අපිව ජීවත් කරවන්නේ රුධිරය. ශරීරයේ සෑම අවයවයකටම අවශ්‍ය කරන පෝෂක වගේම ඔක්සිජන් පරිවහනය කරමින් බැක්ටීරියා වෛරසවලට එරෙහිව ප්‍රතිදේහ නිපදවමින් රුධිරය කරන කාර්යය ඉතා විශාලයි. ඒ වගේම සෑම සෛලයකම නිපදවෙන අතුරු ඵල සහ ශරීරයට ලැබෙන අහිතකර ද්‍රව්‍ය රසායනික පෙරීමකට ලක්කිරීමට වකුගඩු වෙත ගෙන ගොස් භාරදෙන්නෙත් රුධිරය මගින්. ඉතින් අපේ ශරීරයේ පැවැත්මට නැතුවම බැරි රුධිරය පවා ලෙඩ වෙනවා.අපිරිසිදු වෙනවා. ඉතින් විශේෂයෙන්ම අද අපි ගන්නා ආහාර නිසා වගේම වැරදි ජීවන පුරුදු නිසා අපේ රුධිරය ලෙඩ වෙන්නට වගේම අපිරිසිදු වෙන්නට තියෙන ඉඩකඩ වැඩියි. විශේෂයෙන්ම පලිබෝධනාශක යොදා වගා කරන ලද එළවලු පලතුරු, විවිධ බැරලෝහ එකතු වුණු ජලය දුම්පානය, මත්පැන් පානය, අපිරිසිදු වාතය සහ මානසික ආතතිය ආදිය නිසා අපේ රුධිරය අනවශ්‍ය විදියට දූෂණයට ලක් වෙනවා. මේ හේතු නිසා රුධිරය අපිරිසිදු වුණාම රුධිරය මගින් අපේ ශරීරයේ පැවැත්ම වෙනුවෙන් ඉටු කරන ලද කාර්යයන් සියල්ලක්ම වගේ අඩපණ වෙනවා.ඒ වගේම ඉතාම පහසුවෙන් අපි විවිධ ලෙඩ රෝගවලටත් ගොදුරු වෙනවා. ඒ නිසා අපේ ශරීරයේ රුධිරය පිරිසිදුව තබා ගැනීමට අපි උනන්දු විය යුතුයි. ඒ සඳහා වඩාත් සුදුසුම ආහාර කිහිපයක් පිළිබඳවයි ඔබට කියන්නට සූදානම් වන්නේ.

බ්‍රොකොලි අපේ ශරීරයේ රුධිරය පිරිසිදුව තබා ගන්නට අතිශයින්ම වැදගත් ආහාරයක් තමයි බ්‍රොකොලි කියන්නේ. ඉතා ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් සමන්විත විටමින් C, ඔමේගා 3 මේද අම්ල ඇතුළු වටින පෝෂක රාශියක්ම මේ බ්‍රොකොලිවල අන්තර්ගත වෙනවා. රුධිරය පිරිසිදු කිරීමට අමතරව වකුගඩු සහ අක්මාවේ විෂහරණ ක්‍රියාවලිය උත්තේජනය කරන්නටත්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්නටත් බ්‍රොකොලි කියන්නේ හොඳම ආහාරයක්. මෙය ව්‍යංජනයක් විදියට වගේම වෙනත් එළවලු මස් වර්ග පිසින විට ඒවාට එකතු කරන්නටත් හැකි ආහාරයක්. ඒ විතරක් නෙවෙයි තම්බාගත් බ්‍රොකොලිවලින් රසවත් ගුණවත් සුප් පානයක් සකසා ගන්නටත් පුළුවන්.මේ කුමන ආකාරයට බ්‍රොකොලි ආහාරයට එකතු කර ගන්නේ නම් ඔබේ රුධිරය හැමදාටම පිරිසිදුව තබා ගන්නට පුළුවන්.
හාතාවාරිය කොළ කැඳ සකසන විට බහුලවම භාවිතා කරන හාතවාරිය ඉතා ඉහළ ඖෂධීය ගුණයකින් සමන්විතයි.ඒ වගේම මේ හාතවාරිය සතු තවත් විශේෂම හැකියාව වෙන්නේ රුධිරයේ ආම්ලිකතාවය දුරුකර රුධිරය පිරිසිදු කිරීමේ හැකියාවයි. ඒ හැරුණාම මුත්‍රා රෝග බොහොමයකට ඉතාම ගුණදායක ඔසුවක් තමයි මේ හාතවාරිය. හදවතේ රෝග නසා, ඇස්වල පෙනීම වර්ධනයටත්, ශරීරයේ විෂ නැසීමටත් අපූරු හැකියාවක් සතු හාතවාරිය නිතර ආහාරයට ගැනීම මගින් රුධිරය පිරිසිදුව වගේම නීරෝගීව තබා ගන්නටත් හැකියාව ලැබෙනවා.
