දරුඵල නැති අයට දරුඵල ලාබදෙන ගස් නිවිති සතු රෝග සුව කිරීමේ ගුණ 20 ක්

health tips

අපි නිරන්තරයෙන්ම ආහාරයට ගන්නා සාම්ප්‍රදායික එළවළු හැරුනහම බොහෝ දෙනෙක්ට අමතක වෙන බොහෝ දෙනෙක්ට මග හැරෙන අපූර්ව ඖෂධීය ගුණයන්ගෙන් යුක්ත පැළෑටි මේ මිහිතලයේ ඕනෑතරම්. ඒවායේ ගුණයන් පිළිබඳව අප තුළ සැලකිය යුතු තරමේ  අවබෝධයක් නැති නිසාවෙන්ම එවැනි වටිනා කියන ඖෂධීය ශාකයන් අපේ බත්පතට එකතු වෙන්නේ නැතිම තරම්. ඇතැම් ඒවා වල් පැළෑටි ලෙස සලකා විනාශ කරන්නෙත් මෙන්න මේ අනවබෝධය නිසාවෙන්මයි. ඉතින් අපි අද කතා කරන්නේ කැලේට හැදෙන බොහෝ දෙනෙක්ට අගයක් නැති නමුත් සුවිශේෂී ගුණ සහිත එළවළුවක් ගැන.

 ඒ තමයි ගස් නිවිති. නිවිති අපි නිතරම එළවළුවක් විදිහට පලාවක් විදිහට ආහාරයට එකතුකර ගන්නා පැළෑටියක්. බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ වැල් වශයෙන් වැවෙන නිවිති වර්ගය පමණයි. නමුත් ඉබේ හැදෙන සුලභව දකින්නට ලැබෙන ගස් නිවිති ආහාරයට ගන්නා බවක්වත් ඇතැම් අය දන්නේ නැහැ. ඒ නිසා  අපි අද කතා කරන්නේ මෙන්න මේ ගස් නිවිති සතු විශිෂ්ට ගුණ ගැන .

 මේ ගස් නිවිති විවිධ පළාත්වල විවිධ විවිධ නම්වලින් හඳුන්වනවා. ඒ රට නිවිති, ගල් නිවිති, කදුරු නිවිති සහ ගොම නිවිති වශයෙන්. මේ කුමන නාමයකින් හැඳින්වුවත් මේ ශාකය බොහෝ දෙනෙක් දන්නා හඳුනන ශාකයක්. 

මේ ශාකය ඉතා පහසුවෙන් හඳුනා ගන්නත් හැකියාව තියෙන මේ ශාකය  විශාල පළාතකම ඉතාම වේගයෙන් ව්‍යාප්ත වෙන පැළෑටියක්. අපේ රටේ විතරක් නෙවෙයි, වෙනත් ඇතැම් රටවල මේ ගස් නිවිති පාරම්පරික ඖෂධයක් විදිහට ආහාරයක් විදියට විතරක්ම නෙවෙයි ගෙවතු අලංකාරණයටත් භාවිතයට ගැනෙනවා. මොකද මේ ශාකයේ දම් පැහැයෙන් යුක්ත හරි අපූරු මලක් හට ගන්නා නිසා අපූරු සුන්දර බවකුත් නැත්තෙම නැහැ.ඉතින්  මේ ශාකය ඕනෑම නිසරු බිමක වුණත් හරි ඉක්මනින් සරුවට හැදෙනවා.

සාමාන්‍යයෙන් අඩියක් දෙකක් පමණ උසට වැඩෙන මේ ශාකය වර්ධනයත් එක්ක අතු බෙදෙමින් පදුරක් ආකාරයට තමයි වර්ධනය වෙන්නේ. ලා කොළ පාට මාංසල ගතියකින් යුක්ත කඳක් සහිත මේ ශාකය කල්ගත වෙද්දී මෝරන තත්ත්වයට පත්වෙනවා. එවිට මේ ගසේ පැහැය රතු පාටට හැරෙනවා. මෙහි හටගන්නා දම් පැහැති මල පෙති පහකින් යුක්තයි. ඒ මලේ මැද අග්‍රයේ කහ පැහැති රේණු කිහිපයක් දකින්නට ලැබෙනවා. මල මියයාමෙන් පසුව ළා කොළ හා ළා කහ මිශ්‍ර පැහැයකින් පුංචි ගෙඩියක් හට ගන්නවා .එහි තරමක් පැතලි කළු  පාට බීජ බොහොමයක් දකින්නට ලැබෙනවා.

