වයස අවුරුදු 25 ඉක්මවූ හැමෝටම වගේ හිසකෙස් සම්බන්ධ ගැටළු පවතිනවා. හිසකෙස් ගැලවී යාම, අකලට හිසකෙස් සුදුවීම, හිසකෙස් වර්ධනය නොවීම ආදී ගැටළු බොහොමයකින් තරුණ පරපුර පීඩා විදිනවා. කොණ්ඩය කියන්නේ අපේ රූප ස්වභාවය වැඩි කරන හැමෝම වැඩි අවදානයක් යොමු කරන අංගයක්. හිසකෙස් සම්බන්ධ ගැටළු අතරින් අකලට හිසකෙස් සුදුවීම වගේම හිසකෙස් සිහින් වී ගැලවී යාමත් අතිශය පීඩාකාරී තත්ත්වයක් .විශේෂයෙන්ම නළල අවට හිසකෙස් ගැලවී යාමෙන් කාන්තාවන් වගේම පුරුෂ පාර්ශවයටත් බෙහෙවින් පීඩාවට පත්වෙලා ඉන්නවා. මේ තත්ත්වය සඳහා අපිට නිවසේදී කරන්නට හැකි සරල පිළියම් තියෙන නිසා අපි සිතුවා අද ඒ පිළිබඳව කතා කරන්නට .
මේ විදියට නළල දෙපස හිසකෙස් අනිත් ප්‍රදේශයට වඩා ඉක්මනින් වැටී යන්නට විවිධ හේතු බලපානවා. ඒ අතරින් බොහොමයක්ම අපේ නොසැලකිලිමත්කම නිසා ඇතිවෙන ඒවා. නමුත් මේ සඳහා බලපාන හේතු ගැන දැනුවත් නම් ඒවායින් වැළකී සිටීමෙන් මෙය තවදුරටත් සිදුවීම වළක්වා ගන්නට හැකියාව තිබෙනවා. කොහොමවුණත් මේ නළල දෙපස හිසකෙස් ගැලවීයාම පහසුවෙන් යථා තත්ත්වයට පත්කර ගන්නට නොහැකි නිසා ඒ තත්ත්වයන් ඇතිකරන හේතුවලින් මිදෙන එක තමයි වඩාත් සුදුසු.
නළල ආශ්‍රිත හිසකෙස් ගැලවී යාම සිදු වෙන්නේ ඒ ප්‍රදේශයේ හිසකෙස් සිහින් වීම මගින්. මේ තත්ත්වය කාන්තා පිරිමි දෙපාර්ශවයටම පොදු තත්ත්වයක්. බොහෝ අයගේ තට්ටය පෑදීම ආරම්භ වෙන්නෙත් නළල දෙපසින්.මේ සඳහා හේතු කිහිපයක් බලපානවා.
- තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු
- හෝර්මෝන අසමතුලිතතාවයන්
- PCOS ගැටළු
- හිසකෙස් තදින් බැඳීම ආදී විවිධ කොණ්ඩා මෝස්තර
- ප්‍රවේණිගත තත්ත්වයන්

මේ හේතුව නිසා වැඩි වශයෙන් පුරුෂයන්ගේ තට්ටය පෑදීමට හැකියාව තියෙනවා. මෙය වයස අවුරුදු 16-17 දී පමණ ආරම්භ වෙන්නට පුළුවන්. එහි මූලික ලක්ෂණය වෙන්නේ නළල දෙපැත්තේ ඇති හිසකෙස් තුනී වී ක්‍රමයෙන් නළල පෑදීමට පටන් ගැනීමයි . පසුව හිසේ මැද කොටසේ සහ හිසේ ඉදිරිපස කොටසේ තට්ටය පෑදීම පටන් ගන්නවා. මෙය ඉතා සෙමින් සිදුවෙන තත්ත්වයක්. වයස අවුරුදු 30-40 ක කාලයක් තුළ මෙය සිදුවෙමින් ගොස් වයස 40 න් පසුව සම්පූර්ණයෙන්ම තට්ටය පෑදියාමක් අත්දකින්නට ලැබෙනවා.
මේ සඳහා වඩාත් සාර්ථක ප්‍රතිකාර තිබෙන නමුත් මේ රෝගය සඳහා ඖෂධ බොහෝ කාලයක් භාවිතා කළ යුතු වෙනවා. ඒ වගේම ප්‍රතිකාර නතර කළ විට නැවත තට්ටය ඉස්මතුවීමක් වෙනවා. මෙසේ බොහෝ කාලයක් ප්‍රතිකාර කිරීම ප්‍රායෝගික නොවන නිසා ඒ වෙනුවට පහසු ප්‍රතිකර්මයක් තමයි රුධිර පට්ටිකා පෝෂිත තරලය කියන්නේ. (PRP ) මේ තරලයේ රෝම කූප වර්ධනය කරන වර්ධිත සංඝඨක ඇතුළු විශේෂ පෝෂක අන්තර්ගත වෙන නිසා එය සියුම්ව හිසට එන්නත් කිරීමෙන් නැවත හිසකෙස් වර්ධනය කර ගන්නට පුළුවන්. නමුත් මේ ප්‍රතිකර්මය කරන්නට නම් රෝග ලක්ෂණ මතු වූ වහාම ප්‍රතිකර්ම සඳහා යොමුවීම වැදගත් වෙනවා.
