වර්තමානයේදී බහුලවම අසන්නට ලැබෙන රෝග අතුරින් එකක් තමයි වකුගඩු රෝගය. වකුගඩු ඉදිමීම, හැකිලීම, වකුගඩු ගල්, වකුගඩුවල සෛලවල දුර්වලතා දී නොයෙක් හේතු නිසා වකුගඩු ආබාධ ඇති වෙනවා. මේ නිසා වකුගඩුවලින් මුත්‍රා නිසි ආකාරයට පෙරීම සිදු වෙන්නේ නැහැ.විශේෂයෙන්ම රුධිරය නිසි පරිදි පෙරීම සිදු නොවෙන විට රුධිරයේ ඇති ඇල්බියුමින් ප්‍රෝටීනය වකුගඩු තුළින් වැඩිපුර පෙරීම සිදුවෙනවා. ශරීරයට ශක්තිය ලබාදෙන එවැනි ශක්තිජනක කොටස් වැඩිපුර දේහයෙන් පිටවීම නිසා ශරීරය දුර්වල වෙනවා.මෙවැනි තත්ත්වයන් සමාජයේ බොහෝදෙනා අතර දකින්නට ලැබෙනවා. කොහොමනමුත් මෙවැනි වකුගඩු ආබාධ හේතුවෙන් පුද්ගලයෙකුගේ වකුගඩු දෙකේම ක්‍රියාකාරිත්වය දුර්වල වෙලා වකුගඩු බද්ධ කිරීම දක්වා වූ සංකීර්ණ ප්‍රතිකාර සඳහා පවා යොමුවෙන්නට සිදු වෙනවා.
අප දෙපයින් සිටගෙන දෑතේ මහපට ඇඟිලි ඉනෙහි ස්පර්ශ වෙන ලෙස තබාගත්විට අපේ මහපට ඇඟිලි ඉණේ දෙපස ස්පර්ශ වන ප්‍රදේශයේ වකුගඩු දෙක පිහිටා තියෙනවා.වකුගඩුවලින් සිදු කෙරෙන කාර්යයන් අතුරින් ප්‍රධාන කාර්ය වෙන්නේ ශරීරයේ ඇති ජලය සහ ජලීය ද්‍රාවණ මුත්‍රා මගින් පිට කරන්නට අවශ්‍ය පෙරීම සිදු කිරීමයි. අපි ශරීරයට ලබා ගන්නා ආහාර ඖෂධ ජලය ආදී ගනු ලබන සියලුම දේ ශරීරයට අවශෝෂණය කර ගැනීමේදී ඒවායේ ඇති ජලීය ද්‍රව්‍ය පෙරීම සිදු කරන්නේ වකුගඩුවලින්.
වකුගඩු විවිධ හේතු නිසා දුර්වල තත්ත්වයට පත්වුණ විට වකුගඩු මගින් සාමාන්‍යයෙන් සිදු කෙරෙන කාර්යයන් නිසි පරිදි සිදු වෙන්නේ නැහැ. රුධිරයට අපද්‍රව්‍ය සහ තරල පැමිණෙන්නේ අප ගන්නා ආහාරපානවලින්. ඒවා ඉවත් කිරීම සිදු වෙන්නේ වකුගඩුවලින්. නමුත් වකුගඩු දුර්වල අවස්ථාවකදී යම් ආබාධයක් සහිත අවස්ථාවකදී අප ලබා ගන්නා ආහාර පාන ගැන විශේෂයෙන් සැලකිලිමත් වීම අනිවාරයයි.
වකුගඩු ආබාධයකදී ඒ පුද්ගලයාට නිර්දේශ කරන ලද ආහාර වර්ග පමණක් ලබා ගැනීමෙන් රුධිරයේ අපද්‍රව්‍ය සහ තරල එක්රැස්වීමත් පාලනය වනවා වගේම වකුගඩුවලට පැවරී ඇති කාර්යයත් සැහැල්ලු කෙරෙන නිසා වකුගඩුවලට යම් විවේකයක් ලැබෙනවා. එය වකුගඩු තවදුරටත් දුර්වල වීම පාලනයට උපකාරී වෙනවා.එක් එක් වකුගඩු ආබාධයට අනුව ආහාර පාලනය කළ යුතු ආකාරය වෙනස් වෙනවා. ඒ වගේම සෑම වකුගඩු ආබාධයක් සහිත රෝගීයෙක්ම සීමාකළ යුතු ආහාරපානත් බොහොමයක්ම පවතිනවා. අද අපි ඔබ සමඟ කතා කරන්නේ එසේ සීමා සහිතව ගත යුතු ආහාර පිළිබඳවයි.

