ගැස්ට්‍රයිටිස් රෝගය හැදීගෙන එන බව පෙන්නුම් කරන ලක්ෂණ 8 ක්

health tips

වර්තමානයේ පවතින නොයෙක් රෝග අතර වැඩි පිරිසකට පවතින  ඉතා පීඩාකාරී රෝග තත්ත්වයක් ලෙස ගැස්ට්‍රයිටිස් රෝගය හඳුනාගත හැකිය. එනම් මෙම රෝගය ඇතිවීමට විවිධ හේතු බලපානු ලබන අතර නිතර ආහාර නොගෙන සිටීම මූලිකම හේතුව බව හඳුනාගෙන තිබේ. කෙසේ නමුත් රෝගය ඇතිවූ මුල් අවස්ථාවේ ප්‍රතිකාර ලබා ගන්නේ නම් එය නිට්ටාවටම සුවකර ගත හැකිය. නමුත් කල් යත්ම රෝගය උත්සන්න වුවහොත්  සුවකර ගැනීමට අපහසු වී එය නොයෙක් රෝග ඇති වීමට හේතුවක් වන බව කරන ලද පරීක්ෂණ වලින් පවා අනාවරණය වී තිබේ. 

එනම් අප සෑම දෙනාගේම ආමාශයේ අම්ල යුෂ ප්‍රමාණයක් අඩංගුවන අතර එම යුෂ ප්‍රමාණය  පුද්ගලයාගෙන් පුද්ගලයාට අඩු හෝ වැඩි විය හැකිය. මෙම අම්ල ආහාර දිරවීමට ඉවහල්වේ. එනම් යම් යම් අවස්ථාවන් වලදී නිතර ආහාර නොගෙන සිටින්නේ නම් ආමාශයේ අම්ල එකතු වී වැඩිවී ආමාශයික පටල පිලිස්සී දැවිල්ල ඇති විය හැකිය. මෙය දිගින් දිගටම සිදුවීම මගින් අම්ලපිත්ත රෝගය ඇති වනු ලැබේ. එනම් මෙම රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ ආහාර නොගෙන සිටීමයි. 

එනම් කාර්ය බහුල ජීවන රටාව සමග බොහෝ දෙනෙකුට ආහාර ගැනීමට පවා අමතක වී තිබේ. එය මෙම රෝගය ඇතිවීමට බලපාන ප්‍රධානතම හේතුවයි.  ඊට අමතරව ගැස්ට්‍රයිටිස් ඇති වීමට බොහෝ හේතු බලපානු ලබයි. 

  • නිතර උෂ්ණාධික ආහාර භාවිතා කිරීම. 
  • නිතර නිතර පාලනයකින් තොරව ආහාර ගැනීම. 
  • අධික අම්ල ලවණ ගුණයෙන් යුතු ආහාර භාවිතය 
  • ජලය පානය අඩු වීම 
  • නිතර තෙල් සහිත ආහාර භාවිතා කිරීම 
  • නිතර කෘතිම බීම පානය කිරීම. 
  • නිතර මානසික ආතතියෙන් පෙලීම. එනම් අධි ශෝකය,  අධි බය ,දුක 
  • දහවල් නිදාගැනීම හා රාත්‍රියේ අවදිවී සිටීම. 
  • අධික මත්පැන් පානය කිරීම මෙම හේතූන් ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවීමට හේතුවේ. 

අනෙකුත් රෝග මෙන්ම අම්ලපිත්ත රෝගය ඇති වූ පසුද එම රෝගය කල් තියා හඳුනාගත හැකි රෝග ලක්ෂණ බොහෝ ප්‍රමාණයක් පවතී.එනම් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අම්ලපිත්ත රෝගය ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් යටතේ හඳුන්වා දී තිබේ. 

  • 01.ඌර්ධව ගත අම්ල පිත්තය
  • 02.අධෝගත අම්ල පිත්තය ලෙස එම ප්‍රභේද හඳුනාගත හැකිය. එනම් මෙම ප්‍රභේද වලට අනුව ඇතිවන රෝග ලක්ෂණ ද එකිනෙකට වෙනස් වනු ලැබේ. 

