අපි හැමෝම වගේ ලෙඩකදී දුකකදී කරදරයකදී පිහිටක් ආශිර්වාදයක් ලබාගන්නට ක්ෂණයෙන්ම දුවලා යන්නේ පන්සලේ බෝධීන් වහන්සේ ළඟට. සුවඳ පැන්වලින් බෝධීන් වහන්සේ නහවා බෝ මළුව ලස්සනට ඇමදලා හිතේ තියෙන හැම දුකක්ම බෝධීන් වහන්සේට කියලා හිත නිදහස් කරගෙන බෝධි පූජාවකුත් තියලා ආශිර්වාද ලබා ගන්නවා. බෝ මළුවේදී අපේ හිතට දැනෙන සැනසීම කොතරම්ද කියලා ඔබත් හොදාකාරවම දන්නවා ඇති.
ගෞතම බුදුන් වහන්සේට බුද්ධත්වය ලබාගන්නට පිටදුන් බෝධීන් වහන්සේට බෞද්ධයන් විදිහට අපි හැමෝම විශාල වශයෙන් ගෞරව කරනවා. ඒ නිසාම බෝ පතක් පයට පෑගෙන්නටවත් අපි ඉඩ තියන්නේ නැහැ. හිතාමතා බෝධීන් වහන්සේට නියපිටින්වත් හානියක් සිද්ධ කරන්නෙත් නැහැ.
ඉතින් හාස්කම් බොහොමයක් තියෙන මේ බෝ ශාකය අපිට ලෙඩ දුක් සුවපත් කර ගන්නටත් ප්‍රතිකාර විදිහට භාවිතා කරන්නට හැකි බව ඔයා දන්නවද? . බොහෝ දෙනෙක් මේ පිළිබඳව දන්නේ නැතුව ඇති. තවත් අය මේ පිළිබඳව දැන සිටියත් බෝධීන් වහන්සේ කෙරෙහි අප තුළ තියෙන මහත් භක්තිය සහ ගෞරවය නිසාවෙන්ම ප්‍රතිකාර සඳහා මේ ශාකය භාවිතා නොකරන්නටත් ඇති. මොකද අපි කවුරුවත් බෝධීන් වහන්සේ නමකගේ අත්තක්, කොළයක් සිඳින්නට හීනෙන්වත් හිතන්නේ නැති නිසා. එය බරපතල අකුසල කර්මයක් බව අපි හැමෝම දන්නවා.
නමුත් බෝ ගස කියලා කියන්නේ ඖෂධීය වටිනාකමින් ඉතාම ඉහළ අගයක් ගන්නා වටිනා ශාකයක්. බෞද්ධාගමිකයන් විදිහට එය භාවිතයට ගන්නට අකමැත්තක් දැක්වුවත් බෝ ශාකයේ කොළ, දළු ,පොතු, ගෙඩි, මල් වගේම කිරි කියන සියල්ලම දේශීය වෙදකමේ දී ඖෂධ විදියට භාවිතයට ගැනෙනවා. නමුත් මේ සඳහා ඔබ වන්දනාමාන කරන පන්සලේ තියෙන බෝ ගස භාවිතා කරන්නට හොඳ නැහැ.
නිරන්තරයෙන් වන්දනාමාන කරන බෝධීන් වහන්සේගේ පත්‍ර ගෙඩි පොතු ආදිය මේ විදිහට ප්‍රතිකාර සඳහා භාවිතා කිරීම සම්බන්ධයෙන් ඇතැම් අය විවිධ විවේචන එල්ල කරන්න පුළුවන්. නමුත් අට විසි බෝධීන් වහන්සේලා ලෙස ත්‍රිපිටකයේ සඳහන් වෙන රුක් අත්තන, ගස් කෑල, පලොල්, පතන බෝ, කුඹුක්,හොර, බක් මී, සපු, නෙල්ලි, කිණිහිරියා, ඇටඹ, මාර, නුග, අට්ටික්කා, ආදී වූ ශාක බුදුරජාණන් වහන්සේලාට බුද්ධත්වය සඳහා පිටදුන් බෝධීන් විදිහට සඳහන් වුණත් ඒවා අද අපි ඖෂධ විදිහටත් භාවිතයට ගන්නවා. ඉතින් ඒ ආකාරයටම මේ බෝ ශාකයත් ඖෂධ පිණිස භාවිතයට ගන්නට හැකියාව තියෙනවා.
මේ බෝ ශාකයේ පත්‍ර නාරටි කහ පැහැයට හුරු කොළ පැහැයෙන් යුක්ත සහ පත්‍ර නාරටි දුඹුරු පැහැයට හුරු රතු පැහැයෙන් යුක්තව වශයෙන් ආකාර දෙකකින් දකින්නට පුළුවන්. පළමු ප්‍රභේදය වඩාත් සුලබ වුනත් දුඹුරු පැහැයෙන් යුක්ත කවුඩු එහෙමත් නැත්නම් කපුටු බෝ කියන දෙවැන ප්‍රභේදය එතරම්ම සුලබ නැහැ.

මේ බෝ ශාකයේ ගෙඩි පලතුරක් වශයෙන් වගේම බෝ දළු ආශ්‍රයෙන් කැඳ ආදියත් පිළියෙල කර ගැනීමත් තුළින් ශරීරයට වද දෙන රෝග බොහොමයක් වළක්වා ගන්නට හැකියාව තියෙනවා. නමුත් ඖෂධ පිණිස වන්දනාමාන කරන බෝධී වෘක්ෂය භාවිතා නොකරන්නට මතක තබා ගන්න.
