බඩගින්නක් නොමැතිව නිතර නිතර ආහාර ගැනීමට හේතු 9 ක්

health tips

අපේ මොළය ප්‍රීතියෙන් පිනා යන්නට බලපාන හේතු අතර එකක් තමයි අපි ආසා කරන ආහාරයක් කෑමට ලැබීම. ඉතින් අපි හැමෝම රසවත් කෑම වර්ග කන්න කැමතියි නේ. නමුත් අද බෝහෝවිට දකින්නට හැකි කාරණයක් තමයි කුසගින්න නැති වුණත් බොහෝ අය නිතරම යම්කිසි ආහාරයක් ගැනීමට පුරුදු වී සිටීම. ඉතින් ඔබටත් ඇතැම්විට මේ පුරුද්ද ඇති. නමුත් ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් නොවුණා වෙන්නට පුළුවන්. නිතරම කුමක් හෝ ආහාරයක් සපන්නට කැමැත්තක් ඇති වෙන්නේ ඇයි ?. එය රෝගයක යම් ලක්ෂණයක් ද. අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ නිතර නිතර කුසගින්නක් නැතිවම කුමක් හෝ දෙයක් ආහාරයට ගැනිමට සිතීම ලෙඩක් ද නැද්ද යන කාරණාව පිළිබඳවයි.  

කුසගින්නක් නොමැතිව නිතර නිතර ආහාර ගන්නට පුරුදුවෙලා ඉන්න අය අතරින් කුසගින්නට ආහාර නොගෙන කුසගින්න දරා සිටින අයත් ඕනෑතරම්. ආහාර ලබා ගන්නට අපිට කුසගින්න කියන සංවේදනය ඇති වෙන්නට ඕන.නමුත් මේ බඩගින්න මගහැරීම නිසා ශරීරයේ ශක්තිය දුර්වල විම, ආමාශයේ යම් යම් අපහසුතා ඇතිවීම, හිස කැක්කුම ඇතිවීම වගේම මිග්‍රේන් වගේ ඉතා දරුණු තත්ත්වයන් පවා ඇති වෙන්නට පුළුවන්.

අද වෙද්දි පර්යේෂණවලට අනුව අපේ මොළයට ඇතිවන ප්‍රීතිමත් හැඟීම් ඇති කරන්නට අවශ්‍ය කරන බොහෝ හෝර්මෝන වර්ග නිෂ්පාදනයට ආහාර මාර්ගයේ ජීවත් වන දිලීර සහ බැක්ටීරියා උදව් කරන බව අනාවරණය කරගෙන තියෙනවා.මිනිස් ශරීරයේ ආමාශයේ විශාල ප්‍රමාණයක් දිලීර සහ බැක්ටීරියා ජීවත් වෙනවා. නමුත් අපි සිදු කරන යම් යම් වැරදි ක්‍රියා නිසා ඒ බැක්ටීරියා හා දිලීරවල ක්‍රියාකාරිත්වයට බාධා ඇතිවෙනවා. ඒ කියන්නේ අපේ තෘප්තිමත් හැඟීම් නැතිව යන අවස්ථා. ඒ වගේ අවස්ථාවක තමයි අපිට නිතරම යමක් ආහාරයට ගන්නට සිතන්නේ. මොකද ඒ තෘප්තිය ප්‍රීතිය නැවත ලබා ගැනීම සඳහා.

ප්‍රධාන ආහාරවේල්වලට අමතරව නිතර නිතර යමක් ආහාරයට ගන්නට ඇතිවන හැඟීම ඇති වෙන්නට බලපාන හේතු 

ආහාර අපේ ශරීරයට අවශ්‍ය ඇයි කියන කාරණය දැන සිටියත් නොදැන් සිටියත් ශරීරය ආහාර ඉල්ලන නිසා අපිට ඒ සඳහා පෙළඹීමක් ඇති වෙනවා. මේ පෙළඹීම ඇති වෙන්නට හේතු කිහිපයක්ම බලපානු ලබනවා. නමුත් ඒ කාරණා පුද්ගලයාගේ සමාජ පසුබිම තරාතිරම අනුව ජීවත් වන රට රටවල්වලට අනුවත් වෙනස් වෙන්නට පුළුවන්.

ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන නොලැබීම ප්‍රෝටීන් මගින් ආමාශය පිරුණු ස්වභාවයක් ඇති කරනු ලබනවා.ප්‍රෝටීන ජීර්ණය කිරීම සඳහා යම් දීර්ඝ කාලයක් ගත වෙනවා. එසේ ජීර්ණයට ගන්නා වේලාව වැඩි නිසා බඩගින්න දනවන හෝර්මෝන ශ්‍රාවය කිරීම පමා කරනු ලබනවා. ඒ විතරක් නොවෙයි කාබෝහයිඩ්රේටයක් වගේ දෙයක් ආහාරයට ගත්තොත් ශ්‍රාවය වන ඉන්සියුලින් ඉහළ ගියත් මේ ප්‍රෝටීන ඒ දේවල්වලට ඉන්සියුලින් ඉක්මනින් ඉහළ යාම  සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒ හේතුව නිසා ප්‍රෝටීන වැඩිපුර ලබා ගත්තට ගැටළුවක් නැහැ. 

ප්‍රමාණවත් නින්දක් නොලැබීම නින්ද මිනිසාට වගේම සත්ත්වයාටත් අත්‍යවශ්‍ය සාධකයක්. බඩගින්න ඇතිකරන හෝර්මෝනය ශ්‍රාවය කිරීම අඩු කරන්නට නින්දට හැකියාව පවතිනවා. ඒ වගේම සුවදායි නින්දක් ලැබුණු පසුව ඇතිවන ප්‍රීතිය නිසා ප්‍රීතිය දනවන හෝර්මෝනත් වැඩි කරන්නට නින්දට හැකියාව ලැබෙනවා. ඒ නිසා හොඳ නින්දක් ලබා ගැනීම නිතර නිතර යමක් ආහාරයට ගැනීම මගහරවා ගන්නට පුළුවන්.

අධිකව පිරිසිදු කළ පිටි මේවායේ ඇති අඩු තන්තු ගතිය නිසා ඉතා ඉක්මනින් ජීර්ණය කරනු ලබනවා. ඒ නිසා රුධිරයේ ඇති සීනි මට්ටම  ඉහළ යනවා. මෙසේ ඉහළ ගිය සීනි මට්ටම අඩු කිරීමට ශරීරයේ ඇති ඉන්සියුලින් මට්ටම ඉතා ඉක්මනින් වැඩි වෙනවා.ඒ වැඩිවන ඉන්සියුලින් මගින් වැඩිවුණු සීනි මට්ටම යථා තත්ත්වයට පත්කරන්නට උත්සාහ කරනු ලබනවා. නියම මට්ටම අබිභවා රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීම නියම ප්‍රමාණයට වඩා සීනි මට්ටම අඩුවීම ආදී වශයෙන් මෙසේ සීනි විශාල වශයෙන් ඉහළ පහළ යාමක් සිදුවුණොත් විශේෂයෙන්ම සීනි මට්ටම පහළ ගියොත් අපිට බඩගින්නක් ඇති වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ක්ෂණික ආහාරවලින් වැළකී සිටීම නිතර යමක් ආහාරයට ගැනීමට ඇති අවශ්‍යතාවය නැති කර දමන්නට සමත් වෙනවා.

ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම ජලයේ ශක්තිජනක ආහාර සංඝටක අඩංගු වෙන්නේ නැහැ. නමුත් අපිට ජලය පානය කිරීමට පිපාසයක් ඇති වූ විට ඒ වෙනුවට ජලය පානය නොකර පලතුරු බීම, පැණි බීම සීනි දැමූ තේකක් ආදී වෙනත් පානයක් ගන්නට පුරුද්දක් නැත්නම් ජලයත් සමඟ ශක්තිජනක සංඝටකත් ශරීරයට ඇතුළු වෙනවා. ජලය වෙනුවට වෙනත් පානයන් ලබා ගැනීම වගේම අනවශ්‍ය ලෙස ජලය පානය කිරීමත් බොහෝ ගැටළු ඇති කරන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා.