මේ ගස් නිවිති ශාකයේ යකඩ, කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, මැංගනීස්, කෝපර්,තන්තු, ප්‍රෝටීන,   ඔමේගා ත්‍රී  මේද අම්ල, රයිබොප්ලෙවින්, නියැසින්, තයමින්, විටමින් a, විටමින් c  සහ විටමින්  බී  ආදී පෝෂක අන්තර්ගත වෙනවා. ඒ වගේම මේ ගස් නිවිති බැක්ටීරියා සහ. දිලීර  නාශක ගුණයෙන් ද පරිපූර්ණයි .

මේ ගස් නිවිති කිරට, තෙලට, අදී ඕනම ආකාරයකට ආහාරයට ගන්නට පුළුවන්. කොස් ඇට සමග අර්තාපල් සමග පරිප්පු සමග හරි අපූරු ව්‍යංජනයක් විදියට වගේම කොළ මැල්ලුමක් ලෙසටත් කලවම් පලාවටත් ගස් නිවිති හරි අගේ  ඇති කෑමක්.ඒ විතරක්ම නෙවෙයි මේ ගස් නිවිති කොළ කැඳ පිළියෙල කර ගැනීමේදීත් ඔබට භාවිතා කරන්නට පුළුවන්. 

ඒ වගේම මේ ශාකයේ යුෂ පානයට එකතුකර කරගන්නට පුළුවන් ඖෂධයක් විදියට. ඒ වගේම මේ ශාකයේ මුල් පවා විවිධ ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර විදිහටත් භාවිතයට ගැනෙනවා. ඉතින් ඒ නිසාවෙන් ගස් නිවිති කියලා කියන්නේ මිල කරන්න බැරි අපූරු ගුණ රාශියක් සහිත අපූරු පැළෑටියක්. නිවිතිවල යකඩ බහුල වුණත් මේ ගස් නිවිතිවල යකඩවලටත් වඩා වැඩි පෝෂක ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.

