එදා අද වගේ ශීතකරණ නොතිබුණ නිසාම රාත්‍රියේ පිසින ලද බත් මුට්ටියේ තිබෙන්නට හැරලා උදෑසන පවුලේ සියල්ලන්ම ඒවා ආහාරයට ගත්තා. පාසල් යන දරුවන්ට, ගෙදර කුඹුරට හේනට යන ස්වාමිපුරුෂයාට මේ හීල් බතට පොල් සම්බෝලයක් සකසලා පිළියෙල කර දෙන්නටද ගම්බද කාන්තාවන් කටයුතු කළා.
මේ නිසා උදෑසන පාසල් යන දරුවන් බඩගින්නේ පාසල් ගියේ නැහැ. ගෙදර ගෘහණියටත් මේ නිසා පහසුවක් ඇති වුණා. ඒ වගේම ඉන්ධන පිරිමසා ගන්නටත් එය විශාල උදව්වක් වුණා. නමුත් අද දරුවන්ට වගේම තරුණ පරපුරට හීල් බත් කියන්නේ මොනවගේ ද කියලා තවත් අයකුගෙන් විශේෂයෙන්ම ගුරුවරුන්ගෙන් එහෙමත් නැත්නම් තවත් වැඩිහිටියෙකුගෙන් අසා දැන්ගන්නට සිද්ධ වෙලා තියෙන එක නම් කණගාටුවට කාරණාවක් .
බෝවන රෝග අභිබවා මේ වෙද්දි බෝ නොවන රෝග ගැන අපිට කතා කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ අපේ දේශීය ගුණදායී ආහාර පිළිබඳව ලාංකීය ජනතාව තුළ ඇති දැනුවත්භාවය ක්‍රමයෙන් හීන වී යාම. ඉතින් ඒ නිසාම අපි අද සිතුවා හීල් බත් ආහාරයට ගන්නා එක කොතරම් ගුණදායක ද යන්න සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට. මොකද අද වැඩි දෙනෙක් තුන්වේලටම ආහාරයට ගන්නට වැඩි ප්‍රියතාවයක් දක්වන්නේ උණු බත් නිසා.
අද සෑම නිවසකම වගේ ශීතකරණයක් රයිස් කුකර් එකක් දකින්නට ලැබෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ නිසාම පෙරදා රාත්‍රියේ ඉතිරි වුණු බත් ශීතකරණයේ දාලා පසුවදාට ඒවා නැවත රත් කර භාවිතයට ගන්නවා. මෙන්න මේ නිසා ඒ බත්වලට හීල් බත් කියලා කියන්නට බැහැ. ඔබ නොදන්නවා වුණත් ආයුර්වේදයේ සඳහන් වෙන විදිහට නම් මේ හීල් බත්ට පුළුවන් වාත පිත්ත කඵ කියන තුන් දෝෂය සමනය කරන්නට.
ඉතින් අපි බලමු කොහොමද හීල්බත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට අපිට උදව් වෙන්නේ කියන කාරණාව පිළිබඳව.

විටමින් බහුල ආහාරයක්.අපි ජීවත් වන පරිසරයේ සහ වාතයේ වාසය කරන හිතකර ක්ෂුද්‍ර ජීවීන් බතේ උපස්තරය මත ක්‍රියාත්මක වීම හේතු කරගෙනබතේ පැසීමේ ක්‍රියාවලියක් සිදු වෙනවා. අපි මේ බත් පිලුනු වෙනවා කියලා කියන්නේ මේ පැසීමේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවීම නිසා කල් ඉකුත්වීමේ තත්ත්වයට පත්වීමේදී.
ඉතින් මේ හීල් බත් විටමින් බහුල ආහාරයක් වෙන්නෙත් මේ ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය හේතු කරගෙන. මේ නිසා විටමින් b , සී මට්ටම ඉහළ යනවා. ඒ වගේම විටමින් b12 ලබාගත හැකි වඩාත් ප්‍රචලිත ක්‍රමය වෙන්නේ මස් වර්ග ආහාරයට ගැනීම නමුත් මස් වර්ග මාළු වර්ග ආහාරයට නොගන්නා නිර්මාංශික පුද්ගලයෙකුට ඒ විටමින් වර්ග සැලකිය යුතු ප්‍රමාණයකින් ලබාගන්නට හැකි හොඳම ආහාරය වෙන්නේ මේ හීල් බත්.
ඛනිජ වර්ග අවශෝෂණය කිරීමේ හැකියාවයාව වැඩි කිරීම ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරිත්වය නිසාවෙන් නිෂ්පාදනය වෙන ලැක්ටික් අම්ලය බත්වල අඩංගු වුණත් අවශෝෂණය කළ නොහැකි බොහෝ ඛනිජ වර්ග එනම් පොටෑසියම්, යකඩ, කැල්සියම් ආදිය අවශෝෂණය කරගැනීම දහස් ගුණයකින් වැඩි කරන්නට මේ හීල් බත්වලට සුවිශේෂී හැකියාවක් තියෙනවා.
