අපි බොහොමයක් එළවළු පිසීමෙන් අනතුරුව තමයි ආහාරයට ගන්නේ. නමුත් එළවලු පලා වර්ග පිසීමෙන් අපේ ශරීරයට ඕන කරන විටමින් ආදිය විනාශ වෙන බවත් ඔබ දන්නවා ඇති. ඇතැම් ආහාර තියෙනවා පිසීමට වඩා අමුවෙන් ආහාරයට එකතු කර ගැනීමෙන් වඩාත් හොඳ ප්‍රතිලාභ ලබාගන්නට හැකියාව තියෙන.
මානව ශිෂ්ටාචාරයේ පරිණාමය ගැන විමසා බැලුවොත් මානවයා මුල්කාලීනව ගින්දර සොයාගන්නට කලින් කොළ වර්ග,පලා සහ අල වර්ග මස් ආදිය ආහාරයට ගත්තේ අමුවෙන්. ඉතින් ඒ නිසා මිනිසුන් වුණු අපිට අමුවෙන් ආහාර ගන්නවා කියන එක අලුත් දෙයක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ බහුලව දකින්නට නැතත් ලෝකය පුරා පැතිර යන අලුත්ම කලාවක් තමයි අමුවෙන් ආහාර ගන්නා එක. ඇතැම් ආහාර පිසිනවාට වඩා වැඩි ගුණයක් අමුවෙන් ගැනීම තුළින් අපිට ලබාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද අපිට බහුලවම අසන්නට ලැබෙන රෝග බොහොමයකින් වැළකෙන්නත් අමුවෙන් ආහාර ගැනීම හේතු වෙනවා.

අද වෙද්දි විවිධ රසකාරක, කුළුබඩු, තෙල් වර්ග එකතු කරල විවිධ රූප සූප ශාස්ත්‍ර ක්‍රමවේදවලට අනුව ආහාර පිස ගෙන දිව පිනවන්නට ආහාර ගත්තත් අපේ වැරදි ආහාර පුරුදු නිසා දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෘදයාබාධ ආදී මෙකී නොකී ලෙඩ රෝග බොහෝමයක්ම ඇති වෙන්නට වැඩි අවදානමක් තියෙනවා. ඉතින් ඒ නිසා සෑම ආහාරයක්ම පිස ගැනීමෙන් අනතුරුව ගත යුතු යැයි නියමයක් නැහැ. වැඩි ගුණයක් අපේ ශරීරයට ලැබෙන ආකාරයට ඒ ඒ ආහාර සුදුසු ආකාරයට සකසා ගැනීමයි අපි කළ යුත්තේ.
ඒ නිසා අපි ගන්නා ආහාරවලින් අවම වශයෙන් සියයට තිහක් පමණ හෝ අමුවෙන් ගන්නට හැකියාව තියෙනවා නම් එය ඔබට නිරෝගීව ජීවත් වෙන්නට අනිවාර්යෙන්ම හේතුවක් වෙනවා. ඒ නිසාවෙන් අද අපි සිතුවා නිතර හැදෙන ලෙඩ රෝගවලින් වැළකිලා ඉන්නට ඒ ඒ අවස්ථාවලදි අපි ගත යුතු ආහාර පිළිබඳව ඔබව දැනුවත් කරන්නට.
මලබද්ධයට
ලෙඩ රෝග බොහොමයකට හේතුවෙන මලබද්ධය ඉතා දරුණු තත්ත්වයක්. එයින් මිදෙන්නට හොඳින් ඉදුණු බෙලිගෙඩියකට සීනි ටිකක් දමා අමුවෙන් ආහාරයට ගන්න. ජූස් එකක් විදියට ආහාරයට ගන්නවට වඩා මේ විදියට ආහාරයට ගන්න පුළුවන් නම් ඒ අපහසුවෙන් ඔබට පහසුවෙන් මිදෙන්න පුළුවන්.
ඒ වගේම හොඳින් ඉදුණු තක්කාලි ගෙඩියක් ගෙන සෝදා ගෙන පෙති කපාගෙන බත් සමඟ ආහාරයට ගන්න.
ඇඟ කැසීම සහ පලු ඇතිවීමට
මේ සඳහා බත් ආහාරයට ගනිද්දී ළපටි පොල් ගෙඩියකින් ගා ගත් පොල් ටිකක් බත් එකට එකතු කරගන්න. එහෙම නැත්නම් සමපෝෂ වගේ දෙයක් අලුතින් ගාගත්ත පොල් සමග මිශ්‍ර කර ආහාරයට ගන්න.
අධි රුධිර පීඩනයට
බෝ නොවන රෝග අතරින් ඉහලින්ම තියෙන මේ රෝග තත්ත්වයට මෙන්න මේ පිළියම ඔබට වැදගත් වේවි. අමු බීට් අලයක් අරගෙන එය තරමක කැබලි වලට කපා ගෙන බීට් පෙත්ත බැගින් ආහාරයට ගන්න.