 ගස් නිවිති ආහාරයට ගැනීමෙන්  ශරීරයට ලැබෙන ප්‍රතිලාභ

  • ශරීරයේ දුර්වල බව නැතිකර ශරීර ශක්තිය වර්ධනය කරනවා.මේ ශාකය එළවලුවක් විදිහට පිලියළ කර ආහාරයට ගන්නවා වගේම මෙහි යුෂ පානයක් විදිහට සකසා ආහාරයට ගන්නටත් හැකියාව තියෙනවා.  එය ශරීරයට ශක්තිජනක පානයක් විදිහට විශාල දායකත්වයක් ලබා දෙනවා .
  • ශරීරයේ ඉදිමුම් ඇති කරන අනවශ්‍ය දියර වර්ග පිටකර හරින්නට දායක වෙනවා.
  • මුත්‍රාවල දුර්ගන්ධය නැති කිරීම ඇතුළු මුත්‍රා ගැටලු සමනයට උදව් වෙනවා.
  • පෙණහලු ආශ්‍රිත රෝග සුවපත් කරනවා.
  • අක්මාවේ සහ වකුගඩුවල නිරෝගී බව පවත්වා ගන්නට දායක වෙනවා.
  • ප්ලීහාවේ ඇතිවෙන රෝග තත්ත්වයන් සුව කරනවා.
  • දරුඵල අහිමි අයට දරුඵල ලබාදීමට උදව් වෙනවා.විශේෂයෙන්ම මේ ගස් නිවිති ශාකය වාජීකරණ ගුණ සහිත ශාකයක් විදිහටයි සැලකෙන්නේ. ඒ විතරක්ම නෙවෙයි නෙවෙයි  පිරිමින්ට දරුඵල නැතිවීම කියන ගැටලුවටත් ප්‍රතිකාර කරන්නට මේ ශාකයේ පත්‍ර වගේම මුල් භාවිතා කරනවා.
  • දියවැඩියා රෝගීන්ට ගුණදායකයි.
  • අධි රුධිර පීඩනය සුවපත් කරගන්නට උදව් වෙනවා. 
  • ආර්තව දෝෂ දුරු කරන්නට උපකාරී වෙනවා.
  • විශේෂයෙන්ම මාසික ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවීමේ තත්ත්වයන්වලදී ගස් නිවිති ආහාරයට ගැනීම ඉතාම සුදුසුයි
  • ලිංගික  ශක්තිය වර්ධනයට සහය වෙනවා-ගස් නිවිතිවල මුල් යුෂ වශයෙන් සකසාගෙන මී පැණි සහ ගිතෙල් සමග ලබාදීමෙන් මේ ගැටලුව සමනය කර කරගන්නට හැකියාව ලැබෙන බව සඳහන් වෙනවා.
  • පුරස්ථි ග්‍රන්ථියේ ඉදිමුම සුව කරනවා.මේ සඳහා මේ ශාකයේ මුල් තම්බා ගෙන තේ පානයක් ලෙස ලබා ගැනීම සුදුසු බව සඳහන්.
  • අමිලපිත්ත රෝගය සුවපත් කරනවා.බොහෝ දෙනෙක් පීඩා විඳින ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයට ක්ෂණික සහනය ලබා දෙන්නට මේ ගස් නිවිති ශාකයේ යුෂවලට අපූරු හැකියාවක් තියෙනවා. මේ ගස් නිවිති ශාකයේ කොළවල යුෂ අරගෙන මී පැණි සමග පානයට ලබාදීම පමණයි කළ යුතු වෙන්නේ.
  • සම වියපත් වීම පමා කරමින් සමේ ඇති ලප කැළැල් දුරු කරන්නට උදව් වෙනවා.
  • ශරීරය ඇතිවන තුවාල සහ ඉදිමුම් ඉක්මනින් සුව කරන්නට දායක වෙනවා
  • නිරක්තියට ගුණදායකයි.
  • රුධිරයේ ඇති අනවශ්‍ය මේදය දියකර හරින්නට උදව් වෙන නිසාවෙන් කොලෙස්ටරෝල් රෝගීන්ට ඉතාමත් ගුණදායකයි.
  • හදවත් රෝග පාලනය කරනවා.
  • ඇසේ සුද ඇතිවීම ඇතුළු ඇස්වල රෝග තත්ත්වයන් සුව කිරීමට දායක වෙනවා.
  • උදරය  ආශ්‍රිත රෝගාබාධවලින් ආරක්ෂාව සලසනවා.
  • මළබද්ධය නැති කරනවා.
  • අර්ශස් රෝගීන්ට ගුණදායකයි.
  • අස්ථි සහ දත් ශක්තිමත් කරනවා.
  • ඔස්ටියෝපොරෝසිස්, ආතරයිටිස් ඇතුළු අස්ථි සම්බන්ධ ලෙඩ රෝග සුවපත් කරන්නට උදව් වෙනවා.
  • ඉරුවාරදය  පාකින්සන්  ආදී රෝග ගණනාවක් පාලනයට උදව් වෙනවා.
  • පිළිකා සෛල මර්දනය කරනවා.

 ගස් නිවිතිවල  ප්‍රතිඔක්සිකාරක බහුල නිසා පිළිකා සෛල මර්දනය කරන්නට විශේෂ හැකියාවක් ඇති බව සඳහන්. ගෙවත්තේ ඉබේ වැවෙන වස විසෙන් තොර පැළෑටියක් නිසා මේ ආහාරය බයක් නැතුව අපිට ආහාරයට ගන්නට ඇති හැකියාව මෙහි මූලික වාසියක්. මෙයින් අපේ ශරීරයට ලැබෙන සුපිරිම පෝෂණය තවත්  වාසියක් .ඒ හැරුනහම අපි සාමාන්‍යයෙන් මස් වර්ග ආදිය ආහාරයට ගනිද්දී ශරීරයට යකඩ ආදිය ලැබෙන්නේ මේදයත් එක්ක. නම්මුත්  මේ ගස් නිවිති ආහාරයට ගනිද්දී මේදය රහිතව අපේ ශරීරයට ඕන කරන යකඩ ප්‍රමාණය පහසුවෙන්ම ලබා ගන්නට පුළුවන්. මේ ගස් නිවිති අපේ ශරීරයට කුමන ආකාරයකට එකතු කරගත්තත්  අපේ ශරීරයට දෛනිකව අවශ්‍ය වන යකඩ ප්‍රමාණය 35% ක ප්‍රමාණයකින් ලබාගන්නට හැකියාව තියෙන බව ඔබ දැනගත යුතුයි.

මෙය ඖෂධයක් ලෙස ඔබ භාවිතයට ගන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.