සුව නොවෙන ගැස්ටික් නිට්ට්වටම සුව කරන කෙසෙල් බඩ සතු ගුණ 22 ක්

health tips

අද නගරබදව ජීවත් වෙන අය විතරක් නෙවෙයි  ග්‍රාමීය පරිසරයක ජීවත්වෙන අයවත් ආහාරයට නොගන්නා නමුත් අපේ පැරැන්නන් මසකට දෙතුන් වතාවක් ආහාරයට එකතු කර ගත් හරි අපූරු ගුණදායක ආහාරයක් ගැන තමයි ඔබව දැනුවත් කරන්නට යන්නේ. දවසින් දවස නොයෙකුත් ලෙඩ රෝග නිසා පීඩා විඳින ගණන වැඩි වෙද්දි ඒවා හේතු කරගෙන මියයන සංඛ්‍යාව දවසින් දවස වැඩි වෙද්දි වස විස නැති ගුණදායක එළවළු පලා වර්ග ගැන අපේ දැනුම පුළුල් කර ගන්න එක ඇත්තටම කාලින අවශ්‍යතාවයක්. ඒ නිසාවෙන්ම අපි අද කතා කරමු කෙසෙල් බඩ මාළුව ගැන.

අපේ පැරැන්නන් හැම ගහ කොළකින්ම වගේම උපරිම ඵල ප්‍රයෝජන ලබා ගත්තා. කොස් ගස,  පොල් ගස ආදියෙන් වගේම කෙසෙල් ගසෙන් පවා ඔවුන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගත්තා. කෙසෙල් කැන කපලා  ඉවත් කරන කෙසෙල් කඳ ඔවුන් රසවත් ආහාරයක් විදිහට දරු මල්ලන් සමග රසවත්ව පිළියෙල කරගෙන භුක්ති වින්දා. ඉතින් මෙය සැබැවින්ම සුපිරිම ආහාරයක්. අනර්ඝ ඖෂධයක්.  සාමාන්‍යයෙන් කෝලිකුට්ටු සහ අලු කෙසෙල් බඩ තමයි ආහාර සකසා ගැනීම සඳහා භාවිතයට ගන්නේ. නමුත් කෙසෙල් බඩ මාලුවක් සඳහා සීනි කෙසෙල්, ඇඹුල් කෙසෙල් ආදියේ  බඩ වුණත් භාවිතා කරන්නට පුළුවන්

 කෙසෙල් බඩවලින් ව්‍යංජන, චිප්ස්, සලාද , මැල්ලුමක් ආදිය සකසා ගන්න පුළුවන්. ඒ වගේම වඩේ සාදන්නත්  සුප් විදිහට වගේම කිරි සමග පානයක් විදිහටත් ගන්නට පුළුවන්.  ඉතින් ගෘහණියන් විදියට ඔබ මේ අගනා ආහාරය සම්බන්ධයෙන් දැනුවත්වීමයි වඩාත් වැදගත් කාරණාව වෙන්නෙ. මොකද අපේ රටේ උදවියට පහසුවෙන් සපයා ගන්නට හැකියාව තියෙන මේ කෙසෙල් බඩ වටින්නෙ නැති වුණාට උතුරු ඇමරිකානුවන් වගේම යුරෝපීය ජාතික පවා අද වෙද්දි මේ කෙසෙල් බඩ පිටි වශයෙන් සකස් කරගෙන එදිනෙදා ආහාරවලට භාවිතා කරනවා.

ඉතින් හුළඟට කඩාගෙන වැටිලා එහෙමත් නැත්නම් කෙසෙල් කැන කපද්දි බිම හෙලන  නිකරුනේ දිරාපත් වෙන කෙසෙල් බඩයකින් අපේ ශරීරයට අවශ්‍ය කරන පෝෂණය නොමිලේ සපයා ගන්නට රෝගවලින් හොඳ ආරක්ෂාවක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා . ඉතින් එය කොතරම් වටිනවාද? .

