පිත්තාශයේ ගල් හටගෙන ඇති බව පෙන්නුම් කරන රෝග ලක්ෂණ 8 ක්

health tips

අද අපි අතර වඩාත් බහුල රෝගී තත්ත්වයක් තමයි පිත්තාශයේ ගල් සහ මුත්‍රාශය ආශ්‍රිත ගල්.ඉතා දැඩි වේදනාවක් හා පීඩාවක් ගෙනදෙන මේ රෝග තත්ත්වයන් අතුරින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ පිත්තාශයේ ඇතිවන ගල් පිළිබඳව. රෝගය කල්ගත වී හඳුනා ගැනීමත් ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබා නොගැනීම නිසාත් බොහෝ රෝගීන් මහත් පීඩාවට පත්වෙලා සිටිනවා. ඒ නිසාම අනෙකුත් සෑම රෝගයක් සේම මුල් අවධියේදි හඳුනා ගැනීම එය සුව කරගැනීමට වගේම පහසුවෙන් පාලනය කරගන්නටත් මහත් උපකාරයක්. 

පිත්තාශයේ ගල් ඇතිවෙන හැටි 

This image has an empty alt attribute; its file name is gal-1-1024x524.jpg

මිනිස් ශරිරයේ පවතින පිත්තාශය ආහාර මාර්ගයට අයිති එක් සම්බන්ධිත ඉන්ද්‍රියක්. අක්මාව ආශ්‍රිතව පිත වැඩිපුර ගබඩා කර ඇත්තේ පිත්තාශයේ.මේ පිත්තාශයේ තියෙන්නේ අහාරයේ අඩංගු වෙන මේදය ජීර්ණයට සඳහා අක්මාව නිපදවන පිත දියරය.ඒ නිසා මේදය හෝ ප්‍රෝටීන් අඩංගු ආහාරයක් ගත් විට පිත්තාශය සංකෝචනය වී සිය නාල ඔස්සේ ආහාර මාර්ගයට මුදා හරිනු ලබනවා. පිත්තාශ ගල්  නැත්නම් ගෝල්ස් ටෝන්ස් කියන්නේ පිත්තාශය තුළ ඇතිවන ගල් කැට වැනි විශේෂයක්. 

මේ ගල් ඇතිවෙන්නේ මේ පිත දියරය තුළ ඇති කොලෙස්ටරෝල් සහ බිලිරුබීන් කියන (අපද්‍රව්‍යක්) දෙවර්ගය  පමණ ඉක්මවා පැවතීම නිසා.ඒ වගේම පිත්තාශය මුළුමනින්ම හිස් නොවුණොත් ඉතිරි වන පිත සාන්ද්‍ර වී කැටි ගැසීමෙන් තද බවට පත්වෙනවා. මේ පිත්තාශයේ ඇතිවන ගල් සාමාන්‍යයෙන් එහි පතුලේ ඇතිවන නිසා බොහෝවිට රෝගය හඳුනා ගන්නට හැකියාව ලැබෙන්නේ කාලයක් ගත වූ පසුව. ඒ නිසා රෝග ලක්ෂණයක් හෝ පිටතට දකින්නට ලැබෙන්නේ නැහැ. එවැනි පිත්තාශ ගල් නිහඬ ගල් විදියටයි හඳුන්වනු ලබන්නේ. මේ නිහඬ ගල් සඳහා කිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය නොවන බවයි සඳහන් වෙන්නේ. නමුත් යම් ආකාරයකින් පිත්තාශයේ ගලක් පිත්තාශයේ පිටතට විවෘත වන ස්ථානයට පැමිණ පිත්ත ප්‍රණාල අවහිර කරමින් හිර වුණොත් දැඩි වේදනාවක් අපිට දැනෙන්නට පුළුවන්.

ඇතැම්විට මේ සිර වූ ගල ආහාර මාර්ගයට ඇතුළුවීම හෝ පිත්තාශය තුළටම හැලී යන්නට පුළුවන්.එසේ නොමැතිව මේ පිත්තාශ ගලක් අග්න්‍යාශයට හෝ අක්මාවට ගමන් කරන නාලයක් වුණත් අවහිර කරන්නට පුළුවන්. එවැනි අවස්ථාවලදී ඒ ඉන්ද්‍රියන් ප්‍රදාහයට පත් වෙන්නට පුළුවන්. මෙය සංකීර්ණ තත්ත්වයක් ලෙසයි සලකනු ලබන්නේ.

විශේෂයෙන්ම වයස අවුරුදු 50-60 ඉක්මවා යාම සමඟ ඇතිවිය හැකි මේ රෝග තත්ත්වය බහුලවම දක්නට ලැබෙන්නේ කාන්තාවන් අතරයි. නමුත් ළමා වැඩිහිටි ඕනෑම වයසක අයෙකුට මේ පිත්තාශයේ ගල් ඇතිවෙන්නට පුළුවන්.

