිබඳව සිතන ඔබ සීනි භාවිතය අවම කළ යුතුයි.
- පිරිපහදු කළ ධාන්‍ය ධාන්‍ය ආහාරයට ගැනීම අපේ ශරීරයේ නීරෝගී පැවැත්මට ඉතා වැදගත්. නමුත් පිරිපහදු කළ ධාන්‍ය භාවිතය රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ නංවනවා. නිදසුනක් ලෙස තිරිඟු පිටි අපි භාවිතයට ගනු ලබන්නේ පාන් පිටි වශයෙන්. තිරිඟුවල බාහිරින් ඇති කුරුට්ට ඉවත් කර රිෆයින් කාබෝහයිඩ්රේට් ලෙසයි අපි ආහාරයට ගනු ලබන්නේ. මේ නිසා එයින් සීනි ශරීරයට අවශෝෂණය කරන නිසාවෙන් රුධිරයේ සීනි මට්ටම ඉහළයාමෙන් අක්මාවට හානි පමුණුවනු ලබනවා.ඒ නිසාවෙන් පාන් පිටි භාවිතය අවම කළ යුතු වගේම නිවසේදී පාන් පිටි භාවිතයෙන් ආහාර සකස් කරන විට එයට ආටා පිටි ස්වල්පයක් ද එකතු කරන්නට වග බලා ගන්න.
- තෙල් සහ ලුණු නිවසේදී ආහාර සකස් කර ගැනීමේදී වගේම වෙළදපොලෙන් මිලට ගන්නා ආහාරවලත් තෙල් සහ ලුණු වැඩි රසයක් ලබා ගැනීම සඳහා භාවිතා කරනු ලබනවා. විශේෂයෙන්ම ෆ්‍රයිඩ් රයිස්, කොත්තු ආදි ආහාරවලට වගේම වෙනත් නොයෙකුත් ෂෝට් ඊට්ස් ආදී ආහාරවලටත් බයිට් ආදී දේවලටත් මේ තෙල් සහ ලුණු අධිකව අඩංගු කරනවා. එය ආහාරවලට ඇති රුචිය වැඩි කරන අතර ඒ නිසාම ඒවා අද බොහෝදෙනාගේ ආහාර ලැයිස්තුවේ ඉහළින්ම පවතිනවා. නමුත් අක්මාවට හානි ඇතිවීම වළක්වා ගන්නට නම් ඔබ තෙලෙන් බදින ලද හෝ අධිකව තෙල් එකතු කරන ලද හෝ අධිකව ලුණු එකතු කරන ලද ආහාරවලින් වැළකිය යුතුයි. ඒ වෙනුවට කුළුබඩු වැඩි වශයෙන් යොදා රසය වගේම ගුණයෙන් ඉහළ ආහාරවේලක් ලබා ගන්නට උනන්දු වීම සිරුරේ සෑම අවයවයක් සඳහාම ඉතා අහිතකර ආකාරයෙන් බලපානු ලබනවා.

- ඌරු මස් සහ හරක් මස් ආදී රතු මස් මේ ඌරු මස් හා හරක් මස්වල බහුල වශයෙන් සංතෘප්ත මේදය අඩංගු වෙනවා. මේ සංතෘප්ත මේදය අක්මාවට ඉතා අහිතකර ලෙස බලපානු ලබනවා.ඒ නිසා හැකි සෑම අවස්ථාවකම සංතෘප්ත මේදය අන්තර්ගත ආහාර ගැනීම හැකිතාක් අඩුකළ යුතු වෙනවා. කුකුල් මස් ආහාරයට ගන්නේ නම් පෙනෙන්නට ඇති මේද කොටස් ඉවත් කර ආහාරයට ගන්නටත් මතක තබා ගත යුතු වෙනවා.
- මත්ද්‍රව්‍ය ෆැටි ලිවර් තත්ත්වය සඳහා මත්පැන් හේතුවෙන්නේ ඒවායේ විශහරණ ක්‍රියාවලිය අක්මාවේදී සිදු කරන නිසාවෙන්. දිගින් දිගටම මත්පැන් පානය කරන විට මේ කාර්ය නිතර දිගින් දිගටම සිදු කරන්නට අක්මාවට ඇති හැකියාව අඩපණවීයාමෙන් අක්මාව අක්‍රීය වී යන්නට පුළුවන්. ඒ නිසා අක්මාවට නැවත යථා තත්ත්වයට පත්වෙන්නට කාලයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මත්පැන් නිතර භාවිතය අඩු කිරීම හෝ සම්පූර්ණයෙන් මතින් තොරවීම අක්මාවේ නීරෝගි බවට ඉතා වැදගත්.
- සීනි බහුල පලතුරු කෙසෙල්, ගස්ලබු, අඹ, අන්නාසි, පැණි කොමඩු, දොඩම් ආදී පලතුරුවල බහුලවම සීනි අන්තර්ගත වෙනවා. ඒ නිසා වැඩි වශයෙන් පැණි රසැති පලතුරු අනුභවය පවා අක්මාවට හානිදායක වන්නට පුළුවන්. ඒ නිසා මේ පලතුරු ගැනීම සීමා කිරීම හෝ ඒ වෙනුවට පැණි රස අඩු ඇඹුල් රසැති කොළ පැහැති පලතුරු ආහාරයට ගන්නට පුළුවන්.ඒ වගේම කහට රසය බහුලව අන්තර්ගත පලතුරු ආහාරයට ගැනීම වඩා සුදුසු වන්නේ ඒවායේ තන්තු බහුලවීම හේතුවෙන්.
අක්මාවේ ෆැටි ලිවර් තත්ත්වය ඇතිවීමට දියවැඩියාව මූලික වන නිසා ආහාර තෝරා ගැනීමේදී ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත්විය යුතු වෙනවා. එවිට ඔබටත් ඔබේ අක්මාව ජීවිත කාලය පුරාවටම සෞඛ්‍ය සම්පන්නව තබා ගන්නට හැකියාව ලැබේවි.