කෙස්කලඹේ නීරෝගීකම රැකගන්න ඔබ ගොඩක් දේවල් උත්සහ කරනවා ඇති. ඒ වුණත් ඔබේ කෙස්කලඹේ අප්‍රාණික බව දුර්වල බව රූපවාහිනී දැන්වීම් වල දකිනවා වගේ මැජික් ෂැම්පු කන්ඩිෂනර් භාවිතයෙන් වෙනස් කරගන්න පුළුවන් කියලා ඔබ හිතනවද?ඔබ ජීවත්වන දේශගුණයේ,ස්නානය කරන ජලයේ සහ ඔබේ ආහාර පාන රටාවේ ඇතිවන ඕනෑම වෙනසක් ඔබේ කෙස්කලඹේ නීරෝගී බවට බලපාන්න පුළුවන්.කෙස්කලඹේ නීරෝගී බව රැකගන්න නම් හොඳ පෝෂණයක් ඊට අවශ්‍යයයි.ඉතින් අද අපි කතාකරමු ඔබේ කෙස්කලඹේ වර්ධනය වීමේ ක්‍රියාවලිය වේගවත් කරවමින් ඊට දායක වන වැදගත් විටමින් හා පෝෂක වර්ග කිහිපයක් ගැන.

විටමින් D හිතන්න ඔබේ හිස්කබල කියන්නේ ගෙවත්තක පස් තට්‍ටුව කියලා.පස ඛනිජ ලවණ සහ විටමින් වලින් යුක්ත නම් තමයි එහි සිටුවන පැළ හොඳ නීරෝගිව වේගයෙන් වැඩෙන්නේ.මේ වගේ ඔබේ හිස්කබලේ ප්‍රමාණවත් තරම් විටමින් D අඩංගුව නොපවතියි නම් එය ඔබේ කෙස්කලඹේ වර්ධනය මන්දගාමී කරවනවා. විටමින් D හිඟකම නිසා හිසකෙස් හැලීයාම වගේ ගැටලු ද ඇතිවිය හැකියි. ඇලොපීසියා ඒරියාටා කියන්නේ එවගේ ස්වයංප්‍රතිශක්තිකරණ රෝගයක්.මෙම හිස මුඩු වීමේ රෝගයට විටමින් D ඌනතාව යම් සම්බන්ධතා පෙන්නුම් කරන බව වෛද්‍ය සමීක්ෂණ වල සඳහන් වෙනවා.
විටමින් D ඌනතාවයෙන් පෙළෙන්නේ නම් මෙම රෝගය වඩාත් උත්සන්න වීමේ ඉඩකඩ තිබෙනවා.අධ්‍යයන මඟින් පෙන්වාදෙන ආකාරයට බොහෝ විට සිදුවන කාන්තාවන්ගේ තට්ටය පෑදීමේ තත්වයට ද සිරුරේ විටමින් D ඌනතාවේ යම් බලපෑමක් ඇති බවයි.කෙසේවෙතත් ඇතැම් වෛද්‍ය අධ්‍යයන මඟින් පෙන්වාදෙන්නේ විටමින් D ඇලෝපීසියා තත්වයේදී සිදුවන හිසකෙස් හැලීයාමට කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි. ඉන් පෙනී යන්නේ හිසකෙස් වල නීරෝගි බව යථා තත්වයට පත්කිරීමට නම් ඔබේ සිරුරට විටමින් D වලට වඩා යමක අවශ්‍යතාව පවතින බවයි.
