නීරෝගි දිවියකට අප ලබාගන්නා ආහාර පාන ගැන සැළකිලිමත්වීම ඉතා වැදගත්.පෝෂණයට අමතරව දියවැඩියාව හා බර අඩුකරගැනීම ගැන කතා කරන විට ග්ලයිසමික් දර්ශකය යන වචනය බොහෝ විට ඇසෙයි.ග්ලයිසමික් දර්ශකය (GI) මඟින් පෙන්නුම් කරන්නේ ඔබ යම් ආහාරයක් අනුභව කළ පසු ඔබේ රුධිරයේ සීනි මට්ටම කොපමණ වැඩි විය හැකිද යන්නයි. දියවැඩියා රෝගයේදී රුධිර සීනි මට්ටම් ගැන අවධානයෙන් සිටීම රෝග ලක්ෂණ පාලනයට ඉතා අවශ්‍ය දෙයකි.
ශුද්ධ ග්ලූකෝස් (50g) රුධිරයට අවශෝෂණය වීමෙන් රුධිරයේ සීනි මට්ටම කොතරම් ඉහළ යයි ද යන්න මත මෙම දර්ශකය යටතේ ග්ලයිසමික් අගය වැඩි හා අඩු ආහාර වෙන්කර හඳුනාගනියි.ශුද්ධ ග්ලූකෝස් වල ග්ලයිසමික් අගය 100ක් ලෙස සලකයි.මෙම අගයන් ප්‍රධාන කොටස් 3ක් යටතේ වර්ග වේ. ආහාරයක එම අගය 55ට අඩු නම් අඩු ග්ලයිසමික් අගයක් ඇති ආහාර ලෙස හඳුන්වයි.55-69 අතර නම් මධ්‍යස්ථ ප්‍රමාණයේ ග්ලයිසමික් අගයක් ඇති ආහාරයි. 70-100 අතර වේ නම්, එහි සීනි අන්තර්ගතය ඉතා වැඩි බව අදහස් කරයි.දියවැඩියා රෝගීන්ට සුදුසු නුසුදුසු ආහාර පාන මොනවාදැයි තීරණය කිරීමට ආහාර වල ග්ලයිසමික් අගය ඉතා ප්‍රයෝජනවත්ය. එම නිසා අඩු ග්ලයිසමික් අගයක් ඇති ආහාර පාන තෝරාගැනීම දියවැඩියා රෝගීන්ට ඉතා හිතකර බවයි පෙන්වාදෙන්නේ.
දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා අඩු ග්ලයිසමික් අගයක් ඇති ආහාර පාන රුධිර සීනි මට්ටම් අඩුකරගැනීමට සහය වෙන බව විශේෂඥයින් පෙන්වාදෙනවා. එවගේම කෙටි කාලයකින් සිරුරේ බර හොඳින් අඩුකරගැනීමටත් මෙවැනි ආහාර පාන වර්ග සහය වෙනවා. අද අපි කතා කරන්නේ එවැනි සුපිරි ආහාර පාන කිහිපයක් ගැනයි.

මේද මාලු එදිනෙදා ආහාර වේලට මේද අඩංගු මාලු වර්ග එක්කරගන්න අමතක නොකරන්න.මේවායේ ඔමේගා-3 මේද අම්ල නම් සිරුරට ඉතා වැදගත් පෝෂක බහුලයි.හෘද සෞඛ්‍ය නීරෝගි කිරීම, නොයෙකුත් ලෙඩ රෝග වලින් සිරුර ආරක්ෂා කිරීම,රුධිර සීනි මට්ටම් නියාමනයට සහය වීම වැනි ප්‍රතිලාභ සිරුරට ලැබෙයි. සැමන්,ටූනා,හුරුල්ලෝ වැනි මාලු ඊට හොඳ උදාහරණයි. මේවායේ කාබෝහයිඩ්‍රේට ඉතා අවම නිසා ඇත්තේ ඉතා අඩු ග්ලයිසමික් අගයකි.ප්‍රෝටීන් බහුල නිසා බඩපිරෙන ගතිය වැඩිවේ.එම නිසා රුධිර සීනි මට්ටම් වඩාත් ස්ථායීව පවතියි.
හණ ඇට කාබෝහයිඩ්‍රේට අඩු අන්තර්ගතයක් ඇති නිසා හණ ඇට වල ග්ලයිසමික් අගය ඉතා අඩු මට්ටමක් ගනියි. මේවායේ ඔමේගා-3 මේද අම්ල හා තන්තු බහුලයි.අද්‍රාව්‍ය තන්තු වීම නිසා රුධිර සීනි මට්ටම් නියාමනය හොඳින් සිදුවීමට සහය වේ.රුධිර සීනි මෙන්ම රුධිර පීඩනය අඩුකිරීමට ද හණ ඇට ගුණදායී බව සඳහන් වෙනවා.කබලේ බැද හෝ කුඩු කරගත් හණ ඇට සලාද,ස්මූති,යෝගට්,ඕට්ස් වැනි ආහාර සමඟ මුසු කර දිනපතා පරිභෝජනය කරන්න.