පොටෑසියම් බහුල ආහාර පොටෑසියම් ඛනිජය නිසි ප්‍රමාණයට අපේ දේහයේ පැවතීම අපේ ස්නායු හදවත සහ පේශීවල ක්‍රියාකාරිත්වයට ඉතා වැදගත්. නමුත් අධිකව අපේ දේහයේ පොටෑසියම් මට්ටම පැවතීම වකුගඩුවලට වගේම හදවතටත් හානිකර වෙනවා. පොටෑසියම් අධික ලෙස ඉහළ යාම හෘද ස්පන්දනය නතර කරන්නට වුණත් හේතුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි වකුගඩු රෝගයකින් පීඩා විදින අයෙක් නම් මේ පොටෑසියම් බහුල ආහාරවලින් වැළකී සිටීමත් ඉතාම වැදගත් වෙනවා. වකුගඩු අකර්මණ්‍ය වූ විට ඒ රෝගීන්ගේ ශරීරයේ යූරියා, ක්රියැටනීන් ප්‍රමාණය, පොටෑසියම් ප්‍රමාණය, පොස්පේට් අයන ප්‍රමාණය අම්ල ගතිය සහ ජලය ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා පොටෑසියම් බහුල ආහාර සීමා කිරීමෙන් පොටෑසියම් ප්‍රමාණය ඉහළ යාම පාලනය කර ගන්නට පුළුවන්.
පොටෑසියම් බහුල ආහාර
- කෙසෙල්
- අර්තාපල්
- චොක්ලට්
- බිම්මල්
- මාමයිට්
- තැඹිලි කුරුම්බා
- වියළි මිදි
- දූරියන්
- කංකුං
- මුරුංගා
- රට ඉදි
- මාංශ භෝග
- තක්කාලි
- දෙහි, දොඩම් ආදි පැගිරි කුලයේ පලතුරු
- වියළි පලතුරු
ලුණු බහුල ආහාර සෝඩියම් සහිත ආහාර ගැනීමේදී වකුගඩු රෝගීන් වඩාත් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම වකුගඩු රෝගීන් තමන්ගේ ආහාරවේලට ලුණු එකතු කර ගත යුත්තේ ඉතාම අඩුවෙන්. අධික ලෙස ලුණු භාවිතය අධි රුධිර පීඩනය ඇතිවෙන්නත් හේතුවක් වෙනවා.
සෝඩියම් සහිත ආහාර
- කෙටි ආහාර වර්ග
- සුප් වර්ග
- කරවල
- හතු වර්ග
- චට්නි සහ සෝස් වර්ග
- සොසේජස් හැම් බේකන් ආදී සකස් කරන ලද මස් වර්ග
- ටින් කරන ලද ආහාර
ප්‍රෝටීන් බහුල ආහාර ශරීරයේ වර්ධනයට සහ ගෙවී ගිය කොටස් අලුත්වැඩියාව සඳහා ප්‍රෝටීන් අපේ ශරීරයට අත්‍යවශ්‍යයි කාර්යබාරයක් ඉටු කරනවා.දෛනිකව අපේ දේහයට අවශ්‍ය කරන ප්‍රෝටීන් ප්‍රමාණය එදිනෙදා ලබා ගන්න ආහාර මගින් සපයා ගන්නට හැකියාව ඇතත් සමහර අය මාංශපේශී වර්ධනය සඳහා ප්‍රෝටීන් බහුල ආහාර අධිකව ලබා ගැනීමත් සිදු කරනවා.