විටමින් D ඔබේ හිසකෙස් වල මුල ඇති ස්‍යුනිකා (follicles) ශක්තිමත් කරවමින් හිසකෙස් ගැලවී යාම වළක්වයි. ඒ වගේම කැල්සියම් සහ පොස්පරස් සමබරතාව පවත්වාගනියි. නීරෝගී වැඩිහිටියෙකු විසින් දිනකට ලබාගත යුතු විටමින් D ප්‍රමාණය මයික්‍රෝග්‍රෑම් 15ක්. රුධිර පරික්ෂාවකින් ඔබේ සිරුරේ විටමින් D ඌනතාව හඳුනාගත්තේ නම් ඔබේ වෛද්‍යවරයා විසින් සති 12ක කාලයක් තිස්සේ විටමින් D සප්ලිමන්ට් (අතිරේක පෝෂක) ගැනීමට ඔබට නියම කරනු ඇත.මේවාට අමතරව විටමින් D අඩංගු ආහාර පාන ද ඔබේ පරිභෝජනයට එක්කරගන්න.මාලු, බිම්මල්,බිත්තර කහමද,විටමින් D යහගුණය එක්කල දොඩම් යුෂ ,එළකිරි ඊට හොඳ උදාහරණයි. ඒ වගේම උදෑසන කාලයේ හිරු එලියට නිරාවරණය වීමෙන් ඔබේ සිරුරේ මෙම විටමින් ස්වභාවිකවම නිපදවීම සිදුවෙනවා. විටමින් D ඌනතාව අනිද්‍රාව (නින්ද නොමැතිකම), මාංශ පේශී විඩාවට පත්වීම,සිරුරේ අප්‍රාණිකබව සහ හිසකෙස් හැලීයාම වගේ ගැටලු ඇතිකරයි.විටමින් D2 එළවලු වල අන්තර්ගත වෙනවා. මේ අතර D3 පෝෂණය හිරු එලියෙන් සහ බිත්තර වලින් ලබාගත හැකියි.ප්‍රමාණය ඉක්මවා විටමින් D අඩංගු දෑ පරිභෝජනය නොකළ යුතුයි.ස්වභාවික මේද අඩංගු ආහාර සමඟ විටමින් D පෝෂණය ලබාගැනීමෙන් සිරුරට ඒවා හොඳින් අවශෝෂණය වෙනවා.

විටමින් B ජානමය බලපෑම් හෝ හෝර්මෝන අසමතුලිතතාව, ආතතිය සහ සනීපාරක්ෂාව නොමැතිකම වගේ කිසිඳු හේතු බලපෑමක් නැතිවම හිසකෙස් හැලීයාමේ ගැටලුවෙන් පීඩාවට පත්වුණු අය බොහෝ දෙනෙක් ඉන්නවා. බොහෝ විට ඊට හේතුව පෝෂණ ඌනතාවන්ය. විටමින් B ඌනතාව ඒ අතරින් වඩාත් ප්‍රධානයි.දිනකට හිසකෙස් 50-100 අතර ප්‍රමාණයක් ගැලවී යාම ඉතා සාමාන්‍ය තත්වයක් බව විශේෂඥයින් පවසනවා.හිසකෙස් වර්ධනය වීම සිදුවෙන්නේ වැඩීම,අලුත්වැඩියා වීම සහ හැලීයාම යන අවධි ඔස්සේයි.සිරුරේ ස්නායු වල නීරෝගි බව පවත්වාගැනීම සඳහා B සංකීර්ණයේ විටමින් ඉතා වැදගත් වෙනවා. B1,B2,B3,B5,B6,B7,B9 සහ B12 එවැනි විටමින් වර්ග කිහිපයක්.
මෙම විටමින් වර්ග ආහාර පාන හරහා සපුරාගත හැකියි. ධාන්‍ය වර්ග, කොළ පැහැති පත්‍ර එළවළු වර්ග, පලා වර්ග, පීකුදු සහ කුකුළු මස්, මාලු,බිත්තර,බෝංචි,රනිල බෝග,අලිගැටපේර වගේ ආහාර ඉන් ප්‍රධානයි. B සංකීර්ණයේ විටමින් ජල ද්‍රාව්‍ය ස්වභාවයක් ගනියි. ඒ අනුව සිරුරට අවශ්‍ය විටමින් උරාගැනීමෙන් පසු අතිරික්ත ඒවා මූත්‍රා මාර්ගයෙන් බැහැර වී යයි.
ඔබේ සිරුරේ විටමින් B12 අඩු මට්ටමක පවතියි නම් ඔබට දැඩි තෙහෙට්‍ටුකාරී බවක් නිතර දැනෙයි. ඒවගේම ඔබේ හිසකෙස් ගැලවී යාමට පටන්ගත හැකියි.දිනකට මෙම විටමින් වර්ගයෙන් මයික්‍රෝග්‍රෑම් 2ක් පමණ පරිභෝජනය කළ යුතුයි.ගැබිණි හෝ කිරි දෙන මවුවරු දිනකට මයික්‍රෝග්‍රෑම් 3ක් පමණ ලබාගත යුතුයි.