ඉතාම ගුණදායක ජෛවීය ආහාරයක්.පිසින ලද බත් ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය හේතු කරගෙන ජෛවීය ආහාරයක් බවට පත්වෙන නිසාවෙන් ආහාර රත්කිරීමෙන් සේදීමෙන් ආදියෙන් ඉවත්වෙන පෝෂණ කොටස් සහ එන්සයිම ආදිය හානි වීමකින් තොරව ආරක්ෂා වෙන්න වෙලා තියෙන නිසා මේ හීල් බත් අපේ සෞඛ්‍යයට තවදුරටත් හිතකර වෙනවා.
ජීර්ණයට පහසු වීම.මෙසේ සිදුවන පැසීමේ ක්‍රියාවලිය නිසා අලුතින් පිසින ලද මස්වලට වඩා මේ හීල් බත් සැහැල්ලු බවින් යුක්තයි. ඒ නිසාවෙන් එය ඉතා පහසුවෙන් ජීර්ණයට ලක් වෙනවා. ඒ වගේම මේ ආහාර වැඩිවේලාවක් ආමාශයේ රැඳී සිටින්නේ නැහැ. විශේෂයෙන්ම ප්‍රෝටීන්වල ජීර්ණ හැකියාව තවදුරටත් ඉහළ නංවන්නටත් මේ හීල්බත් දායක වෙනවා.
කැලරි ප්‍රමාණය අඩුවීම.අලුතෙන් පිසින ලද බත්වලට වඩා සියයට 60 ක පමණ ප්‍රමාණයකින් මේවායේ කැලරි ප්‍රමාණය අඩුයි. ඒ නිසා බොහෝ දෙනෙක්ට තියෙන ගැටළුවක් වන ශරීර බර පාලනය සඳහා කදිම ආහාරයක් විදියට මේ හීල්බත් සඳහන් කරන්නට පුළුවන්.
ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කිරීම.මේ හීල් බත්වල අපේ ශරීරයට හිතකර වන බැක්ටීරියා වර්ග ඇති නිසා එය අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන්නට උදව් වෙනවා. ඒ වගේම ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයටත් එය විශාල වශයෙන් උදව් වෙනවා.

අමිල පිත්ත රෝගය සඳහා ගුණදායකයි. ඇඟ නිවන ගුණයක් සහිත හීල් බත් ආහාරයට එකතු කරගන්නවා වගේම මේ හීල්බත්වලට ජලය එහෙමත් නැත්තම් පොල් කිරි එකතු කරලා රතුලූනු, අමුමිරිස්, ලුණු ස්වල්පයක් ආදිය එකතු කරල සාදාගන්නා දියබත ගැස්ට්‍රයිටීස් රෝගීන්ට ඒ රෝගය නිට්ටාවටම සුව කරගන්නටත් වැදගත් වෙනවා.
මැටි භාජනයක පිසින ලද බත් ඒ පිසු භාජනයේම තබා කාමර උෂ්ණත්වයේ රාත්‍රිය පුරා වසා තැබීමෙන් හීල් බත් සකසා ගන්නට පුළුවන්. මෙහිදී කිසිම අවස්ථාවක මේ බත් අතින් කලවම් කිරීමක් හෝ ව්‍යංජන හෝ වෙනත් කිසිදු බාහිර ද්‍රව්‍යවලින් බත අපිරිසිදු වී තිබීමත් නුසුදුසුයි.
හීල් බත් සතු තවත් විශේෂ ගුණ
- ශරීරයේ දාහය දුරුකරයි.
- ශරීර ශක්තිය වර්ධනය කරයි.
- මලබද්ධයෙන් වැළකී සිටීමට උපකාරී වෙයි.
- අධි රුධිර පීඩනයෙන් මිදෙන්නට උදව් වෙයි.
- ශරීරය ප්‍රබෝධමත් කරයි.
- තරුණ බව ආරක්ෂා කරයි.
- ශරීරයේ ඇති තුවාල සුව වීම ඉක්මන් කරයි.
- ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය හොඳින් පවත්වාගෙන යන්නට උදව් වෙයි.
- දිගාසිරි ළඟාකර දෙයි.
මේ කරුණු හැරුණාම බොහෝ නිවෙස්වල උදෑසන කලබලකාරී වාතාවරණය මදක් හෝ සමනය කරගන්නට රාත්‍රියේ දී වැඩිපුර සහල් ටිකක් ලිප තබා උදෑසනට හීල්බතට එළවලුවක් සම්බෝලයක් පමණක් පිළියෙළ. කර ගැනීමෙන් ගෘහණියට සහනයක් ලබාගන්නට පුළුවන්. එමගින් ආහාර සුරක්ෂිතතාවය සඳහා වගේම ඉන්ධන වැයවීම අඩුවීමෙන් පරිසර හිතකාමී ජීවිතයක් ගත කිරීම සඳහා මේ හීල් බත් විසි නොකර ආහාරයට ගැනීම හරිම වැදගත්.