බොහෝ රෝග තත්ත්වයන් අපිට ජීවිතය පවා අහිමි කරන්නේ ඒ රෝග කල්තියා හඳුනාගෙන ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබා ගන්නට ඇති නොහැකියාව නිසා. විශේෂයෙන්ම යම් රෝගයක මූලික ලක්ෂණ එකක් දෙකක් පහළ වුණු විටෙක ඒවා එතරම් සැලකිල්ලට බඳුන් නොකර සිටීමෙන් ඉතා අවාසනාවන්ත ඉරණම්වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. තවත් අවස්ථාවක ඒ ඒ රෝග ගැන පුද්ගලයන් තුළ කිසිම දැනුමක් නොමැතිවීම නිසා ඒ රෝග තත්ත්වයන් වඩාත් බරපතළ වෙන්නට පුළුවන්.
කාන්තා පුරුෂ බාල මහලු බොහෝ දෙනෙක් ගොදුරු වෙන රෝග තත්වයක් තමයි පිත්තාශයේ ගල්. ඉතින් අපි අද කතා කරන්නේ පිත්තාශයේ ගල් හට ගැනීමක් හඳුනා ගන්නට උදව් වෙන ලක්ෂණ පිළිබඳව. ඒවා ගැන නිසි අවබෝධයකින් යුක්ත වුණොත් ඒ රෝග උග්‍ර වෙන්නට පෙර අදාළ ප්‍රතිකාර සිදු කිරීමෙන් ඒ රෝග තත්ත්වයන් සුව කර ගන්නට පුළුවන්.
මිනිස් ශරීරයේ පවතින පිත්තාශය ආහාර මාර්ගයට අයිති එක් සම්බන්ධිත ඉන්ද්‍රියක්. අක්මාව ආශ්‍රිතව පිත වැඩිපුර ගබඩා කර ඇත්තේ පිත්තාශයේ.මේ පිත්තාශයේ තියෙන්නේ අහාරයේ අඩංගු වෙන මේදය ජීර්ණයට සඳහා අක්මාව නිපදවන පිත දියරය.ඒ නිසා මේදය හෝ ප්‍රෝටීන් අඩංගු ආහාරයක් ගත් විට පිත්තාශය සංකෝචනය වී සිය නාල ඔස්සේ ආහාර මාර්ගයට මුදා හරිනු ලබනවා. පිත්තාශ ගල් නැත්නම් ගෝල්ස් ටෝන්ස් කියන්නේ පිත්තාශය තුළ ඇතිවන ගල් කැට වැනි විශේෂයක්.
අතිරික්ත කොලෙස්ටරෝල් හෝ පිත්තාශ ලවණ වලින් සෑදෙන තද ස්ඵටිකරූපි බෝල පිත්තාශයේ ගල් කුඩා ප්‍රමාණයේ ඉඳලා ටෙනිස් බෝලයක් තරම් විශාල ප්‍රමාණයක් දක්වා වෙනස් වෙන්නට පුළුවන්. පිත්තාශ ලවණ, හෝමෝනවල වෙනස් වීම, විවිධ ඖෂධ, තරබාරුව, වැරදි ආහාර රටාවන් ආදිය හේතු කරගෙන පිත්තාශය ගල් ඇති වෙන්නට පුළුවන්.

මේ ගල් ඇතිවෙන්නේ මේ පිත දියරය තුළ ඇති කොලෙස්ටරෝල් සහ බිලිරුබීන් කියන (අපද්‍රව්‍යක්) දෙවර්ගය පමණ ඉක්මවා පැවතීම නිසා.ඒ වගේම පිත්තාශය මුළුමනින්ම හිස් නොවුණොත් ඉතිරි වන පිත සාන්ද්‍ර වී කැටි ගැසීමෙන් තද බවට පත්වෙනවා. මේ පිත්තාශයේ ඇතිවන ගල් සාමාන්‍යයෙන් එහි පතුලේ ඇතිවන නිසා බොහෝවිට රෝගය හඳුනා ගන්නට හැකියාව ලැබෙන්නේ කාලයක් ගත වූ පසුව. ඒ නිසා රෝග ලක්ෂණයක් හෝ පිටතට දකින්නට ලැබෙන්නේ නැහැ.
රෝග ලක්ෂණ පිත්තාශයේ ගල් තිබියදී බොහෝවිට රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ.පිත්තාශයේ යම් යම් කර්තව්‍යයන්ට යම් අවහිරතාවයක් සිදු වුණත් පමණක් රෝග ලක්ෂණ මතුවෙනවා.මුල් අවධියේ දී ගෑස්ට්‍රයිටිස් රෝගයේ දී ඇතිවන බඩ පිපුම, බඩ දැවිල්ල, උගුරට ඒම සහ බඩ පිම්බීම ආදී රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.
- හදිසියේ උදරයේ ඉහළ පෙදෙසෙන් ඇතිවන වේදනාව පසුව එය පපුවේ පහළ පෙදෙස හා පිට දෙසට විහිදී යාමක් අත්විදින්නට පුළුවන්.
- උදරයේ දකුණු පැත්තේ වේදනාව පිටකොන්ද ප්‍රදේශය දක්වා විහිදී යාම මේ වේදනාවන් පැය 1-5 පමණ කාලයක් වගේම මිනිත්තු කිහිපයක් පමණක් පවතින්නට පුළුවන්. වේදනාව දිගටම පවතිනවා. වැසිකිලි යාමෙන් හෝ එය සමනය වෙන්නේ නැහැ.ඇතැම්විට රාත්‍රියේ නින්දේ දී වුවත් ඇතිවිය හැකි මේ දරුණු වේදනාව මේදමය ආහාර ගැනීමෙන් වැඩි වෙනවා.