විටමින් B7 හඳුන්වන තවත් නමක් තමයි බයෝටින් කියන්නේ.මෙම විටමිනය ඔබේ කෙස්ගස් වඩාත් ශක්තිමත් කරවනවා. සිරුර තුළ මෙම විටමිනය හිඟවන විට තට්ටය පෑදීම වේගවත් විය හැකි බව අධ්‍යයන ඔස්සේ තහවුරු වී තිබෙනවා.හෝර්මෝන සංස්ලේෂණයට හා රතු රුධිර සෛල නිෂ්පාදනයේදී මෙම විටමිනය ඉතා වැදගත් දායකත්වයක් ලබාදෙනවා.කෙස්ගසේ මුල පිහිටන පැපිලාවේ සෛල වර්ධනය වීමට ද දායක වෙනවා.ඒවගේම කෙස්ගස රැඳී තිබෙන ස්‍යුනිකාව වෙත ඇති රුධිර සැපයුම වැඩිකරනවා.කෙස්කලඹේ වයනය (texture) වැඩිදියුණු කිරීමට ද උපකාරී වෙනවා. සිරුරේ සුළු ප්‍රමාණයකින් තැන්පත් වන එකම විටමිනය මෙයයි. මේවා බඩවැල් තුළ ජීවත් වන ක්ෂුද්‍රජීවීන් මඟින් ද ස්‍රාවය වෙනවා.
විටමින් E මේද ද්‍රාව්‍ය විටමිනයක් වන මේවා මඟින් හානිකර මුක්තකණ්ඩ (free radicals) වලින් සහ ඔක්සිකාරක ආතතියෙන් අපේ සිරුරේ සෛල ආරක්ෂා කරනු ලබනවා.හානිකර මුක්තකණ්ඩ වලට ඔබේ සිරුරේ DNA,RNA සහ ප්‍රෝටීන සංස්ලේෂණය කෙරෙහි බාධා ඇතිකිරීමේ හැකියාව තිබෙනවා.විටමින් E මඟින් ඔබේ හිස්කබලේ රුධිර සංසරණය වැඩිදියුණු කරනවා.ඒවගේම හිසකෙස් හැලීයාම අවම කිරීම වගේම අලුතින් කෙස්ගස් වැඩීම ප්‍රවර්ධනය කරනවා.එළවලු තෙල් වල විටමින් E අඩංගුයි. ඇට වර්ග,කොළ පැහැති පත්‍ර එළවලු වර්ග සහ මාලු වල ද මේවා අඩංගුයි.විටමින් E කරල් සහ තෙල් වශයෙන් ද ඖෂධ හල් වලින් ලබාගත හැකියි. ඇතැම් අය විටමින් E කරල් හිසේ සෘජුවම ආලේප කරමින් සම්බාහනය කරනවා. නමුත් මෙය වෛද්‍ය විද්‍යාත්මකව නම් තහවුරු කර ඇති දෙයක් නම් නොවෙයි. විටමින් E අධිකව භාවිත කිරීමෙන් හිසකෙස් වැඩියෙන් ගැලවී යාමට වුව ඉඩ තිබිය හැකියි.සාමාන්‍ය නිර්දේශිත ප්‍රමාණයකින් භාවිත කිරීම හරහා විටමින් E ඇලෝපීසියා සහ හිසකෙස් ගැලවීයාම වගේ තත්වයන් වල ගැටලුකාරී ලක්ෂණ අඩු කරවන බව අධ්‍යයන වලින් ඔප්පු වී තිබෙනවා.

විටමින් A හිසකෙස් හැලීයාම හෝ කෙස්කලඹ තුනී වී යාම වගේ ගැටලු නැති නීරෝගී කෙස්කලඹක් නම් ඔබට තිබෙන්නේ ඔබ අමතක නොකළ යුතු පෝෂකයක් තමයි විටමින් A කියන්නේ. විටමින් A ඌනවිමෙන් ඔබේ කෙස්කලඹ දුර්වල වී අවුල්වුණු හා අකීකරු ස්වභාවයක් ගනියි.විටමින් A මඟින් ස්නේහන ද්‍රව්‍ය ස්‍රාවය වීමට සලස්වමින් ඔබේ කෙස් ගස් මුල් මෘදු මොළොක් කරවයි. කෙස්කලඹ අධිකව වියළී යාම මෙම ස්වභාවික තෙල් ස්‍රාවයන් මඟින් වළක්වනවා. විටමින් A හෙවත් රෙටිනෝල් සප්ප්ලිමන්ට් වශයෙන් පහසුවෙන්ම ලබාගත හැකියි. පලතුරු හා එලවළු වල මේවා හොඳින් අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම දොඩම්, වට්ටක්කා, බතල සහ කොඩ් ලිවර් ඔයිල් වගේ දේවල් වල මේවා බහුලයි.
