අපේ ශරීරයේ තියෙන තවත් එක් වැදගත් ඉන්ද්‍රියක් තමයි අක්මාව. අක්මාව ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් අතුරින් බහුලවම අසන්නට ලැබෙන තත්ත්වයක් තමයි අක්මාවේ තෙල් තැන්පත්වීම නැත්නම් ෆැටි ලිවර් කියන්නේ. අක්මාවේ තෙල් තැන්පත්වීම සඳහා අපි නොසිතනා ආකාරයේ විවිධ හේතු බලපානවා. කොහොමනමුත් අක්මාවේ මේදය තැන්පත්වීමකදී බොහෝදෙනා එය යථා තත්ත්වයට පත් කරගන්නට විවිධ ක්‍රමවේද අනුගමනය කරනවා. මොකද ෆැටි ලිවර් තත්ත්වය නිසාවෙන් හෘද රෝග, දියවැඩියාව සහ වකුගඩු රෝග ඇතිවෙන්නට පුළුවන් නිසාවෙන්. ඉතින් අද අපි කතා කරමු අපේ අක්මාවේ විෂහරණය කරගෙන එය ආරක්ෂා කර ගැනීම පිළිබඳව.
කිලෝග්‍රෑම් 1.5 ක බරකින් යුක්ත මිනිස් ශරීරයේ ඇති දෙවන විශාලම ඉන්ද්‍රිය වන අක්මාව අපේ සිරුරේ පැවැත්ම වෙනුවෙන් අතිවිශාල කාර්යබාරයක් සිදු කරන නමුත් ප්‍රධාන වශයෙන්ම එය අපේ ශරීරයට ඇතුල් වෙන විවිධ විෂ රසායනික ඉවත් කර දමමින් අපේ ශරීරයට ආරක්ෂාකාරී කෘත්‍යයක් ඉටු කරනවා. ඉතින් අක්මාව රෝගී වූ විට මේ කාර්යයන් නිසි පරිදි කරන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසාවෙන් අක්මාවේ නීරෝගීභාවය සම්බන්ධයෙන් අපිට වෙනදාට වඩා වැඩියෙන් සිතන්නට සිදු වෙලා තියෙනවා. අක්මාව පිරිසිදු කරගන්නට විෂහරණය කරගන්නට ගත හැකි ආහාරයන් ඒ අතර විශේෂයි.

- බීට් යුෂ බීට් කියන්නේ අපි නිතර ආහාරයට එකතු කර ගන්නා එළවලුවක්. බීට් යුෂ කියන්නෙත් අක්මාවේ නීරෝගීභාවයට අතිශයින්ම වැදගත් වන පානයක්. බීටාලැනීන් නමින් හඳුන්වන ප්‍රතිඔක්සිකාරක මෙහි අන්තර්ගතවී පවතිනවා. ඒ හැරුණාම නයිට්‍රේට් බහුලවම අඩංගු වෙනවා. ඒ නිසා අපේ අක්මාවට සිදුවන හානි වළක්වා ගන්නට බීට් යුෂ බෙහෙවින් උදව් වෙනවා.ඒ නිසා අක්මාව ආශ්‍රිත ෆැටි ලිවර් තත්ත්වයේදී වගේම අක්මාවේ වෙනත් රෝග තත්ත්වයන්වලදීත් බීට් යුෂ ඉතා විශාල මෙහෙයක් එහි නීරෝගීභාවය වෙනුවෙන් සිදු කරනවා.
- Cruciferous කුලට අයත් එළවළු වර්ග කෘසිපරස් පවුලට අයිති එළවලු වර්ග භාවිතා කිරීම තුළින් අපේ අක්මාවේ ක්‍රියාකාරිත්වය මනා ලෙස පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. මේ කෘසිපරස් එළවලුවල අන්තර්ගත ශාකමය රසායනිකයන් අක්මාවේ විෂහරණය සඳහා අත්‍යවශ්‍ය වන එන්සයිම ශ්‍රාවය වැඩි දියුණු කරනවා. ඒවායින් අක්මාවට හානි ඇතිවීමත් වළක්වා ගන්නට හැකියාව පවතිනවා.මේ කෘසිෆරස් පවුලට එළවලු ලෙස බ්‍රොකොලි, අබ, ගෝවා, නෝකෝල්, රතු ගෝවා අයත් වෙනවා.