නමුත් අපි ලබාගන්නා ප්‍රෝටීන් ප්‍රයෝජනයට ගැනීමෙන් පසුව යූරියා කියන අපද්‍රව්‍ය බවට පත්වෙනවා. යූරියා ක්‍රියැටනීන් වැඩි වන විට ආහාර අරුචිය පවා ඇති වෙන්නට පුළුවන්.ඒ නිසා මෙසේ ප්‍රෝටීන් බහුල ආහාර වකුගඩු ආබාධ ඇති පුද්ගලයෙක් ලබා ගත්තොත් මේ අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර වීමට නොහැකි නිසාවෙන් දේහය තුළ එකරැස් වීම සිදු වෙනවා. ඒ නිසාවෙන් වකුගඩු දුර්වල තත්ත්වයක ඇති අයෙක් නම් මේ ප්‍රෝටීන් බහුල ආහාරවලින් වැළකිය යුතු වෙනවා.
ප්‍රෝටීන් බහුල ආහාර
- මස් මාළු
- බිත්තර
- කිරි චීස් ආදී කිරි නිෂ්පාදන
- කඩල කවුපි ආදී වියළි ඇට වර්ග
- දඹල
පොස්පරස් අධික ආහාර පොස්පරස් කියන්නේ අපේ ශරීරයේ අස්ථිවල ශක්තිමත් බවට සහ නීරෝගී බවට අතිශයින්ම වැදගත් වෙන පෝෂකයක්. නමුත් නීරෝගී පුද්ගලයෙකුට මේ පොස්පරස් අධික ආහාර දේහයට ලබා ගැනීම ගැටළුවක් නොවුණත් වකුගඩු රෝගියෙකුට එය අහිතකර ලෙස බලපෑම් ඇති කරනවා.විශේෂයෙන්ම වකුගඩු රෝගයකදී රුධිරයේ ඇති පොස්පරස් සහ කැල්සියම් සමතුලිතතාවය බිඳ වැටෙන නිසා ශරීරයේ වැඩිපුර පවතින පොස්පරස් ප්‍රමාණය ඉවත් කරන්නට වකුගඩුවලට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ නිසාවෙන් රුධිරයේ පොස්පරස් ප්‍රමාණය ඉහළ ගොස් කැල්සියම් ප්‍රමාණය පහළ යාම සිදුවෙනවා. ඒ නිසා රුධිරයේ පොස්පරස් මට්ටම සහ කැල්සියම් මට්ටම යහපත්ව තබාගන්නට නම් වකුගඩු ආබාධ ඇති ඔබ පොස්පරස් අධික ආහාරවලින් වැළකිය යුතු වෙනවා.
පොස්පරස් බහුල ආහාර

- කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන
- (චීස්, පුඩින්, යෝගට්, අයිස්ක්රීම් )
- මාංශ භෝග
- වියළි ඇට වර්ග
- මස් වර්ග (හරක් මස්, ඌරු මස්, එළු මස් )
- බීම වර්ග (කෝලා සහ බියර් ආදිය )
ආම්ලික ආහාර අම්ල සහිත ආහාර පාන ගොරකා, සියඹලා , අඹා, අන්නාසි ඇඹරැල්ලා ආදී ආහාර සීමා කිරීම වකුගඩු රෝගීන්ට වැදගත්.
දියවැඩියාව සහිත වකුගඩු රෝගීන් නොගත යුතු ආහාර
- පාන් පිටිවලින් සකසන ආහාර
- සියළු පැණි ආහාර බිස්කට්
- තෙල් සහිත ආහාර
- අල වර්ග
වකුගඩු ගල් සහිත රෝගින් අඩුවෙන් ගත යුතු යුතු ආහාර
- මුරුංගා
- රාබු , අන්නාසි, නිවිති, කිරි අල
- තේ හා කෝපි
වකුගඩු බද්ධ කළ රෝගීන් අමු ආහාර ආහාර ගැනීම සුදුසු නැහැ. එමගින් විෂබීජ ඇතුළුවීමේ සම්භාවිතාව ඉහළ නිසාවෙන්.ආහාරපාන පිළිබඳව වගේම වකුගඩු රෝගවලින් පෙළෙන පුද්ගලයෙක් ජලය පානය කිරීම පිළිබඳවත් අතිශයින්ම සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයයි. පිපාසයට පමණක් ජලය පානය කරනු විනා අනවශ්‍ය ලෙස නිතර අධිකව ජලය පානය කිරීම වකුගඩු රෝගීන්ට කිසිසේත්ම සුදුසු නැහැ. ඒ සඳහා වෛද්‍ය උපදෙස් ගැනීමත් ඉතා වැදගත් වෙනවා.