ශරීරය උෂ්ණත්වය පාලනයට
ශරීරයේ අධික උෂ්ණත්වය ලෙඩ රෝග බොහොමයකටම හේතුවක් කියන කාරණාව ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති. වඳභාවය ඇති කරන්නත් හේතුවෙන ශාරීරික උෂ්ණත්වය අධික වීම නොසලකා හැරිය යුත්තක් නෙවෙයි. මේ තත්ත්වයෙන් ඉතාම පහසුවෙන් මිදෙන්න මෙන්න මේ විදියට උත්සාහ කරලා බලන්න පුළුවන්.
පිපිඤ්ඤා ගෙඩියක් අරගෙන සෝදාගෙන මදය සමගම කපාගන්න. එයට ගම්මිරිස් ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් ඉස දිනපතාම දවල් කාලයේදී ආහාරයට ගන්න. අවශ්‍ය නම් පමණක් පොත්ත ඉවත් කරන්නත් පුළුවන්. නැත්නම් පොත්ත සමඟ ආහාරයට ගන්නත් පුළුවන්. දිනපතාම මධ්‍යම ප්‍රමාණයේ පිපිඤ්ඤා ගෙඩියක් මේ විදියට ආහාරයට එකතු කර ගත්තොත් ඇඟේ තියන උෂ්ණත්වය පාලනය කර ගන්නට ඉතා පහසුවෙන් හැකියාව ලැබෙනවා.
වයස්ගතවීමත් සමඟ ඇතිවෙන ඇඟ පත අමාරුවට
බී ළූණු ගෙඩියක් කපා බත් සමග අමුවෙන් ආහාරයට ගන්න. මේ සඳහා වෙන කිසිවක් එකතු කරන්නට එපා.

අධික ලෙස මහන්සි වීම නිසා ඇතිවන ඇඟපත අමාරුවට
ශරීරය වෙහෙස වූ අවස්ථාවක ඉදුණු කෙසෙල් ගෙඩියක් ආහාරයට අරගන්න. හැකි නම් ඉන්පසුව උණුසුම් කිරි වීදුරුවක් පානය කරන්න.
ඇස්වල පෙනීම බොඳවීමට
කැරට් ගෙඩියක් ගෙන එහෙත් හොඳින් සෝදා ගන්න නමුත් එහි සිවිය ඉවත් නොකර ගෙඩිය පිටින්ම ආහ් ආහාරයට ගන්නවා දිනපතාම කැරට් අමුවෙන් ආහාරයට ගැනීමෙන් ඇතිවන රෝග තත්ත්වයන් බොහොමයක් වලක්වාගන්නට හැකියාව ලැබෙනවා.
ඇඟපතේ මලානික බවට
අධික ලෙස ඇඟපත මලානික වුණු අවස්ථාවක හොඳින් ඉදුණු රට ඉඳි හතරක් පහක් අමුවෙන් ආහාරයට ගැනීමෙන් ඒ තත්ත්වය මඟ හරවා ගන්නට අපිට පුළුවන්. ඒ විතරක් නෙවෙයි සීනි එකතු නොකළ තේ එකක් පානය කරන්නට හැකි නම් එයාත් මේ මලානික බව නැති කරගන්නට උදව් වෙන ක්ෂණික විසඳුමක්.
ඒ වගේම දිනපතාම උදෑසන හෝ දවල් ආහාරයෙන් පසුව ඉදුණු අලිගැටපේර ගෙඩියකට කිසිවක් එකතු නොකර ආහාරයට ගැනීමෙන් ශරීරයේ දුර්වල බව ඇගට පණ නැති බව නැතිකර ගන්නට පුළුවන්.
මාසික ඔසප්වීමේදී ඇතිවන යටි බඩ වේදනාවට
කපාගත් අන්නාසි පෙති කිහිපයක් අමුවෙන් ආහාරයට ගන්න. එය මාසික ඔසප් වීම නිසාම ඇතිවන යටි බඩේ වේදනාවට ඉතාම ගුණදායකයි.
බොහෝ දෙනෙක් අමුවෙන් ආහාරයට ගන්නට පුළුවන් ආහාර පවා පිසගෙන ආහාරයට ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම අමුවෙන් රසවත්ව ආහාරයට ගන්නට හැකි පළතුරු වර්ග ජූස් වශයෙන් පිළියෙල කරගෙන භාවිතයට ගන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත් නිතර ඇතිවන ශාරීරික අපහසුතාවලින් මිදෙන්නට ඉහත සඳහන් කරපු එළවළු සහ පලතුරු ඔබට තෝරා බේරාගෙන ආහාරයට ගන්නට පුළුවන්. ඒ පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න