තද කොළ පැහැ පලා වර්ග මේ තද කොළ පැහැ පලා වර්ගවල ඛනිජ ලවණ, විටමින් වගේම එන්සයිම උත්තේජනය කරන පෝෂක බොහොමයක්ම අන්තර්ගතයි. මේ පෝෂක අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන්නට ඉතා විශාල වැඩ කොටසක් සිදු කරනු ලබනවා. නිවිති, සලාද කොළ, මුකුණුවැන්න, කංකුං, ගොටුකොළ ඇතුළු වෙනත් තද කොළ පැහැ පලා වර්ගත් මෙයට අයත් වෙනවා. පලා වර්ග නිතර ආහාරයට එකතු කර ගැනීම මගින් අක්මාවේ ක්‍රියාකාරිත්වය සඳහා විශාල දායකත්වයක් ලබාදෙනවා. එය රුධිරය පිරිසිදු කිරීමෙහිලා අතිශයින්ම වැදගත්. රුධිරය පිරිසිදු කිරීමට වැදගත් වන එන්සයිම ශ්‍රාවය කරන්නට වගේම මේ එන්සයිම සංස්ලේෂණය කරන්නටත් අවශ්‍ය ඛනිජ ලවණ එයින් සැපයෙනවා. ඒ වගේම රුධිරය ගලායාම පහසු කරවන්නටත් අපූරු හැකියාවක් පලා වර්ග සතු වෙනවා.
බීට් රූට් ශරීරයට අවශ්‍ය නයිට්රේට් ලබා ගන්නට ඇති හොඳම ප්‍රභවයක් වෙන්නේ මේ බීට් රූට්.ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන බිට් රූට්වලට එහි රතු වර්ණය ලබාදෙන කැරටිනොයිඩ් සංයෝගත් අපේ සිරුරේ රුධිරය පිරිසිදු කරන්නට බෙහෙවින් උපකාරී වෙනවා. සෛල අරක්ෂා කරමින් රුධිරයේ ඇති අහිතකර කාබනික සංයෝග බිඳ හෙලන එන්සයිම ශ්‍රාවයටත් බීට් රූට්වල අඩංගු පෝෂක උපකාරී වෙනවා. ඒ නිසා ව්‍යංජන ලෙස ආහාරයට ගන්නවාට වඩා බීට් රූට් යුෂ පානය කිරීම වඩාත් සුදුසුයි.

කිතුල් හකුරු සීනිවලට වඩා අපේ ශරීරයට ඉතා වටිනා පෝෂක සපයන ප්‍රභවයක් තමයි හකුරු කියන්නේ. ඉතා ඉහළ යකඩ ලවණ ප්‍රමාණයක් අඩංගු හකුරු රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණය ඉහළ නංවා ඔක්සිජන් ප්‍රවාහනය වැඩි දියුණු කරන්නට උපකාරී වෙනවා.ඔක්සිජන් බහුලව ලැබෙන විට සෛලවල රසායන ක්‍රියාවලිය ඉතා හොඳින් සිදු වන නිසා ලේවලට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණයත් ක්‍රමයෙන් අවම වෙනවා. ඒ නිසා හකුරු ආහාරයට ගැනීම රුධිරය පිරිසිදු කරගන්නට බෙහෙවින් වැදගත් වෙනවා.
කහ ආහාරවල පෙනුම සඳහා කුඩා ප්‍රමාණයකින් භාවිතා කරන කහ මගින් අපිට ලැබෙන ප්‍රතිලභ නම් අසීමිතයි. ප්‍රභලම ප්‍රතිඔක්සිකාරක සංයෝගයක් වන කර්කියුමින් බහුලව අඩංගු වෙන කහ අහිතකර මුක්ත ඛණ්ඩක නිසා සෛලවලට වන හානිය වළක්වමින් අහිතකර අතුරු ඵල රුධිරයට එක්රැස්වීම වළක්වනවා. ඒ වගේම වකුගඩු සහ අක්මාවේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවන්නටත් කර්කියුමින්වලට අපූරු හැකියාවක් තියෙනවා. ඒ වගේම රුධිරයට එකතු වන විෂබීජ වර්ග මුල් අවධියේම විනාශ කර දමමින් රුධිරය අපිරිසිදුවීම වළක්වා ගන්නට පුළුවන්.
ලෙමන් ලෙමන්වල අඩංගු ඉහළ විටමින් C සාන්ද්‍රණය අපේ ශරීරයේ රුධිරයේ විෂ එක්රැස්වීම වළක්වා ගන්නට බෙහෙවින් වැදගත් වෙනවා. ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් සමන්විත විටමින් සී රුධිරයට එකතු වන අහිතකර කාබනික සංයෝග හා විෂබීජ විනාශ කිරීමට සමත් වෙනවා. ඒ නිසා දිනපතාම වතුර වීදුරුවකට ලෙමන් යුෂ තේ හැන්දක් යොදා පානය කරන්නට ඔබත් පුරුදු වන්න. එය එහි අඩංගු පෝෂක වඩාත් හොඳින් ශරීරයට ලබා ගන්නට හැකි වගේම රුධිරය පිරිසිදුව තබා ගන්නටත් බෙහෙවින්ම වැදගත්.
වදමල් පානය කිරීම රුධිරය පිරිසිදු කරන මේ පානය සකසා ගැනීම අපහසු නැහැ. වතුර වීදුරු 4 ක් හොඳින් නටවා ගෙන එයට වද මල් කිහිපයක පෙති දමා විනාඩි 15 ක් තම්බා ගෙන තද රෝස පැහැයක් ලැබුණු පසු මී පැණි තේ හැන්දක් දමා පානය කරන්න.අපේ ශරීරයේ නීරෝගීභාවයට රුධිරයේ නීරෝගීභාවය අවශ්‍යමයි. ඒ නිසා රුධිරය පිරිසිදුව තබා ගන්නට මේ ආහාර නිතර ගැනීමට මතක තබා ගන්න.