විටමින් C විටමින් C ඌනවීමෙන් ඔබේ කෙස්කලඹ අකීකරු ස්වභාවයක් ගත හැකියි.රතු බෙල් පෙපර්, ගෝවා කොළ, සැල්දිරි වගේ කොළ පැහැති පත්‍ර එළවලු වර්ග සහ පැඟිරි පලතුරු වල විටමින් C බහුලයි.මේවා සප්ලිමන්ට් ලෙසත් ලබාගත හැකියි.
- වෙනත් පෝෂක වර්ග
- ෆෝලේට්- සිරුරේ ප්‍රමාණවත් තරම් ෆෝලේට් පෝෂණයක් නොමැතිවීම යකඩ ඌනතා නිරක්තියට (ඇනීමියා) තුඬු දිය හැකියි. මෙම නිරක්ති රෝගයෙන් පෙළෙන කාන්තාවන් තුළ හිසකෙස් ගැලවීයාමේ ගැටලුව බහුලව දැකිය හැකියි. ෆෝලේට් නොමැති විට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ප්‍රමාණයක් සිරුර පුරා ගෙන යාමට ඔබේ රුධිරයට නොහැකිවෙයි.ඔක්සිජන් නොමැතිකමින් සිරුරේ පටක වලට නිසි ලෙස ක්‍රියාකාරී වීමට නොහැකිව යයි. මෙය ඔබේ හිස්කබලට ද බලපෑම් ඇතිකරයි.
- මැග්නීසියම්-හිසකෙස් වර්ධනයේදී සිදුවන ජෛව රසායනික ක්‍රියාවලියේදී සක්‍රීය දායකත්වයක් ඇති පෝෂකයක් තමයි මැග්නීසියම් කියන්නේ.මැග්නීසියම් ඌනතාවක් ඇතිවූ විට සිරුරේ තෙහෙට්‍ටුව ඇතිවීම හා හිසකෙස් හැලීමට පටන්ගැනීම වගේ සංඥා සිරුරේ පහළ වීමට පටන්ගන්නවා.
- ඔමේගා 3 මේද අම්ල- ස්වභාවික ආහාර මූලාශ්‍ර වන සැමන්, මෝර තෙල්, මුහුදු බෙල්ලන්, හණ ඇට, වොල්නට්, වකුගඩු බෝංචි ආදියෙහි මෙම පෝෂකය යහමින් අඩංගු වෙනවා.ප්‍රතිප්‍රදාහක ගුණයෙන් යුක්ත මෙම මේද අම්ල මඟින් ඔබේ කෙස්කලඹේ පිරිපුන් පෙනුම සහ නීරෝගි බව වැඩි කරනවා.
- සින්ක්- සිරුරේ සෛල ශක්තිමත් කරවන පෝෂකයක් ලෙස සින්ක් හඳුන්වන්න පුළුවන්. මුහුදු ආහාර, ධාන්‍ය, නට් වර්ග සහ ඇට වර්ග වල සින්ක් බහුලයි.
- ප්‍රෝටීන්- ප්‍රෝටීන් යනු සිරුරේ මූලික තැනුම් ඒකක විදියට හඳුන්වන්න පුළුවන් පෝෂකයක්.සිරුරේ වර්ධනය සහ සෛල අලුත්වැඩියාවට දායකත්වය ලබාදෙන්නේ ප්‍රෝටීනයි.නීරෝගී පටක අනවශ්‍ය ලෙස සිදුවන හිසකෙස් හැලීයාමේ තත්වය නවත්වාගැනීමට සමත් වෙනවා.අපේ හිසකෙස් නිර්මාණය වී තිබෙන්නේ ද කෙරටින් නම් ප්‍රෝටීන් වලින්.ඒවා නොමැතිව නව හිසකෙස් සෛල ඇතිනොවෙයි.ඒවගේම වර්ධනය වී තිබෙන කෙස්ගස් වල නීරෝගි බව රැකගැනීම ද අසීරු වී යයි.ඔබේ එදිනෙදා ආහාර වේලට හොඳ ප්‍රෝටීන් පෝෂණයක් අඩංගු ආහාර පාන එක්කරගත යුත්තේ ද ඒ නිසාමයි.