ඌර්ධවගත අම්ලපිත්ත  රෝග ලක්ෂණ 

  • නිතර හිසරදය ඇති වීම 
  • ආහාර දිරවීම ප්‍රමාදවීම 
  • ඇඹුල් හෝ තිත්ත රසයෙන් වමනය යාම. 
  • ආමාශය තුවාල සහ දැවිල්ල ඇති වීම 
  • උදරයේ වාතය පිරී පැවතීම. 

අධෝගත අම්ල පිත්ත රෝග ලක්ෂණ 

  • මළපහ කරනවිට දියාරුවට හෝ සෙම් කොටස් ලෙස මල පිටවීම. 
  • මළබද්ධය සහ නිතර අධෝ වාතය පිටවීම 
  • ගුද මාර්ගය ආශ්‍රිතව දැවිල්ලක් හට ගැනීම. 
  • මල මාර්ගයේ බිබිලි, තුවාල ඇතිවීම හා පසුකාලීනව අර්ශස් රෝගයන් ඇතිවීමට හේතු වීම. 
  • මෙම රෝග ලක්ෂණ පහසුවෙන් අම්ලපිත්ත රෝගය ඇති විටක පෙර පහලවන රෝග ලක්ෂණ ලෙස හඳුනාගත හැකිය.  

මෙම රෝග තත්ත්වය උත්සන්න වීමෙන් 

  • දියවැඩියාව
  • අත්,පා ආශ්‍රිතව දැවිල්ල ඇතිවීම.
  • සිරුර දුර්වල වීම.
  • කරකැවිල්ල 
  • කම්පනය වීම 
  • මානසික රෝග
  • නිතර දහඩිය දැමීම
  • සන්ධි රෝග
  • කලන්තය ආදී රෝග තත්ත්වයන් ද ඇතිවිය හැකිය. 

මෙම රෝගය සුව කර ගැනීම සඳහා ප්‍රතිකාර ගනු ලබන අතර තුර තම ආහාර රටාව ඊට සුදුසු වන අයුරින් සකසා ගත යුතුය. 

දිවියත් රුවත් රකින තැඹිලි | දිනමිණ
  • පලමුව නියමිත වේලාවට ආහාර ගත යුතුය.
  • එනම් මෙහිදී වඩාත් සුදුසු වන්නේ ශරීරය සිසිල් කරන ආහාර පාන භාවිතා කිරීමයි. 
  • එනම් තැඹිලි, එළකිරි, කුරුම්බා 
  • කොත්තමල්ලි,කිතුල් කැඳ, හාතාවාරිය, එරමුසු පානයන් 
  • පුහුල්,කැකිරි, පිපිඤ්ඤා, තියඹරා වැනි ජලය අඩංගු එළවළු වර්ග ,නෙළුම් අල, 
  • මුකුණුවැන්න, ගොටුකොළ,කොහිල දලු ,සාරණ, තම්පලා  
  • බෙලි,ගස්ලබු, කෙසෙල් ,කොමඩු, වැනි ශීත ගුණයෙන් යුතු පලතුරු වර්ග නිතර ආහාරයට ගැනීම ගුණදායකය. 
  • මත්ද්‍රව්‍ය , කෘතිම බීම වර්ග, කෝපි පානය සුදුසු නොවේ. 
  • උෂ්ණාධික ආහාර පාන එනම් එලවළු, පලතුරු භාවිතා කිරීමෙන් වැළකිය යුතුය. 
  • මිරිස්,ගම්මිරිස්, කුරුඳු කුළුබඩු වැඩි වශයෙන් භාවිතා නොකළ යුතුය. 
  • කඩල මුං ඇට වැනි ධාන්‍ය වර්ග තෙම්පරාදු නොකර පොල් සමඟ ආහාරයට ගැනීම ගුණදායකය. 

මේ ආදී වශයෙන් ප්‍රතිකාර ගනු ලබන අතර තුර රෝගය සමනය කිරීම සඳහා සුදුසු ආහාර භාවිතා කිරීම මගින් මෙම රෝගය ඉක්මනින් සුව කරගත හැකිය.