රෝග ලක්ෂණ 

  • පිත්තාශයේ ගල් තිබියදී බොහෝවිට රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ.පිත්තාශයේ යම් යම් කර්තව්‍යයන්ට යම් අවහිරතාවයක් සිදු වුණත් පමණක් රෝග ලක්ෂණ මතුවෙනවා.
  • හදිසියේ උදරයේ ඉහළ පෙදෙසෙන් ඇතිවන වේදනාව.පසුව එය පපුවේ පහළ පෙදෙස හා පිට දෙසට විහිදී යාම.
  • උදරයේ දකුණු පැත්තේ වේදනාව පිටකොන්ද ප්‍රදේශය දක්වා විහිදී යාම 
  • මේ වේදනාවන් පැය 1-5 පමණ කාලයක් වගේම මිනිත්තු කිහිපයක් පමණක් පවතින්නට පුළුවන්. වේදනාව දිගටම පවතිනවා. වැසිකිලි යාමෙන් හෝ එය සමනය වෙන්නේ නැහැ.ඇතැම්විට රාත්‍රියේ නින්දේදී වුවත් ඇතිවිය හැකි මේ දරුණු වේදනාව මේදමය ආහාර ගැනීමෙන් වැඩි වෙනවා.
  • ඇතැම් විට පිත්තාශය තුළ ඇතිවන ගල් පිත්ත නාලය ඔස්සේ පහළ බඩවැල දක්වා ගමන් කරනු ලබන අතර එසේ පැමිණෙන  නිසා පිත්ත නාලය අවහිර වුණොත් සීතලවීම, වමනය, වෙව්ලීම, හෘද ස්පන්දනය වේගවත් වීම, ආහාර අරුචිය, සම කැසීම පිත් උගුරට ඒම වැනි තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. 

පමා නොවී වෛද්‍යවරයෙක් හමුවිය යුතු අවස්ථා 

  • පැය 5 ට වඩා වැඩි කාලයක් එකදිගට පවතින බඩේ කැක්කුම මේ උදර වේදනාව කුමන ඉරියව්වකින් සිටියත් සමනය වෙන්නේ නැහැ.
  • ඒ සමඟ ඇතිවන වමනය සහ ඔක්කාරය 
  • තද උණ ගතිය  
  • හිරිගඩු පිපීම 
  • ඇස් , නියපොතු ඇතුළත සම හා මුත්‍රා  කහ පැහැයෙන් පිටවීම

රෝගියා කහ පැහැයක් ගන්නේ පිත්තාශයේ ගලක් පිත නාලය දිගේ පහළට පැමිණ අවහිරවීමෙන් අක්මාවේ නිපදවෙන පිත බඩවැල්වලට ගෙනයාමට නොහැකි වීමෙන්.එවිට පිතේ සංඝටක ලේවලට මිශ්‍රවීමෙන් රෝගියා කහ පැහයක් ගන්නවා.පිත නාල අවහිරවීමෙන් විෂබීජ පැතිරයාම බරපතල තත්ත්වයක් වන අතර නිසි ප්‍රතිකාර නොකළොත් ජීවිත අවදානමට වුණත් ලක් වෙන්නට පුළුවන්. 

අවදානම් පුද්ගලයන් 

  • පිත්තාශයේ ගල් ඇති ලඟම පවුලේ සාමාජිකයෙක් සිටී නම්  
  • දරුවන් සිටින් කාන්තාවන් 
  • උපත් පාලන පෙති භාවිතා කරන කාන්තාවන් හෝ ඉහළ මාත්‍රාවකින් ඊස්ට්‍රජන් ප්‍රතිකාර ලබා ගන්නා කාන්තාවන් 
  • තරබාරු පුද්ගලයන් 
  • වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන් 
  • සිරුරේ බර අඩු කරන සැත්කමකින් හෝ කෑම පාලනයෙන් මෑතකදී බර අඩු කරගත් අය 
  • ප්‍රතිජීවක් ඖෂධ භාවිතා කරන පුද්ගලයන් 

ප්‍රතිකාර ඇතැම්විට රෝගියාගේ රෝග ලක්ෂණ වැඩි නම් හෝ නිතර නිතර ඇති වන්නේ නම් පිත්තාශය සැත්කමකින් ඉවත් කරනු ලබනවා.සාමාන්‍යයෙන් පිත්තාශය අත්‍යවශ්‍ය අවයවයක් නොවන නිසා එය ඉවත් කිරීමෙන් පසුව වුණත් සාමාන්‍ය  ජීවිතයක් ගත කරන්නට පුළුවන්. මේ සැත්කම නිර්වින්දනය කර විනාඩි 60- ක් 90 ක කාලයක් තුළ සිදු කරනු ලබනවා.පිත්තාශය ඉවත් නොකර ප්‍රතිකාර සිදු කිරීමෙන් පසුව නැවත නැවතත් ගල් ඇති වෙන්නට පුළුවන්.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 16 ට වඩා අඩු දරුවෙකුට පිත්තාශයේ ගල් ඇතිවී තිබුණොත් රෝග ලක්ෂණ නොමැතිව වුණත් පිත්තාශය ඉවත් කරනු ලබනවා. 

දීර්ඝ කාලයක් රෝග ලක්ෂණ සහිතව පිත්තාශයේ ගල් තිබීමෙන් පිත්තාශයේ පිළිකා වුණත් ඇති වෙන්නට පුළුවන්.විශේෂයෙන්ම සෙන්ටිමීටර 1.5 වඩා වැඩි ප්‍රමාණයේ ගල් තිබීමෙන් එවැනි පිළිකා වර්ධනය විය හැකියි.

ඒ හැරුණාම පිත්තාශයේ ගල් තිබීම පිත්තාශය පැසවීමට අග්න්‍යාශය ප්‍රදාහයට පත්වීම ,පිත්තාශයේ ගල් පිත නාලය අවහිර කිරීමෙන් අක්මාවේ හැදෙන පිත බඩවැල්වලට ගෙන යාමට නොහැකිවීම ආදී  තත්ත්වයන් ඇතිවෙන්නට පුළුවන්.ඒ නිසා හැමවිටම රෝගියාට මරණය පවා ළගා කරදෙන්නට පුළුවන්.