මේ ජානමය තත්ත්වය පාදක කරගෙන ඇතිවන නළල දෙපස හිසකෙස් ගැලවීයාම හෝ ඉහත සඳහන් කළ හෝර්මෝන ගැටළු හෝ ලෙඩ රෝග තත්ත්වයන් හැරුණාම සාමාන්‍ය තත්ත්වයකදී පහත සඳහන් සත්කාර මගින් ඔබට විසඳුමක් ලබා ගන්නට පුළුවන්.
නළල දෙපස හිසකෙස් ගැලවී යාමට පිළියම්
ඔලිව් තෙල් ඔලිව් තෙල් මේස හැදි 2ක් අරගෙන සුළු වේලාවක් රත්කර ගන්න. ඉන්පසුව මේ ඔලිව් තෙල් නලළ දෙපස ප්‍රදේශයේ හොඳින් ආලේප කර විනාඩි 15 ක් පමණ සම්බාහනය කරන්න. වැඩි වශයෙන් නළල දෙපස ප්‍රදේශය සම්බාහනය කරන්න. ඉතිරි තෙල් හිසේ ගල්වා විනාඩි 30 කින් පමණ සල්ෆේට් අඩංගු නොවන ෂැම්පු වර්ගයක් භාවිතයෙන් සෝදා හරින්න. මේ සත්කාරය සතියකට වාර තුනක් පමණ සිදු කිරීම ප්‍රමාණවත්.
මෙමගින් කේශ මූලවලට රුධිර සංසරණය හොඳින් සිදුවෙන නිසා හිසකෙස් වර්ධනය උත්තේජනය වෙනවා.
ළූණු හිසකෙස් වර්ධනය සඳහා සුදු ළූණු වගේම බී ලූණුත් සුදුසුයි. නමුත් වැඩි වශයෙන් මේ සඳහා බී ළූනු භාවිතයට ගනු ලබනවා. ළූනු යුෂ මේස හැදි එකක් ගෙන නළල ආසන්නයේ හිසකෙස් නොමැති ස්ථානවල ආලේප කර සම්බාහනය කර විනාඩි 15 ක් සිටින්න. පසුව මෘදු ෂැම්පු වර්ගයක් භාවිතයෙන් හිස සෝදා හරින්න. මේ සත්කාරය සතියකට වාර දෙකක් හෝ තුනක් කිරීම ප්‍රමාණවත් . ළූණු ක්ෂුද්‍ර ජීවින් හා දිලීර ආදිය විනාශ කරන නිසා රුධිර සංසරණයත් ක්‍රමවත් වෙනවා.

පොල්තෙල් පොල්තෙල් මේස හැදි 2 ක් ඩබල් බොයිල් කරගෙන නළල දෙපස වගේම හිස් කබලේ හොදින් ආලේප කර විනාඩි 15 ක් පමණ හොඳින් සම්බාහනය කර විනාඩි 30 කින් සෝදා හරින්න. මෙය රාත්‍රියේ සිදුකර පසුදා සෝදා හැරියත් ගැටළුවක් වෙන්නේ නැහැ. මේ සත්කාරයත් සතියකට වාර තුන හතරක් පමණ සිදු කරන්න. පොල් තෙල් හිසට අවශ්‍ය කරන පෝෂක හොඳ ලබාදෙන නිසා හිසකෙස් වර්ධනය වේගවත් කරන්නට සමත් වෙනවා.
කෝමාරිකා නැවුම් කෝමාරික ජෙල් තේ හැන්දක් ගෙන එය නළල දෙපස හොඳින් ආලේප කර පැයක කාලයක් සිටින්න. ඉන්පසුව මෘදු ෂැම්පු වර්ගයක් භාවිතයෙන් සෝදා හරින්න. සතියකට වාර තුනකට වඩා ශැම්පු භාවිතා නොකර මේ සත්කාරය සතියකට වාර 4 ක් පමණ සිදු කරන්න.
කෝමාරිකා සතුව ඇති සුවිශේෂී විටමින් වර්ග හිසකෙස් වර්ධනය සඳහා විශාල දායකත්වයක් සපයනවා. නැවුම් කෝමාරිකා මේ සඳහා වඩාත්ම සුදුසු වුණත් නැවුම් කෝමාරිකා නොමැති නම් වෙළදපොලෙන් කොමාරිකා ජෙල් මිලට ගන්නත් පුළුවන්.
හරිත තේ මේ සඳහා හරිත තේ බෑග් 2 ක් සහ උණු ජලය කෝප්පයක් අවශ්‍ය වෙනවා. උණු ජලය කෝප්පයකට හරිත තේ බෑග් බහා පොගවා ගෙන සිසිල් කර ගන්න. එසේ සිසිල් වූ පසුව මේ ටී බෑග් පෙගවූ ජලය නළල අවට ප්‍රදේශයේ ආලේප කර විනාඩි 30 ක් තිබෙන්නට හැර මෘදු ෂැම්පු වර්ගයක් භාවිතයෙන් සෝදා හරින්න. මේ සත්කාරයත් සතියකට වාර 3 ක් පමණ සිදු කරන්න. හරිත තේ සතු ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා හානි වූ සෛල නැවත සකස් කර හිසකෙස් වර්ධනය නැවත ඇති කරන්නට සමත් වෙනවා.