සුන්දරත්වය පවත්වාගැනීම සඳහා විවිධ රූපලාවන්‍ය නිෂ්පාදන ගැල්විම පමණක් ප්‍රමාණවත් නැතැ. ඒ සඳහා අප අපි පරිභෝජනය කරන ආහාර පාන බොහෝ සෙයින් බලපානු ලබනවා. සිරුරේ නිරෝගිබව මෙන්ම සමේ ආකර්ෂණීය බව ආරක්ෂා වීමට අප ආහාරයට ගන්නා දේවල් වල පෝෂණය ඉවහල් වෙයි. ආහාර පාන අතරින් සමේ නීරෝගිබව සහ සුන්දරත්වය ආරක්ෂා වීම සඳහා එළවළු ,පලතුරු ,කුළුබඩු ,සත්ව ආහාර ඇතුළු ආහාර වල අඩංගු ඉතා ඉහළ මට්ටමේ පෝෂණ ගුණ බොහෝ සෙයින් වැදගත් වන බව ඔබ හොඳින් දන්නා කාරණයක්.
රසය වගේම ඔබේ සිරුරට, සමට හොඳ ප්‍රතිලාභ රැසක් අත්කරදීමට මේ පෝෂණ ගුණයෙන් අනූන ආහාර වලට වලට හැකියි. ලැයිස්තුවේ සඳහන් වන මේ සුපිරි ආහාර වර්ග පරිභෝජනය කිරීමෙන් ඔබේ සම ඇතුලාන්තයෙන්ම පැහැපත් කරගනිමින් දීප්තිමත්- නිකැලැල් -නිරෝගි සමක් හිමි කරගත හැකි බවයි පෙන්වාදෙන්නේ!

තක්කාලි තක්කාලි කියන්නේ සමට හිතකර ප්‍රතිලාභ රැසක් ලබාදෙන එළවළුවක්. මේවායේ විටමින් C බහුලයි.එමෙන්ම ලයිකොපින් වැනි කැරටෙනොයිඩ සංඝටක ද බහුලයි.මේවා සමේ නීරෝගීබව වඩවයි.මීට අමතරව බිටා-කැරටින් හා ලුටෙයින් වැනි සංඝටක ද ඇති අතර ඒවා මඟින් ඔබේ සම හිරු කිරණින් ආරක්ෂා කරයි.සම රැළි වැටීම් වළකයි.තක්කාලි සලාද හෝ යුෂ පාන ලෙස සකසා පරිභෝජනයට ගත හැකියි.කුරුලෑ ඇතිවීම වැළැක්වීම, සමේ කොලැජන් ශක්තිමත් කිරීම මඟින් සමේ තරුණ බව රැකදීම තක්කාලි වලින් ලැබෙන තවත් ප්‍රතිලාභ කිහිපයක්.තක්කාලි සමට ලබාදෙන බාහිර සත්කාර වලදී ද අමුද්‍රව්‍යක් ලෙස යොදාගැනෙයි.
මේද මාලු වර්ග සැමන්, මැකරල්, ටූනා වගේ මේද බහුල මාලු වර්ග වල පෝෂණ ගුණය ඉතා ඉහළයි.මේවායේ අඩංගු මේද අම්ල වර්ග සිරුරට ගුණදායීය.විශේෂයෙන්ම ඔමේගා-3 මේද අම්ල වගේ හිතකර මේද වර්ග මෙම මාලු වල බහුල නිසා සිරුරට වගේම සමට ද හොඳ ප්‍රතිලාභ හිමිවෙයි.මෙම මේද අම්ල සමේ ඝනකම්බව හා තෙතමනය ආරක්ෂා කරයි.ඔබේ ආහාර වේලේ ප්‍රමාණවත් තරම් මේද අම්ල අඩංගු නොවන විට ඔබේ සම වියළී ස්වභාවයක් ගැනීමේ ප්‍රවණතාව වැඩිවිය හැකියි.මේද අම්ල ප්‍රදාහය වළකයි.එම නිසා සම රතුවීම හා කුරුලෑ හටගැනිමේ අවදානම බොහෝදුරට අවම කරයි.අහිතකර UV කිරණින් සමට හොඳ ආරක්ෂාවක් සපයයි.