බෝ ශාකයේ ඖෂධීය වටිනාකම
- මලබද්ධය වලක්වා සහ අමිල පිත්ත රෝගයෙන් සුවය ලබා ගැනීම සඳහා මේ රෝගවලින් සහනයක් සලසා ගන්නට බෝ ගෙඩි ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙනවා.
- පොළොන් විෂ අධිකව ශරීරගත වීම හේතුවෙන් ඇතිවන ලේ වමනය සඳහාබෝ ශාකයේ පොතු හෝ බෝ දළුවල යුෂ එකතු කර හීනටි හාලෙන් කැද පිස පානයට ලබාදීම මගින් ඒ අපහසුතා සමනය කරගන්නට පුළුවන්. මේ සඳහා වඩාත් සුදුසු වෙන්නේ කවුඩු බෝ ප්‍රභේදයේ පොතු සහ කොළයි.
- ශරීරයෙන් රුධිරය පිටවන රෝගවලදී සහ ඩෙංගු රක්තපාත ආදී තත්ත්වයන් සඳහා බෝ ශාකයේ පොතු සහ දලු කොටා මිරිකා ගත් යුෂ හීනටි හාල් සමඟ කැඳ පිස පානයට ලබාදෙන්න.
- වරින් වර ගබ්සාවෙන, දරුපල අහිමිවීම් සිදුවන කාන්තාවන්ගේ ගර්භාෂය ශක්තිමත් කිරීම සඳහා අමු බෝ ගෙඩි සහ බෝ මුලේ පොතු වියළාගෙන වෙන වෙනම කුඩු කරගෙන සම ප්‍රමාණයෙන් වරකට තේ හැදි භාගයක් මී පැණි තේ හැඳි එකක් සමග දවසකට දෙවරක් ගැනීම ගුණදායකයි.
- ලේ අතීසාරය සහ අධිකව ඔසප් රුධිරය පිටවන කාන්තාවන් සඳහා බෝ ගසේ පොතු කසායක් ලෙස පිළියෙල කර පානයට ගැනීමෙන් මේ රෝග තත්ත්වයන්වලට සහනය සලසා ගන්න පුළුවන්.
- ඉදිමීම්, උළුක්කුවීම් සහ තැලීම් සඳහා බෝ පොතු මිටවල් දෙකක් ගෙන එයට අමුකහ කැබැල්ලක් දමා හොඳින් කොටා ගන්න. ඉන්පසු එය කබලක මලවා එක දිගට දින තුනක් තැලුම් සහ උළුක්කුවීම් ඉදිමීම් ඇති ස්ථානවල බැඳීමෙන් වේදනාවන් සහ ඉදිමුම් සමනය කරගන්න පුළුවන්.

- අව්වට අවපැහැ වුණු සම යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා බෝ ගසේ පොතු, බෝ කරටි, ඇල් දියෙන් අඹරා දින කිහිපයක් අව්වට අවපැහැ වුණු සමේ ආලේප කරන්න.
- සුව වීමට ප්‍රමාද තුවාල සඳහාබෝ පොතු තම්බන ලද වතුරෙන් තුවාලය සෝදා ගෙන හොඳින් වියලෙන්නට හරින්න. ඉන්පසුව වියළා සියුම්ව කුඩුකර ගත් බෝ පොතු චූර්ණය විසුරුවා හැරීමෙන් තුවාලය ඉක්මනින් සුවපත් කර ගන්නට පුළුවන්.
- ලේ ගලන තුවාලයක ලේ නතර කිරීම සඳහා කැපීමක් සිදුවී ලේ ගලන අවස්ථාවක බෝ ගසේ කිරි ස්වල්පයක් ඒ තුවාලයේ ආලේප කිරීමෙන් ඉක්මනින් ලේ ගැලීම නතර කරගන්න පුළුවන්. ඒ හැරුණහම රුධිරයට එකතුවන විෂ පදාර්ථ විනාශ කරමින් රුධිර සෛල ආරක්ෂා කරන්නටත් මේ බෝ ගෙඩිවලට හැකියාව තියෙනවා.
ඉතින් ලෙඩ රෝග සඳහා බෝ ගසේ විවිධ අංග පාවිච්චියට ගන්නා බව ආයුර්වේදයේ පවා සඳහන් වෙනවා. මෙහිදී බෝ ගසට හානියක් නොවන ආකාරයෙන් අවශ්‍ය කොටස් ලබාගැනීමට කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. බෞද්ධයන් විදිහට ඇතැමෙක් මේ සම්බන්ධයෙන් උරණ වුණත් බෙහෙතක් උදෙසා හොඳින් වැඩී ඇති බෝ ගසකින් හානියක් නොවන ආකාරයෙන් දළු ටිකක් ගෙඩි ටිකක් පොතු ටිකක් ගලවා ගත්තට එයින් ගස් හානියක් නැහැ.
සැලකිලිමත් වෙන්න.මෙය ඔබගේ දැනුම සඳහා වන ලිපියක් වන හෙයින් දේශීය වෛද්‍ය ක්‍රමය තුළ භාවිතයට ගත් මේ ඖෂධීය ශාකය නැත්තම් බෞද්ධ අපි මහත් භක්ත්‍යාදරයෙන් පුද පූජා පවත්වන බෝධි වෘක්ෂය විවිධ ප්‍රතිකාර සඳහා ඔබ භාවිතයට ගන්නේ නම් ඊට පෙර සුදුසුකම් ලත් ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අනිවාර්ය බව මතක තියාගන්න.