බිත්තර ඔම්ලට් හෝ මද ගින්නේ තම්බාගත් යන ආකාර වලින් උදෑසන වේලට බිත්තර ආහාරයට එක්කරගැනීමට ඔබට හැකියි.ප්‍රදාහය අඩුකර සිරුරේ ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සහ ඒ හරහා සිරුරේ අහිතකර කොලෙස්ටරෝල් අඩු කර හිතකර කොලෙස්ටරෝල් මට්ටම් ඉහළ දැමීමට මේවායේ ඇති පෝෂණ ගුණයන්ට හැකි බව විශේෂඥයින් සඳහන් කරනවා.කාබෝහයිඩ්‍රේට අඩු නිසා රුධිර සීනි පාලනයට හොඳ ආහාරයක්.
ග්‍රීක් යෝගට් යෝගට් කෝප්පයක ඇත්තේ ග්‍රෑම් 6-8ක් පමණ කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයක් නිසා සාමාන්‍ය යෝගට් වලට වඩා ග්ලයිසමික් අගය ඉතා අඩුයි.ලියොලෙයික් අම්ල අඩංගු නිසා ආහාරයට ගැනීමෙන් පසු වැඩි කාලයක් හොඳින් බඩපිරී ඇති බවක් දැනෙයි.සීනි එක්නොකළ යෝගට් ආහාරයට ගැනීම රුධිර සීනි පාලනයට හා දියවැඩියා අවදානම අවම වීමට සහය වන බව අධ්‍යයන පෙන්වාදේ.පලතුරු සමඟ හෝ ස්මූති සමඟ ග්‍රීක් යෝගට් මිශ්‍ර කර ආහාරයට ගන්න.
ස්ට්‍රෝබෙරි ස්ට්‍රෝබෙරි කෝප්පයක ඇති කැලරි ප්‍රමාණය 53ක් පමණ වන අතර කාබෝහයිඩ්‍රේට ග්‍රෑම් 13ක් පමණ වේ.මේවායේ තන්තු ද ඇති නිසා දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකයි. අඩු ග්ලයිසමික් අගයක් ඇති ගුණදායි පලතුරු වලින් එකක් ලෙස ස්ට්‍රෝබෙරි හඳුන්වයි.පොලිෆෙනෝල් නම් ප්‍රතිඔක්සිකාරක ද බහුලයි. මේවා සිරුරේ ඉන්සියුලින් සංවේදීතාව වැඩිකරවන බව පෙන්වාදේ.ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය අඩු වීමෙන් රුධිර සීනි මට්ටම් ඉතා අධික වෙයි.

අලිගැටපේර අලිගැටපේර වල ග්ලයිසමික් අගය 15ක් ලෙසයි දැක්වෙන්නේ.එම නිසාම මේවා දියවැඩියා රෝගීන්ට ගුණදායි පලතුරක් ලෙස හැඳින්වෙයි.සීනි හා කාබෝහයිඩ්‍රේට ඉතා අවම වන අතර හිතකර මේද බහුලයි.තන්තු ද ඇති නිසා රුධීර සීනි මට්ටම එක්වරම ඉහළ යාම් වළකයි. ඇවකාටින් 3 නම් මේද අණු අඩංගු නිසා සිරුරේ ඉන්සියුලින් සංවේදීතාව වැඩිදියුණු කිරීමට ගුණදෙන බව ද අධ්‍යයන වල සඳහන්.බර අඩුකරගැනීමට ද අලිගැටපේර හොඳ ආහාරයක්. අධිබර හා ස්ථූලතාව දියවැඩියා රෝග අවදානම වැඩිකරවන සාධක බව ඔබ දන්නවාද?
නට් වර්ග කාබෝහයිඩ්‍රේට අඩු, තන්තු බහුල ආහාරයක් නිසා නිතිපතා ආහාරයට ගැනීමෙන් සිරුරේ ප්‍රදාහය අඩුකිරීමට හා රුධිර සීනි මට්ටම් ස්ථාවරව පවත්වාගැනීමට සහය දේ.දියවැඩියා රෝගීන්ගේ හෘද සෞඛ්‍ය නීරෝගී කිරීමට මේවා ගුණදායි බව පෙන්වාදේ.වොල්නට්,ආමන්ඩ්,පිස්ටැෂියෝ වැනි නට් වර්ග ඉතා සුදුසුයි.