මේදමය ආහාරවල අඩුව ජීර්ණයට වැඩි වේලාවක් ගත කරන නිසා මේදමය ආහාරයක් ගත්විට ආමාශයේ පිරුණු ස්වභාවයක් ඇති කරනවා. ඒ නිසා නිතර නිතර ආහාර ගැනීම වළක්වා ගන්නට මේ මේදමය ආහාරයක් ගැනීම වරදක් නැහැ. නමුත් මේදමය ආහාර සොයා යන්නට අවශ්‍ය නැහැ. අපි ගනු ලබන ප්‍රෝටීන් අඩංගු ආහාරවල මේදමය කොටස් යම් ප්‍රමාණවලින් අන්තර්ගතව පවතිනවා.

මානසික එකඟ බව නැතිව ආහාර ගැනීම අද අපි බොහෝදෙනා පිරුණු මනසකින් මානසිකව සුවයකින් ආහාර ගන්නේ නැහැ. වෙනත් කල්පනාවකින් මානසික ආතතියකින් තමයි ආහාර ගනු ලබන්නේ. කාර්යාලයේදී, රිය පදවන විට, රූපවාහිනිය නරඹන ගමන් හෝ දුරකථන සංවාදයක යෙදෙමින් තමයි ආහාර ගන්නට අපි බොහෝදෙනා පුරුදුවෙලා ඉන්නේ. නමුත් අපි ආහාර ගත යුත්තේ ශරීරයට අපි ආහාර ගන්නා බව හැඟවෙන ආකාරයට. ආහාර ගැනීමට වැඩි කාලයක් ලබාදෙන්න. එවිට වැඩිපුර ආහාර ගන්නට ඇතිවන අවශ්‍යතාවයත් මගහැර ගන්නට පුළුවන්.

තන්තු අඩු ආහාර ගැනීම අප ගන්නා ආහාරවල තන්තු බව අඩු නම් ඉතා ඉක්මනින් ජීර්ණය කරන නිසා එවිට ඉතා ඉක්මනින් කුසගිනි ඇතිවෙනවා. ඒ නිසා තන්තු බහුල ආහාර ගැනීම ජීර්ණයට යම් වේලාවක් ගන්න නිසා කුසගිනි නිතර ඇති කරන්නේ නැහැ.

මධ්‍යසාර භාවිතය ශරීරයේ තෘප්තිමත්භාවය ඇති කරන ලෙප්ටිනන් කියන හෝර්මෝනය ශ්‍රාවය කිරීම අඩු කරන්නට මධ්‍යසාර හේතුවෙනවා. ඒ නිසාම බොහෝඅය කෑමට පෙර වැඩිපුර කෑම ගන්නට මධ්‍යසාර ස්වල්පයක් ගන්නට පුරුදුවෙලා ඉන්නවා. නමුත් එය එතරම් හිතකර පුරුද්දක් වන්නේ නැති බවයි වෛද්‍ය මතය වන්නේ.

ආතතියෙන් වැඩ කිරීම නිතර මහන්සියෙන් වැඩ කරන අය නොව තෘප්තියෙන් තොරව ආතතියෙන් වැඩ කරන අයට නිතර නිතර යමක් කන්නට අවශ්‍ය වෙනවා.

ඖෂධ වර්ග මානසික ආතතියට, දියවැඩියා රෝගයට ගන්නා ඖෂධ වගේම නිතර නිතර ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීමත් නිතර යමක් ආහාරයට ගන්නට අපව පොළඹවනු ලබනවා.

නිතර නිතර ආහාර ගැනීමන් නිසා ඇතිවන බලපෑම් අද බොහෝදෙනා පීඩා විදින දියවැඩියාව, අධි රුධිර පීඩනය, ස්ථුලතාවය, කොලෙස්ටරෝල් පිළිකා ආදී රෝග බොහොමයකටම නිතර නිතර ආහාර ගැනීම හේතුවෙලා තියෙනවා. නිතර ආහාර ගැනීමට හේතුවන සාධක වළක්වා ගෙන අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වේලාවට පමණක් ආහාරයට ගැනීම නීරෝගිමත් දිවියකට ඉතා වැදගත් වන කාරණාවන්‍ වෙනවා.