 මොකද මේ කෙසෙල් බඩ තන්තු බහුල ආහාරයක්. කැලරි අඩුවෙන් තමයි අන්තර්ගත වෙන්නේ. ඒ හැරුනහම කැල්සියම්, පොටෑසියම්, විටමින් b6, විටමින්  ඒ,  විටමින් සී ආදියත් සැලකිය යුතු මට්ටමකින් අන්තර්ගත වෙනවා. 

 කෙසෙල් බඩ ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ

  • ආමාශගත තුවාල සුව කරනවා.
  • මානසික ආබාධවලට ගුණදායකයි.
  • ශරීරයේ ජල සමතුලිතතාවය ඇති කරනවා.
  • පිළිකා  මර්දනය කරනවා.
  • ආමාශයේ සහ බඩවැල්වල විෂ නසනවා. බඩවැල් පිරිසිදු කරනවා. 
  • නින්ද නොයාමේ ගැටලු සමනයට උපකාරී වෙනවා.
  • හිමොග්ලොබින් නිෂ්පාදනයට දායක වෙනවා.
  • මුත්‍රා ආසාදන, මුත්‍රාශයේ සහ වකුගඩුවල ඇතිවන ගල් ඉවත් කරන්නට දායක වෙනවා.
  • ශරීරයේ උෂ්ණාධික බව සමනය කරනවා.
  • අර්ශස් රෝගීන්ට ඉතාම ගුණදායකයි.
  • අධි රුධිර පීඩනය අඩු කරගන්නට උදව් වෙනවා. 
  • ශරීරයේ බර වැඩිවීම පාලනය කරනවා
  • ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදු කරනවා. ජීර්ණ ක්‍රියාවලිය පහසු කරනවා
  • ශරීරය අනවශ්‍ය මේදය දියකර හරිනවා.
  • මහා අන්ත්‍රයේ පිළිකා ඇති ඇතුළු බඩවැල් ආශ්‍රිත රෝග බොහෝමයකින්ම ආරක්ෂාව සලසනවා.
  • දියවැඩියාව පාලනය කරනවා.
  • මලබද්ධය ඇතිවීම වළක්වනවා.
  • ගැබිනි මව්වරුන්ට ඉතාම ගුණදායකයි.

විශේෂයෙන්ම ගර්භණී සමයේදී ඇතිවන මස්පිඩු පෙරළීම්, මුත්‍රා ආසාදන, මලබද්ධය ආදී අපහසුතා දුරු කරගන්නටත්, ප්‍රසූතිය  පහසු කරන්නටත් වැඩිහිටි උදවිය එකල කෙසෙල්  බඩ මාලුව ගැබිනි මව්වරුන්ට ලබා දුන්නා.  ඒ විතරක් නෙවෙයි දරු ප්‍රසූතියෙන් පසුව ඇතිවන රුධිර වහනයෙන් මිදෙන්නටත්, කිරි වර්ධනය කරන්නටත් කෙසෙල්බඩ කියන්නේ ඉතාම හොඳ ආහාරයක් ,

  • ප්‍රතිශක්තිය වර්ධනය කරනවා.
  • ආයුෂ වර්ධනය කරනවා.

කෙසෙල් බඩ භාවිතයෙන් අත් බෙහෙත් 

ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හැරීම සඳහා කෙසෙල් බඩය වංගෙඩියේ කොටා ගෙන එළකිරි සමඟ හොඳින් රත් කර මී පැණි හෝ සීනි ස්වල්පයක් සමඟ උදෑසන හිස් බඩ පානය කරන්න. මෙයින් ශරීරයේ එකතු වෙලා තියෙන අනවශ්‍ය තෙල් දියකර කැත බඩ අඩු කර ගන්න පුළුවන්. 

මුත්‍රා ගල් සහ වකුගඩු ආශ්‍රිත ගල් දියකර හැරීමට කෙසෙල් බඩ මාළුව ආහාරයට ගැනීමත් ගුණදායකයි. ඒ හැරුනහම කෙසෙල් බඩය කොටා එයට ඉඟුරු යුෂ, කරදමුංගු කුඩු ස්වල්පයක් එකතු කර කිතුල් හකුරු සමඟ මිශ්‍රකර ආහාරයට දීමෙන් මුත්‍රා ගල් දියකර හරින්නට පුළුවන්.  මුත්‍රා මාර්ගය වගේම වකුගඩු පිරිසිදු කරන්නත් මේ ඔසුවට හැකියාව තියෙනවා.