මේද මාලු වල සමට ඉතා වැදගත් පෝෂකයක් මෙන්ම ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වන විටමින් E බහුලයි.ඒවා සිරුර තුල හානිකර මුක්තකණ්ඩ හේතුවෙන් ඇතිවන හානි අවම කරයි.සැමන් වල අඩංගු DMAE පෝෂණය සමේ සෛල පටල හානිවීමෙන් ආරක්ෂා කරයි. සම අකලට වියපත් වීම පාලනය කරයි.සම රැළි වැටීමට හේතුවන සිරුරේ ඇරකිඩොනික් අම්ල නිෂ්පාදනය වීම අඩුකරවයි.
කැරට් දිනපතා ආහාර වේලට කැරට් එක්කරගැනීමෙන් ඔබේ සිරුරට වගේම සමට ඉහළ මට්ටමේ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාගත හැකි බව අධ්‍යයන පෙන්වාදෙයි.කැරට් වල බීටා-කැරොටීන් බහුල නිසා හිරු කිරණට නිරාවරණය වීමෙන් සමට හානිවීම වළක්වයි.හොඳ විටමින් A අන්තර්ගතයක් ද ඇති නිසා කොලැජන් වලට සිදුවූ හානී ප්‍රකෘතිමත් කරයි.සමේ නම්‍යතාව හා රැළි වැටීමෙන් ආරක්ෂා කරයි.ඇස් වලට ද ගුණදායකයි. එමෙන්ම කුරුලෑ බිබිලි මතුවීම වළකයි.සම මතුපිට ස්තරයේ සෛල අධි වර්ධනය වීම වළකයි. විටමින් A මඟින් සමේ පිළිකා සෛල නිෂ්පාදනය වීමේ අවදානම අවම කරයි. කැරට් අමුවෙන් හෝ සලාද ලෙස හෝ යුෂ පානයක් ලෙස සකස් කරගත හැකියි.
වොල්නට් වොල්නට් වල ඔමේගා-3 හා ඔමේගා-6 මේද අම්ල බහුලයි.මෙම පෝෂක නිපදවීමට අපේ සිරුරට නොහැකි නිසා ඒවා බාහිරව ලබාගැනීමට සිරුරට සිදුවෙයි. ඒ අනුව වොල්නට් යනු හොඳ ආහාර විකල්පයක්.ඔමේගා-6 මේද අම්ල අධික ආහාර වේල් ලබාගව්නීම පොතු කබර වැනි ප්‍රදාහය ආශ්‍රිත රෝග ගැටලු වලට හේතුවිය හැකි වුවත් වොල්නට් වල අඩංගු වන්නේ හිතකර ඔමේගා-3 හා ඔමේගා-6 පෝෂක අනුපාතයකි.මේද අම්ල වලට අමතරව සින්ක් ද බහුලයි.එමෙන්ම විටමින් E හා සෙලේනියම් ද අන්තර්ගතයි.වොල්නට් අවුන්සයක අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය ග්‍රෑම් 5කි.මෙය හොඳ අතුරුආහාරයකි(ස්නැක්).
නැටො මෙය රසවත් ජපන් ආහාරයක්.තම්බාගත් සෝයා බෝංචි ඇට මුහුන් කිරීමෙන් සකසයි.සෝයා බෝංචි වල පෝෂණ ගුණය වැඩිකරවන බැක්ටීරියා විශේෂයක් එක්කිරීමෙන් ඒවා මුහුන්කරයි.මෙම ආහාරයේ විටමින් K2 ඉහළ අන්තර්ගතයක් ඇත.හෘදය මෙන්ම අස්ථි වල නීරෝගි බව ආරක්ෂා වීමට මෙම පෝෂණය සිරුරට ඉතා වැදගත්.එමෙන්ම සමේ ඇදෙනසුලු බව ආරක්ෂා කරයි.රැළි වැටීම් වළකයි.මෙය බඩවැල් බැක්ටීරියා නීරෝගීකරන හොඳ ප්‍රෝබයෝටික් ආහාරයකි.බඩවැල් වල නීරෝගීබව නීරෝගී සමකට මඟ පාදයි.ප්‍රදාහය අවදානම් අඩු කරන නිසා කුරුලෑ, පොතු කබර වැනි රෝග, එක්සිමා (දද) වැනි ගැටලු මතුවීම අවම කරයි.

