නිතර ඇතිවෙන කොන්දේ කැක්කුම මඟින් හෙළි කරන බරපතල රෝග

health tips

කොන්දේ කැක්කුම වයස් භේදයකින් තොරව බොහෝ අය පීඩා විදින රෝගී තත්ත්වයක්. ඉතාම වේදනාකාරී මේ කොන්දේ කැක්කුම නිසා කායික වගේම මානසිකවත් බොහෝ අය පීඩා විදිනවා. ඒ නිසාම අපේ දෛනික වැඩ කටයුතු සාර්ථකව කරගන්නට නොහැකි වෙනවා. ඇතැම් විට බොහෝ අය “මේ වැඩ කරපු නිසා වෙන්න ඇති” කියලා මේ කොන්දේ වේදනාව අමතක කර දමනවා.ඇතැම් අය අතිශයින් බියට පත්වෙලා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා. සාමාන්‍යයෙන් අධික වැඩ කටයුතු නිසා යම් කොන්දේ වේදනාවක් ඇතිවීම ස්වාභාවික වුණත් ඇතැම් විට ඒ කොන්දේ වේදනාව ඔබගේ ශරීරයේ සැඟවී ඇති දරුණු රෝගයක් පිළිබඳව හඟවන ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම කොන්ද ආශ්‍රිතව ඇතිවන භයානක තත්ත්වයන් වන කොඳු නාරටියේ ස්නායුවල පවතින ගෙඩි හෝ කොඳු ඇට පෙළට විෂබීජ ඇතුල්වීම ආදී තත්ත්වයන් මේ කොන්දේ කැක්කුම පිළිබඳව නොසලකා හැරීමෙන් අපට මගහැරී යන්නට තියෙන හැකියාව වැඩියි. ඒ නිසා මේ කොන්දේ වේදනාව ඇතිවීම පිළිබඳව කතා කරන්නටයි සූදානම් වෙන්නේ.

කොන්දේ කැක්කුම මිනිස් ශරීරයේ කොන්ද ආශිත ප්‍රදේශයේ ඇතිවන ආසාදන තත්ත්වයන් නිසා ඇතිවෙනවා. බහුලවම අසන්නට ලැබෙන මේ කොන්දේ වේදනාව යම් අයෙකුට තමන්ගේ ජීවිතයේදී ඇතිවෙන්නට හැකි සම්භාවිතාව 80% ක්. ඉතින් සමස්ත ලෝකයේම වයස අවුරුදු 50 ඉක්මවීමට පෙර සිටම තරුණ වයසේ අය පවා මේ කොන්දේ වේදනාවෙන් පීඩා විදිනවා.

මේ කොන්ද කියන්නේ අස්ථි සමූහයකින් නිර්මාණය වුණු කශේරුකාව කියන අවයවයට.මේ කශේරුකාවේ ප්‍රධාන කාර්ය වෙන්නේ ශරීරය ඍජුව තබා ගැනීම සහ චලනයන් සඳහා උපකාරී වීම.මේ කාර්යය සඳහා ශක්තිය ලබා දෙන්නේ කශේරුකාව අවට පිහිටා තියෙන මාංශපේශීන් මගින්.බොහෝ අය අද කොන්ද ආශ්‍රිත මාංශ පේශී වර්ධනය කරගැනීමට අවධානය යොමු කරන්නේ නැහැ.ඒ නිසාම මාංශපේශීවල ශක්තිමත් බව නොමැතිවීම වැරදි ඉරියව්වලින් බර ඉසිලීම වගේ ක්‍රියාකාරකම් නිසා අනවශ්‍ය බරක් කොන්ද වෙත යොමුවෙලා කොන්ද ආශ්‍රිත මාංශපේශීවල තන්තු ඇදීම හා හන්දිපත්වලට වැඩි පීඩනයක් එල්ලවීම ඇති වෙනවා. මේ නිසා ඇතැම්විට කශේරුකා අතර පිහිටා තියෙන ජෙලි හැඩයෙන් යුක්ත කශේරුකා මඩල එයින් බැහැරට වුණත් පැමිණෙන්නට පුළුවන්. විවිධ හේතු සාධක මත ඇතිවන කොන්දේ කැක්කුම කොටස් තුනකට වර්ග කරනු ලබනවා.

  • ඇකියුට් බැක්පේන්- සති 6 ක් පමණ ගතවීමෙන් පසුව සුවවන සහ සුවකරගත යුතු වේදනාව.
  • සති 6 කට වඩා ඇති දීර්ඝ කාලයක් පැවතිය හැකි කොන්දේ වේදනාව 
  • ක්රොනික් බැක්පේන්- සති 12 ට වඩා ඇතිවන කොන්දේ වේදනාව. මේ සඳහා සාර්ථක ලෙස ප්‍රතිකාර නොකළහොත් සදකාලිකව මේ කොන්දේ වේදනාව පවතින්නට පුළුවන්.

