වකුගඩු රෝගීන්ට නුසුදුසු කෑම බීම 

health tips

වකුගඩු රෝගය යනු වර්තමානයේ මිනිසුන්ට පවතින ප්‍රධානම සෞඛ්‍ය ගැටලුවක් වේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උතුරුමැද පලාත ප්‍රමුඛ කොටගත් කෘෂිකාර්මික කටයුතුවල වැඩි වශයෙන් නියැලෙන ප්‍රදේශවල මිනිසුන් තුළින් නැවතත් වකුගඩු රෝගීන් වැඩි වශයෙන් හඳුනාගත හැකිය. මෙම ප්‍රදේශවල පවතින වකුගඩු රෝගය හඳුනා නොගත් වකුගඩු රෝගය නොහොත් CKD ලෙස හඳුනා ගනියි. 

මීට අමතරව වැරදි ආහාර පුරුදු හා ජීවන පුරුදු නිසාවෙන් සහ වැඩි වශයෙන් ව්‍යාප්ත වන බෝ නොවන රෝග හේතුවෙනුත් වකුගඩු රෝගය වැළඳීමේ අවදානමක් පවතී. 

වකුගඩු රෝගය අදියර 5 කින් සමන්විත වෙයි. ඒවායින් පලවෙනි අදියරේ සිට තුන්වන අදියර දක්වා බරපතළ තාවය තරමක් අඩු වුවත් 4 වන අදියරේ සිට පස්වන අදියර දක්වා රෝගය ව්‍යාප්ත වී ඇති රෝගීන් අතිශයින්ම භයානක මට්ටමක සිටී. 

වකුගඩු රෝගය ඖෂධ වලින්ම පමණක් පාලනය කළ හැකි රෝගී තත්ත්වයක් නොවන අතර එහිදී රෝගියා ද රෝගය වෙනුවෙන් තමන්ට කළ හැකි කැපවීම සිදුකළ යුතුය. ඒ අනුව මෙවැනි රෝගීන් ආහාර පානාදිය ගැනීමේදී පවා දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. එහිදී වකුගඩු රෝගීන් පරිභෝජනය නොකල යුතු ආහාරපාන වර්ග කිහිපයක් හඳුනාගත හැකිය. 

පාලනයකින් යුතුව ප්‍රෝටීන් ශරීරගත කර ගත යුතුය.වකුගඩු රෝගීන්ට ප්‍රෝටීන අත්‍යවශ්‍ය පෝෂ්‍ය සංඝටකයකි. එනමුත් එම අවශ්‍යතාවය මත පදනම්ව ප්‍රෝටීන් සහිත ආහාර වැඩි වශයෙන් ශරීරගත වුවහොත් එය වකුගඩු දුර්වල වීමට වෙනත් ආකාරයකින් බලපානු ලබයි. ශරීරයට ලබාගන්නා ප්‍රෝටීන ජීර්ණය වීමෙන් පසු යුරියා බවට පත්වෙයි. වකුගඩු රෝගී වූ අවස්ථාවල දී මෙම යූරියා නිසි පරිදි ශරීරයෙන් බැහැර නොවේ. එසේ පිට නොවීමේ දී යූරියා ශරීරය තුළ අපද්‍රව්‍ය ලෙස ගොඩ ගැසේ. එබැවින් ප්‍රෝටීන් සහිත ආහාරපාන ආදිය වකුගඩු රෝගීන් පරිභෝජනය කිරීමේ දී පාලනයක් පැවතිය යුතුය. විශේෂයෙන් වකුගඩු රෝගයෙන් පීඩා විඳින පුද්ගලයින් මස්, මාළු, බිත්තර, කිරි, චීස් සහ අනෙකුත් කිරි නිෂ්පාදන ද, කඩල, කව්පි, පරිප්පු, සෝයා වැනි වියළි ඇට වර්ග වැනි ප්‍රෝටීන් අධික ආහාර ද්‍රව්‍ය ලබාගැනීමේදී සැලකිලිමත් විය යුතුය. ඒ අනුව ප්‍රෝටීන් සහිත ආහාර ලබා ගැනීමේදී ප්‍රමාණාත්මකව ලබාගත යුතුය. එනම් 

පළවැනි අදියරේ සිට තුන්වන අදියර දක්වා වකුගඩු රෝගය ව්‍යාප්තව පවතින පුද්ගලයෙකුට දිනකට ප්‍රෝටීන් ලබා ගත යුත්තේ ශරීරයේ බර අනුව කිලෝග්‍රෑම් එකකට 0.75g කි. එමෙන්ම වකුගඩු රෝගයේ හතරවැනි අදියරේ සහ පස්වන අදියරේ සිටින අයට රුධිර කාන්දුකරණය සිදුකරයි. එය අනුව දිනකට ප්‍රෝටීන් ලබා දිය යුත්තේ ශරීරයේ බර අනුව කිලෝග්‍රෑම් එකකට 1.2g – 1.4g කි. විශේෂයෙන් රුධිර කාන්දුකරණයේදී වැඩි වශයෙන් රුධිරය පිටවන බැවින් ප්‍රෝටීන් තරමක වැඩි ප්‍රමාණයක් ශරීරයට ලබාගත යුතුය. 