බෙල් පෙපර් බෙල් පෙපර් වල බිටා-කැරොටීන් බහුලයි.ඒවා සිරුර තුළදී විටමින් A බවට හැරෙයි.කැබලි කැපූ බෙල් පෙපර් කෝප්පයක (ග්‍රෑම්150ක පමණ) සිරුරට අවශ්‍ය දෛනික විටමින් A අවශ්‍යතාවෙන් 156%ක් පමණ අඩංගුයි.විටමින් C බහුල අතර ඒවා කොලැජන් නිෂ්පාදනයට සහය වෙයි. සම ශක්තිමත් කරයි.බෙල් පෙපර් කෝප්පයක ඔබේ දෛනික විටමින් C අවශ්‍යතාවෙන් 211%ක් පමණ අඩංගුය. විටමින් C මඟින් සම රැළි වැටීම හා වියළීයාම වළකයි.
ඩාක් චොකලට් චොකලට් කියන්නේ ගොඩක් අයගේ ප්‍රියතම ආහාරයක්. නමුත් වඩාත් සෞඛ්‍යාරක්ෂිත චොකලට් විකල්පයක් වන්නේ කිරි මිශ්‍ර චොකලට් නොව කොකෝවා අන්තර්ගතය 70% වැඩි ඩාක් චොකලට් ය.කෘතිමව සීනි එක්කර නොමැති ඒවා වඩාත් සුදුසුයි.ඩාක් චොකලට් සමට හිතකරයි.මේවායේ ප්‍රතිඔක්සිකාරක බහුලයි.සම සවිමත් වීමට හා තෙතමනය ආරක්ෂා වීමට සහය වෙයි.හිරු කිරණට සම පිලිස්සීම වැනි සංවේදීතා පාලනය කරයි.සමේ රුධිර ගමනාගමනය වැඩිදියුණු කරයි.
කහ කහ කියන්නේ ඕනෑම මුළුතැන්ගෙයක නොවරදවාම තිබෙන කුළුබඩුවක්.මේවායින් සිරුරට ඉතා ඉහළ සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබෙයි.පිළිකා, සන්ධි රෝග, ජීර්ණ ගැටලු වැනි නොයෙකුත් රෝගාබාධ වලින් සිරුර ආරක්ෂා කරයි.සම නීරෝගී කරමින් දීප්තිමත් පැහැපත් බවක් ලබාදෙයි.මෙම ප්‍රතිලාභ සිරුරට ලැබෙන්නේ වදකහ වල අඩංගු කර්කියුමින් නම් ප්‍රබල සක්‍රීය සංඝටක නිසයි.ඒවායේ ප්‍රබල ප්‍රතිප්‍රදාහක, විෂබීජනාශක ගුණ අඩංගුයි.සමේ අවපැහැය දුරලයි. සමේ පැහැය වර්ධනය කරයි.වයසට යාම, හිරු කිරණට පිලිස්සීම, හෝර්මෝන අසමතුලිතතා හෝ කුරුලෑ වැනි වෙනත් චර්ම ගැටලු නිසා ඇති වූ ලප කැලැල් දුරුකරවයි.
වෑංජන වලට කහ එක්කරගන්න. නැතිනම් ඔබේ උණුසුම් කිරි වීදුරුවට හෝ තේ පානයට කහ ස්වල්පයක් මුසු කර පානය කරන්න. මින් සමට බොහෝ ගුණයක් ලබාගත හැකියි. කහ, ලෙමන් හා මී පැණි මිශ්‍ර කර සමේ ආලේප කිරීමෙන් සම පැහැපත් කරගත හැකියි.