කොන්දේ කැක්කුම ඇතිවිය හැකි ආකාර  

  • යම් දරුණු රෝගයක ලක්ෂණයක් ලෙස
  • ඔස්ටියෝ පොරෝසීස් කියන ඇට කටු දිරීමකදී 
  • වකුගඩු රෝගයකදී 
  • අමාශයේ ආබාධවලදී 
  • මුත්‍රාශයේ රෝග තත්ත්වයන්වලදී 
  • ෂුසුම්නාවේ අස්ථි අතර සියුම් ඩිස්ක්වල තියෙන ජෙල්වල වෙනස්වීමවලදී  
  • එදිනෙදා කටයුතුවලදී හැසිරෙන වැරදි ඉරියව් හා වැරදි ක්‍රියාකාරකම් 

විශේෂයෙන්ම ඉද ගැනීම, නිදා ගැනීම, ව්‍යායාම් කිරීම ආදී සෑම අවස්ථාවකදීම වගේ අපි නිවැරදි ඉරියව්වලින් තොරවීම මේ කොන්දේ වේදනා ඇති වෙන්නට මූලිකවම බලපානු ලබනවා. අපේ වැරදි ඉරියව් නිසා කොන්දේ පේශීවලට වගේම ස්නායුවලට ඇතිවන තෙරපුම අපිට වේදනාවක් ලෙසට දැනෙනවා. 

  • වැරදි ආකාරයෙන් බර ඉසිලීම 
  • එකම ඉරියව්වක දීර්ඝ වේලාවක් වාඩි වී සිටීම.

කොන්දේ කැක්කුම නොසලකා හැරිය යුතු නොවන අවදානම් සහිත පුද්ගලයන්.

  • හදිසි අනතුරකට හෝ වැටීමට ලක් වූ අය 
  • පිළිකා රෝගයකින් පීඩා විදින අය 
  • දියවැඩියා රෝගීන් 
  • ප්‍රතිශක්තිය හීන කරන ඖෂධ භාවිතා කරන අය (වකුගඩු බද්ධ කළ අය )
  • කොන්දේ කැක්කුම් සමඟ උණ සහ ඇඟේ අප්‍රාණික බව ඇති අය 
  • කකුලේ හෝ ඇගිල්ලක දැනීමේ අඩුපාඩුවක් හෝ දැනෙන්නේම නැති අය

කොන්දේ වේදනාව ඇතිවන ස්වභාවය අනුව රෝගය හඳුනා ගැනීම 

  • කොන්දේ වේදනාව කකුල දෙසට විහිදීයාම, කොන්දේ කැක්කුම සමඟ සිරුරේ අවයවයක ඇතිවන කෙණ්ඩා පෙරලීම, කොන්දේ කැක්කුම සමඟ පාද හිරිවැටීම – ස්නායුවල තෙරපීම සමඟ ඇතිවන රෝගයක් හඟවයි.
  • නිතර ඇතිවන කොන්දේ කැක්කුම – මානසික රෝගයකින් පෙලෙන බව හඟවයි. 

කොඳු ඇටපෙල ආශ්‍රිත දරුණු රෝගයකදී කොන්දේ කැක්කුමේ ස්වභාවය සාමාන්‍ය කොන්දේ කැක්කුමකට වඩා මෙවැනි දරුණු රෝගයක් ඇතිවිට අපිට දැනෙන කොන්දේ වේදනාව ටිකක් වෙනස්.විශේෂයෙන්ම මේ වේදනාව කොඳුඇට පෙළ ආශ්‍රිතව එනම් බෙල්ල පිටුපස උරපතු දෙක අතර සහ පිට මැද ඇතිවෙන්නට පුළුවන්.විශේෂයෙන්ම මේ තත්ත්වය ඇති වෙන්නේ රෝගියා නිදාසිටින විට. සාමාන්‍ය කොන්ද කැක්කුමක් සමඟ නින්දට යන රෝගීයා නැවත පැය කිහිපයකින් අවදි වන්නේ ඉතා අධික කැක්කුමක් සමඟ.පසුව නින්දෙන් අවදිව පුටුවක වාඩිවී සිටීමෙන් එහාට මෙහාට ටිකක් ඇවිදීමෙන් මගහැරී යනවා. මෙය රාත්‍රියේදී පමණක් නොවෙයි දහවල් කාලයේදීත් ඇති වෙන්නට පුළුවන්.

මේ ආකාරයට කොන්දේ වේදනාව ඇති වන්නේ අස්ථිවලින් සැදුණු කුහරයක් වන කොඳු ඇට පෙළ හරහා ස්නායු නාලය ගමන් කිරීමෙන්. ගෙඩියක් හෝ විෂබීජයක් නිසා යම් ඉදිමීමක් ඇතිවුණොත් මේ ඉඩකඩ සීමාවීමෙන් රුධිර සංසරණය වගේම පීඩනයත් වෙනස් වෙනවා. මෙවැනි තත්ත්වයක් මුල් අදියරේදී හඳුනා නොගැනීම නිසා අවසානයේ අතක් කකුළක් පණ නැතිවන මට්ටමටම වර්ධනය වෙනවා. ඒ නිසා කොන්දේ කැක්කුම සුළුවට ගත යුතු නැහැ.

කොන්දේ කැක්කුමකදී අප කළ යුතු දේ 

  • වැරදි ඉරියව්වලින් ඈත්වීම.
  • නිවැරදි ඉරියව් භාවිතා කිරීම 
  • අනවශ්‍ය බර ඉසිලීම්වලින් වැළකීම 
  • නිසි උපදෙස් මත ව්‍යායාම්වලට යොමුවීම.

බොහෝවිට කොන්දේ කැක්කුම සඳහා විශේෂිත හේතුවක් හඳුනා ගන්නට නොහැකියි. ඒ නිසා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂා කරවාගෙන ප්‍රතිකාර ගත යුතු වෙනවා. ඇතැම් විට මේ සඳහා ශල්‍ය කර්මයන් ද සිදු කිරීමට සිදුවන අවස්ථා ද පවතිනවා.