අපි හැමෝම නිරන්තරයෙන්ම නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. ඒත් අපිට නොසිතූ වෙලාවල්වල නොයෙකුත් ලෙඩ රෝග වැළදෙනවා. ඒ අතුරින් අද බහුතරයක් දෙනා පීඩාවට පත්වෙලා ඉන්න ගෑස්ට්‍රයිටීස්, දියවැඩියාව අර්ශස් ආදී නොයෙක් රෝගවලට බටහිර වෙදකමෙන් විතරක් නෙවෙයි හෙළ වෙදකමෙනුත් සහනයක් සලසා ගන්න පුළුවන්. මේ සඳහා අපිට භාවිතා කරන්නට හැකියාවක් තියෙන සුවිශේෂී ඖෂධීය පැළෑටිත් බොහොමයි.
මේ අවට වටපිටාවේ තියෙන ඒ වගේ වඩාත් ගුණදායක ශාකයක් තමයි කරල් සැබෝ. මේ ශාකය ගවයන්ගේ රසවත්ම ආහාරයක්. තවත් විටෙක කොම්පෝස්ට් පොහොර සකස් කර ගැනීමේ දී ප්‍රයෝජනයට ගැනෙනවා. කැඳ වශයෙන් වගේම මැල්ලුමක් විදිහටත් ආහාරයට එකතු කරගන්නට හැකියාව තියෙන කරල් සැබෝ ගැනයි අද කතාව.
බහු වාර්ෂික ශාකයක් වන මේ කරල් හැබ ශාකය ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දකින්නට පුළුවන්. ඉහළ කඳුකරයේ හැර ලංකාවේ සෑම පලාතකම මංමාවත් දෙපස, වගාබිම්වල වනාන්තර මායිම්වල, ගෙවත්තේ, ජල පහර ගලායන දෙපස ආදී ස්ථානවල මේ පැලෑටිය දකින්නට පුළුවන්. ස්වාභාවික තෘණ පැලෑටි අතරේ සුලබව පැලවෙන මේ පැලෑටිය බොහෝ අය වල් පැලෑටියක් ලෙසයි හඳුනා ගන්නේ. මේවායේ අතුවල බූව සහිත ස්වභාවයක් ගන්නව. එහි පත්‍ර ඇත්තේ ස්වල්පයක් පමණයි.පත්‍රවල බූව සහිතයි.මේ පත්‍රවලට උඩ සහ යටි පැත්තේ බූව පවතිනවා.
මේ කරල් හැබ ප්‍රභේද දෙකකින් දකින්නට පුළුවන්. සුදු මල් පිපෙන විශේෂය ගස් කරල් හැබ වශයෙන් ද, රතු මල් පිපෙන විශේෂය රතු කරල් හැබ වශයෙන් ද වර්ග කර තියෙනවා. රතු කරල් හැබ බිං කරල් හැබ නමින් ද හඳුන්වනු ලබනවා.කරල් හැබ ශාකයේ මල් පිපෙන්නේ ඔක්තෝම්බර් දෙසැම්බර් කාල සීමාව තුළයි.මේ ප්‍රභේද දෙකම අඩි 3 ක් පමණ උසින් යුත් කුඩා පැලෑටියක්. මේ පැලෑටියේ කරල් කොක්කක හැඩය ගනු ලබනවා. දේශීය වෙදකම තුළ කරල් හැබ මුල් වගේම බීජත් විවිධ ඖෂධ සකස් කරගැනීමේදීත් කසායවලටත් නිතරම භාවිතා වෙනවා.

කරල් සැබෝ කැඳ-බොහෝ වෙද හෙදකම් ගැස්ට්‍රයිටීස් රෝගය සඳහා තාවකාලික සහනයක් ලබා දුන්නත් මේ කරල් සැබවලින් ගෑස්ට්‍රයිටීස් රෝගය නිට්ටාවටම සුවකර ගන්නටත් අර්ශස් ඇතුළු රෝග බොහොමයක් හොඳින් පාලනය කරගන්නත් හැකියාව ලැබෙනවා.
මේ කරල් සැබ කැඳ සාදා ගැනීමේදී කරල් සැබ කොළ සෝදා පොල් සමඟ කොටා ගත යුතුයි. එයින් ලබා ගන්නා යුෂ පොල් කිරි සමඟ කැකුළු සහල් හෝ හබල පෙති එකතු කර සාමාන්‍ය කැඳ සාද ගන්නා ආකාරයට රතු ළූණු සුදු ළූණු ආදිය යොදා සකසා ගන්න.
මේ කැඳ දිනපතාම උදේ හිස්බඩ පානය කිරීමෙන් ගෑස්ට්‍රයිටිස් රෝගය ඇතිවීම වැළකෙනවා වගේම ගෑස්ට්‍රයිටීස් වැළදී ඇති අයෙකුට ඒ රෝගය නිට්ටාවටම සුවකර ගන්නත් හැකියාව තියෙනවා.