පොටෑසියම් වැඩි ආහාර පාලනය කළ යුතුය. පොටෑසියම් වැඩි වශයෙන් ශරීරගත වුවහොත් එය ශරීරයේ නිරෝගී භාවයට ගැටලුකාරී තත්ත්වයක් ඇති කරයි. ඇතැම් විට හෘද ක්‍රියාකාරීත්වය පවා අඩාල කිරීමේ හැකියාව පවතී. ඒ අනුව වකුගඩු රෝගීන්ට පවා පොටෑසියම් භාවිතය අවම කිරීම නුවණට හුරු වේ.  ඒ අනුව කෙසෙල්, අර්තාපල්, තක්කාලි, චොක්ලට්, බිම්මල්, මාංශ භෝග, වියළි පලතුරු, දෙහි, දොඩම්, නාරං ආදී පැඟිරි කුලයේ පලතුරු ආදී පොටෑසියම් බහුල ආහාර පාන වලින් වැළකී සිටීම යෝග්‍ය වේ. 

සෝඩියම් සහිත ආහාර පාන ලබා ගැනීමේදී පාලනයක් පැවතිය යුතුය. වකුගඩු රෝගීන් sodium සහිත ආහාරපාන ඉතා අවම ප්‍රමාණයක් ලබා ගත යුතුය. විශේෂයෙන් ආහාර රසවත් කිරීම සඳහා යොදා ගන්නා ලුණු පවා ස්වල්ප වශයෙන් භාවිතයට ගත යුතුය. ඒ අනුව ලුණු වැඩි වශයෙන් අන්තර්ගතව පවතින චීස්, කෙටි කෑම, සුප්, චට්නි හා සෝස් වර්ග, සොසේජස්, හැම්, බේකන්, සමහර ටින් ආහාර ආදිය පරිභෝජනය කිරීම පාලනයකින් යුතුව සිදුකළ යුතුය. 

පොස්පරස් අධික ආහාරපාන පාලනය කළ යුතුය. කිරි සහ කිරි නිෂ්පාදන වන චීස්, පුඩිං, යෝගට්, අයිස්ක්‍රීම් ද, වියළි ඇට වර්ග හෝ මාංශ භෝග, මස් වර්ග, බිම වර්ග, එනම් කෝලා වර්ග, බියර් ආදිය පොස්පරස් වැඩි ආහාර වශයෙන් හඳුනා ගත හැකි ය. ඒවා වකුගඩු රෝගීන් සදහා සුදුසු නොවේ. විශේෂයෙන් පොස්පරස් අධික ලෙස ආහාරයට ගැනීමෙන් ශරීරයේ පොස්පරස් සහ කැල්සියම් අසමතුලිතතාවක් ඇති වේ. එමෙන්ම ශරීරයේ අහිතකර පොස්පරස් වකුගඩු අක්‍රිය වූ විට නිසි පරිදි පිට නොවන අතර ඒවා රුධිරයට එකතු වේ. ඉහත කී අසමතුලිතතාවය එවිට ඇති වේ. එබැවින් වකුගඩු රෝගීන් පොස්පරස් සහිත ආහාරපාන පරිභෝජනය කිරීමේදී දෙවරක් සිතිය යුතුය. 

කොතරම් නිරෝගී වුවත් පමණ ඉක්මවා ජලය පානය කිරීම පාලනය කරගත යුතුය. ජලය නිසි ප්‍රමාණයට පානය කළ යුතු අතර පානීය ජලයට අමතරව වෙනත් පාන වර්ගවලින් සිරුරට එකතු වන ජලය පිළිබඳ සැළකිලිමත් විය  යුතුය. ඒ අනුව සෑම වකුගඩු රෝගියෙක් ම ඖෂධ මත පමණක්ම යැපීම සිදු නොකොට තමන්ට රෝගය වෙනුවෙන් කළ හැකි කැපවීම පිළිබඳව ද සැලකිලිමත් වෙමින් කටයුතු කිරීම වැදගත් වේ. විශේෂයෙන් මෙහිදී වකුගඩු රෝගීන් ලබා ගන්නා ආහාරපාන පිලිබද වැඩි සැලකිල්ලක් පැවතිය යුතුය.