- නට්ස් වර්ග ලාංකීය ජනතාව කෙටි ආහාර ලෙස කජු, රට කජු, ආමන්ඩ්, වෝල් නට්ස් ආදී වර්ග ආහාරයට ගැනීම ඉතා අවමයි.මේවායේ අන්තර්ගත මේදය ශරීරයට හිතකර මේදය වන බැවින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මේවා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මේ නට්ස් වර්ග අක්මාවේ නිසි පැවැත්ම සඳහා අතිශයින්ම වැදගත් වෙනවා. මේවායේ විටමින් E බහුලව අන්තර්ගත වන අතර එය ප්‍රතිඔක්සිකාරයක් ලෙසත් ක්‍රියා කරන නිසාවෙන් අක්මාවට හානි සිදුවීම වළක්වනු ලබනවා. එය අක්මාවේ නීරෝගිභාවයට වගේම ශරීරයේ පැවැත්ම සඳහා අතිශයින්ම හිතකර වෙනවා. නමුත් මේ ඇට වර්ග ගත යුතු ප්‍රමාණය පිළිබඳව අවබෝධයකින් පසුවිම වඩාත් වැදගත්. ඒ නිසා දිනකට මෙවැනි ඇට වර්ගයක් ගත යුතු ප්‍රමාණය වන්නේ මේස හැදි 2 ක් තරම් ප්‍රමාණයක් පමණයි.
- මාළු වර්ග ෆැටි ලිවර් තත්ත්වය ඇති අය වගේම නැති අයත් ආහාරයට අනිවාර්යයෙන්ම එකතු කරගත යුතු දෙයක් තමයි මාළු කියන්නේ. මාළුවල ඔමේගා 3 ෆැටි ඇසිඩ් අන්තර්ගත වෙනවා. මේ ඔමේගා 3 මේද අම්ල අපේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම අවම කරනු ලබනවා. ඒ වගේම අක්මාවේ තෙල් තැන්පත්වීමත් අවම කරනවා. ඒ නිසාවෙන් තෙල් වැඩියෙන් අන්තර්ගත මාළු වර්ග තෝරා ගැනීමට වග බලා ගත යුතු වෙනවා.ඒ හැරුණාම අපේ ශරීරයට ප්‍රෝටීන් බහුල වශයෙන් සැපයීමත් මාළු නිසා ලැබෙන තවත් ප්‍රතිලාභයක්. ඒ නිසා ඔබේ ආහාරයට මාළු නිතර එකතු කර ගන්නේ නම් එය අක්මාවේ ආරක්ෂාව සඳහාත් ඉතාම වැදගත්.

- ධාන්‍ය වර්ග කවුපි, කඩල, මුං ඇට, ආදී ධාන්‍ය වර්ග වැඩි වශයෙන් ශරීරයට එකතු කර ගන්නේ නම් එයින් ශරීරයට ලැබෙන තන්තු ප්‍රමාණය වැඩි වෙනවා. තන්තු ප්‍රමාණය වැඩි වන විට ශරීරයට අවශෝෂණය කරගන්නා කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වෙනවා. එය අක්මාවේ මේදය තැන්පත්වීම අවම කරන්නට හේතුවෙනවා. ඒ හැරුණාම ධාන්‍ය වර්ග ආහාරයට එකතු කර ගැනීමෙන් කැල්සියම්, ඛනිජ ලවණ, ප්‍රෝටීන්, විටමින් ආදී පෝෂකත් අපේ ශරීරයට ලැබෙනවා. ඒ නිසා අක්මාව රැක ගන්නට ධාන්‍ය ආහාරයට ගැනීම ඉතාම වැදගත්.
අක්මාවේ විෂහරණයට වගේම එහි නීරෝගී පැවැත්මට ඒ ආහාර සුදුසු ප්‍රමාණවලින් අපේ ආහාරවේලට එකතු කරගැනීම වැදගත්. ඒ හැරුණාම අලිපේර, ඔලිව් තෙල් , සුදු ළූණු වගේ ආහාරත් අක්මාවේ ක්‍රියාකාරිත්වය මනාව පවත්වාගෙන යන්නට අතිශයින්ම වැදගත් තවත් ආහාර වර්ගයන්. මේ ආහාර ගන්නා අතරේ ප්‍රමාණවත් තරම් නින්දක් ලබා ගැනීම ,නිසි වේලාවට ආහාර ගැනීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත්වීම, තෙල්, පිෂ්ඨය, හා ප්‍රෝටීන් අධික ආහාර වැඩි වශයෙන් ලබා නොගැනීම සහ ශාරීරික ව්‍යායාම්වල නිරතවීම යන කරුණු කාරණා පිළිබඳවත් සැලකිලිමත් වන්න.