කරල් හැබ කැඳ අනුභවයෙන් ලැබෙන ප්‍රතිලාභ
- රුධිරය පිරිසිදු කරනවා.
- හෘද රෝගවලින් ආරක්ෂාව සලසනවා.
- සෙංගමාලය ආදී රෝගවලට ගුණදායකයි.
- අර්ශස් රෝගීන්ට සහනය සලසනවා.
- බඩගිනි අඩුකම, බඩ පුරවා දැමීම, උදර වේදනා දුරු කරනවා.
- ශරීරයෙහි විෂ නසන්නට උපකාරී වෙනවා.
- ගෑස්ට්‍රයිටීස් රෝගයට ගුණදායකයි.
- පණු රෝග සුව කිරීමේ හැකියාවෙන් යුක්තයි.
- හෘද රෝගවලින් ආරක්ෂාව සලසනවා.
- වමනයට සහනය සලසනවා.
- මෘදු විරේක සඳහා සුදුසුයි.
- මුත්‍රා පිට නොවීමට ගුණදායකයි.
- ඉදිමුම් සුව කරනවා.
- තුවාල සුව කරනවා.
කරල් හැබ පැලෑටියෙන් කළ හැකි අත් බෙහෙත්
- ගස් කරල් හැබ මුල් තම්බා මී පැණි දමා පානය කිරීම පණු රෝග සඳහා ගුණදායකයි.
- ගස් කරල් හැබ සහ කටුපිල කොටා වන්ඩුවේ තම්බා මිරිකාගත් යුෂට මී පැණි දමා පානය කිරීම බඩවැලේ සැදෙන තුවාල සඳහා ගුණදායකයි.
- අර්ශස් රෝගය සඳහා ගස් කරල් හැබ මුල්, සූදුරු, කොහිල අල, රතු ළූණු කලං 3 බැගින් ගෙන වතුර පත අට එකට සිද පෙරා පත භාගය බැගින් එළගිතෙල් දමා උදේ සවස පානය කිරීම ගුණදායකයි.ඒ වගේම ගස් කරල් හැබ මුල් ඇට හාල් පානු දියෙන් අඹරා ඒ වතුරට දියකර පෙරා මී පැණි දමා උදේ හිස්බඩ පානය කිරීමත් අර්ශස් සඳහා ගුණදායකයි.

- ගර්භනී මවකට ගස් කරල් හැබ මුල් කලං 12 ගෙන වතුර පත 7 ක් හා එළකිරි පත 1 දමා පත අට එකට සිද පෙරා මී පැණි සමඟ උදේ සවස පානයෙන් දරු ගැබ ශක්තිමත් කරගන්න පුළුවන්.
- කරල් හැබ කොළ භාවිතයෙන් කරවලයා දෂ්ට කිරීමේ දී වන විෂ ඉවත් කිරීමටත් භාවිතා කරනු ලබනවා.
- ලේ අතීසාරයට ගස් කරල් හැබ සම්පූර්ණ පැලෑටියක් සහ උදුපියලිය ද ඊට සමාන ප්‍රමාණයක් ගෙන යොදා කොටා උණුවතුර දමා මිරිකා ගත් යුෂ නිවුණු පසු මී පැණි දමා වරු 3 ක් පානය කරන්න.
- ගස් කරල් හැබ සම්පූර්ණ පැලෑටිය සෝදා වේලා කුඩුකර ගත් කුඩු ග්‍රෑම් 250 ට ගම්මිරිස් කුඩු ග්‍රෑම් 25 ක් මිශ්‍රකර දත් මැදීම සියලු දත් රෝග දුරු කරගන්න පුළුවන්.
- ඇගපත කැසීමට මෙහි පංචාංගය තම්බා පෙරාගත් වතුරින් ඇග සේදිම ගුණදායකයි.
- හිසේ කැක්කුමට කරල් සැබෝ ඇට යොදා සකසා ගත් තෙල් සුදුසුයි.
- සර්ප විෂට ගස් කරල් හැබ තම්බා ගත් වතුරට එලගිතෙල් දමා පානය කිරීම සහ ගස් කරල් හැබ ඇට හා දළු, අමු කහ සමඟ දෙහි ඇඹුලෙන් අඹරා දෂ්ට මුඛයේ තැබීමෙන් විස බසීයි.
- බාහිරින් ඇතිවන තුවාල සඳහා කරල් හැබ තලා ආලේප කිරීමෙන් තුවාල ඉතා ඉක්මනින් සුව කරයි. මේ සඳහා ගස් කරල් හැබ කොළ, අමු කහ ඇල් දියෙන් සිහින්ව අඹරා තුවාලයට තබා බදිනු ලබනවා.
කරල් හැබ ප්‍රතිකාර වශයෙන් භාවිතයට ගන්නේ නම් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්නට සැලකිලිමත් වෙන්න .