- උරහිස් තල අතර පිටුපස වේදනාව ඇතැම් විට පිත්තාශය තුළ ඇතිවන ගල් පිත්ත නාලය ඔස්සේ පහළ බඩවැල දක්වා ගමන් කරනු ලබන අතර එසේ පැමිණෙන නිසා පිත්ත නාලය අවහිර වුණොත් සීතලවීම, වමනය, වෙව්ලීම, හෘද ස්පන්දනය වේගවත් වීම, ආහාර අරුචිය, සම කැසීම, පිත් උගුරට ඒම වැනි තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්.
- අක්මාව තිබෙන ප්‍රදේශයේ වේදනාවන් නිසා අග්න්‍යාශය සහ අක්මාව ඉදිමීම
- ඉඳහිට ඇතිවන උදරයේ වේදනාව
- ඇස් කහ වීම
- මුත්‍රා තද දුඹුරු පැහැයක් ගැනීම
- විටින් විට ඇතිවන උදරයේ කැක්කුම සමග පිත්තාශයේ ඉදිමීමඑවිට රෝගියාට උණ සමඟ අධික වේදනාවක් ඇති වෙනවා. මේ පිත්තාශය ඉදිමීම සඳහා නිවැරදි ප්‍රතිකාර නොකළොත් භයානක තත්ත්වයක් දක්වා වුණත් වර්ධනය වෙන්නට පුළුවන්. එවිට විශාල වුණු පිත්තාශය පුපුරා යාම සිදු වෙනවා. එවැනි අවස්ථාවකදී පිත්තාශය පිපිරීමට පෙර ප්‍රථම සැත්කමක් මගිඟින් පිත්තාශය ඉවත් කිරීම මගින් ජීවිත අවධානම නැති කරගන්න පුළුවන්.
වෙනත් සංකූලතා

සෙංගමාලය පිත්තාශයේ ගලක් පිත නාලය දිගේ පහළට පැමිණ අවහිර වූ අවස්ථාවකදී අක්මාවේ නිපදවෙන පිත බඩවැල්වලට ගෙනයාමට හැකියාවක් ලැබෙන්නේ නෑ. පිතේ සංඝටක ලේවලට මිශ්‍ර වීම නිසා රෝගියා කහ පැහැ ස්වභාවයට පත්වෙනවා. පිත නාල අවහිර වීමෙන් විෂබීජ පැතිර යාම ජීවිත අවධානමකට පවා හේතුවක්. පිත්තාශ ගල් මගින් ප්‍රධාන පිත්ත නාලය අවහිර වීමක් සිදු වුනොත් සෙංගමාලය ආදී තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. මේ නිසා උදරයේ වේදනාවක් ද ඇති වෙනවා.
අග්න්‍යාශය ඉදිමීමට පටන් ගැනීම පිත නාලය දිගේ පහළට පැමිණෙන ගලක් අග්න්‍යාශ නාලය සහ පිත නාලය යන දෙකම කුඩා බඩවැලේ දෙවැනි කොටසට විවර වෙන පොදු විවරයේ දී අග්න්‍යාශ නාලය අවහිර කළොත් අග්න්‍යාශ ප්‍රදාහය ඇති වෙන්නට පුළුවන්. එය ඉතා බරපතළ රෝග තත්ත්වයක්
පමා නොවී වෛද්‍යවරයෙක් හමුවිය යුතු අවස්ථා
- පැය 5 ට වඩා වැඩි කාලයක් එකදිගට පවතින බඩේ කැක්කුම මේ උදර වේදනාව කුමන ඉරියව්වකින් සිටියත් සමනය වෙන්නේ නැහැ.
- ඒ සමඟ ඇතිවන වමනය සහ ඔක්කාරය
- තද උණ ගතිය
- හිරිගඩු පිපීම
- ඇස් , නියපොතු ඇතුළත සම හා මුත්‍රා කහ පැහැයෙන් පිටවීම
ප්‍රතිකාර ඇතැම්විට රෝගියාගේ රෝග ලක්ෂණ වැඩි නම් හෝ නිතර නිතර ඇති වන්නේ නම් පිත්තාශය සැත්කමකින් ඉවත් කරනු ලබනවා.සාමාන්‍යයෙන් පිත්තාශය අත්‍යවශ්‍ය අවයවයක් නොවන නිසා එය ඉවත් කිරීමෙන් පසුව වුණත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට පුළුවන්. මේ සැත්කම නිර්වින්දනය කර විනාඩි 60- ක් 90 ක කාලයක් තුළ සිදු කරනු ලබනවා.
පිත්තාශය නොමැතිව ශරීරය පවත්වාගෙන යන්නට ශරීරය හැඩ ගැසෙන්නට මාසයක පමණ කාලයක් ගත වෙනවා. ඒ නිසාවෙන් ඒ කාලය තුළ තෙල් සහිත ආහාර ගැනීමෙන් වැළකී සිටීම ඉතා වැදගත්. ඇතැම් රෝගීන්ට ඒ සුළු කාලයේදී බඩ බුරුලට යාම, බඩ පිපීම වගේ රෝග ලක්ෂණ ඇතිවීමට හැකියාව තියෙනවා.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 16 ට වඩා අඩු දරුවෙකුට පිත්තාශයේ ගල් ඇතිවී තිබුණොත් රෝග ලක්ෂණ නොමැතිව වුණත් පිත්තාශය ඉවත් කරනු ලබනවා.
පිත්තාශ ගල් ඖෂධ මගින් ඉවත් කිරීමට කටයුතු කළොත් නැවත ගල් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. නමුත් සැත්කම් සිදු කිරීම මගින් පිත්තාශ ගල් නැවත හට ගැනීමක් සිදු වෙන්නේ නැහැ.