මලබද්ධය සඳහා කෙසෙල් බඩ මිරිකා ලබාගත් යුෂවලට සහිඳ ලුණු දමා පානය කිරීම වගේම කෙසෙල් බඩ මාළුව ආහාරයට ගැනීමත් ගුණදායකයි. 

අමිල පිත්ත රෝගය සඳහා අළු කෙසෙල් බඩ අරගෙන ඒවා පුංචි කැබලිවලට කපා හොඳින් අව්වේ වියළා ගෙන ඇලුමිනියම් හිස් හට්ටියක් ලිප තබා අව්වේ වියළා ගත් කැබලි එයට දමා වහන්තරාවකින් වසා හොඳින් කර වෙන්නට වියළා ගන්න. අඟුරු පදමට කර කරගත් කෙසෙල් බඩ කැබලි හොඳින් කුඩු කරගෙන බෝතලයකට දමා ගන්න.

 බඩේ දැවිල්ල ඇති අවස්ථාවකදී උණුවතුර කෝප්පයකට ඒ චූර්ණයෙන් හැන්දක් දමා පානයට ගන්න. මෙය බාහිරව ඇති වන දද, කුෂ්ඨ හොරි වගේ තුවාලවලටත් ආලේප කරන්නට පුළුවන්. 

අතීසාරය සඳහා අතීසාරය රෝගයෙන් පීඩා විඳින පුද්ගලයන්ට කෙසෙල් බඩය කොටා ලබාගත් යුෂ පානයට ලබාදීමෙන් ඒ තත්ත්වය සුව කරගන්න පුළුවන්. 

අවාසනාවට ලාංකීය අපිට අගය නැති නමුත් රෝග බොහොමයකටම ඉතාම ගුණදායක කෙසෙල් බඩවලින් ව්‍යංජනයක් පිළියෙළ කරගන්නා විදිහත් අපි බලමු.මේ සඳහා කෙසෙල් කඳේ මැද ඇති සුදු පාට කොටසයි භාවිතා කරන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය  

  • මිටි කිරි කෝප්ප 1 ½ 
  • දියකිරි කෝප්ප 2
  • සිහින්ව ලියාගත් රතු ළූනු ගෙඩි 6 ක් 
  • සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 3ක් 
  • සුදු ළූණු බික් 3 ක් 
  •  කරපිංචා 
  • වියළි මිරිස් කරල් 2ක් 
  • අබ තේ හැදි 3 ක් 
  •  සූදුරු කුඩු තේ හැදි 3 
  • මිරිස් කුඩු තේ හැදි 3 
  • කහ කුඩු තේ හැදි 1 
  • රස අනුව ලුණු 
  • ගා ගත් පොල් මිටක් 
  • උම්බලකඩ 
  • පොල් තෙල් 

සාදා ගන්නා ආකාරය 

කොටු හැඩයට තරමක්  කුඩාවට කපාගත් කෙසෙල් බඩ ලුණු මිශ්‍ර කළ ජලයට දමා හොඳින් සෝදා නැවත ජලයෙන් සෝදා ගන්න. එයට කහ, මිරිස් කුඩු, ලුණු, කෑලි කැපූ මිරිස්, ළූණු ස්වල්පයක් ද එකතු කර දියකිරි දමා තම්බා ගන්න.

ඉන්පසුව සූදුරු, අබ හා පොල් එකතු කර හොඳින් අඹරා ගෙන ඒ මිශ්‍රණය තම්බා ගත් කෙසෙල් බඩවලට එකතුකර මිශ්‍ර කරගන්න. එයට මිටි කිරි එකතු කර ලිප තබන්න.ඉන්පසුව බදුනකට තෙල් දමා රත් වූ පසුව එයට තලාගත් සුදුළූණු, රතු ළූණු, කරපිංචා, වියළි මිරිස්, උම්බලකඩ  ආදිය තෙලට දමා තෙම්පරාදු කර ගන්න. එයට කෙසෙල්  ව්‍යංජනය එකතු කර හොඳින් මිශ්‍රකර ගෙන රස බලන්න.