ඉඟුරු කියන්නේ මේ කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ අධික ඉල්ලුමක් නිර්මාණය වුණු මිල අධික වුණු තවත් එක් රසකාරකයක් වගේම වටින ඖෂධයක්. කොරෝනා වෛරසයට එරෙහිව අපේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නංවා ගන්නට ඉඟුරුවලට ඉතා විශිෂ්ඨ හැකියාවක් තිබෙනවා කියන කාරණය නිසා අපි ඉඟුරු ශරීරයට වෙනදාට වඩා ලබා ගන්නට උනන්දුවක් තියෙනවා. තේ එකකට ඉඟුරු එකතු කර පානය කිරීම හෝ මස් ආදිය පිසීමේදීත් කැඳ සකස් කිරීමේදී රසකැවිලි, බීම බිස්කට්ස් වර්ග සකස් කිරීම් ආදී වශයෙන් අපි බොහෝ අවස්ථාවල ගුණය හා රසය සඳහා ඉඟුරු භාවිතයට ගන්නවා. ඒ හැරුණාම විවිධ අත් බෙහෙත් සකස් කිරීමේදීත් ඉඟුරු කියන්නේ අපට නැතුවම බැරි අගනා ද්‍රව්‍යයක්. ඉතින් මේ ඉඟුරු සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මතවාද පවතිනවා. ගුණ වගේම සිරුරට අහිතකර තත්ත්වයන් ඇති කරන්නටත් ඉඟුරුවලට හැකියාවක් පවතිනවා ද?. ඒ වගේම අපි දිනකට ලබාගත යුතු ප්‍රමාණය කොතරම් ද යන්න ආදී විවිධ ගැටළුකාරී තත්ත්වයන් ඔබටත් ඇති. ඉතින් අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ ඉඟුරු සම්බන්ධයෙන් අපේ ශරීරයට හිතකර වගේම අහිතකර යම් යම් කාරණා පවතිනවාද සහ ඒ මොනවාද කියන කාරණා පිළිබඳවයි.
ඉඟුරුවල අන්තර්ගත වෙන ප්‍රධාන සංඝටකයක් තමයි ජින්ගර් රෝල් (gingerols ) කියන්නේ. මේ සංඝටකයට අපේ ශරීරයට සිදු කරන්නට හැකි බලපෑම් පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මකව විවිධ පර්යේෂණ සිදු කර තියෙනවා. ඒ හැරුණාම ඉඟුරු සතුව විටමින් C, B3, B6, මැග්නීසියම්, පොටෑසියම්, කොපර්, මැංගනීස් යකඩ, පොස්පරස්, අන්තර්ගත වන අතර ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වෙන ඔසුවක්. ඒ පර්යේෂණවලින් අනාවරණය වී ඇති ආකාරයට මුලින්ම ඉඟුරු භාවිතයෙන් අපේ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්න විමසා බලමු.
ඉඟුරු භාවිතයෙන් ශරීරයට ලබාගත හැකි ප්‍රතිලාභ

- ආහාර ජීර්ණ පද්ධතියේ සිදුවන ආහාර දිරවීමේ ක්‍රියාවලියට සහාය දක්වයි.
- ආහාරවල විෂ ඉවත් කරයි
- ක්ෂුද්‍ර ජීවි වෛරස් හෝ බැක්ටීරියා ආසාදනවලට එරෙහිව කටයුතු කරයි.මේ ආසාදන නිසා සමේ ඉදිමීම් තත්ත්වයන් රතුවීම, උෂ්ණත්වය වෙනස්වීම ආදිය ඇති වෙනවා. එවැනි තත්ත්වයන් සඳහා මේ ඉඟුරු වඩා සුදුසු බව පර්යේෂණවලින් අනාවරණය කරගෙන තියෙනවා.
- පිළිකා ඇතිවීමේ අවදානම අඩුකරයි.බඩවැලේ පිළිකා ඇතිවීම වළක්වමින් සමේ, පුරස්ථි ග්‍රන්ථියේ, පියයුරුවල වගේම ඩිම්බකෝෂවල ඇතිවිය හැකි පිළිකාවලට එරෙහිවත් සටන් කරනු ලබනවා.
- දේහ බර අඩු කර ගැනීමට හා ඉදිරියට නෙරා ආ උදරය අඩුකර ගැනීමට සහාය දක්වයි.
- රුධිරයේ සීනී මට්ටම අඩු කිරීමේ හැකියාව
- දිනකට ඉඟුරු කුඩු ග්‍රෑම් 2 ක් ගැනීමෙන් දෙවන මට්ටමේ දියවැඩියාව 12% කින් අඩුකර ඇති බව පර්යේෂනවලින් තහවුරු කර තියෙනවා.
- සන්ධි ආශ්‍රිතව ඇතිවන ඔස්ටියෝ ආතරයිටීස් තත්ත්වයන් පාලනය කරයි
- වයසත් සමඟ මොළයේ ක්‍රියාකාරිත්වය අඩුවීම නිසා ඇතිවන ඩිමෙන්ෂියා ආදී රෝග තත්ත්වයන් ඇතිවීමේ හැකියාව පාලනය කරයි.
- මලබද්ධය බඩ පිපුම සුව කරයි.

- සමට හිතකරයි.
- සෙම්ප්‍රතිශ්‍යාවට ගුණදායකයි.
- ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
- අහිතකර කොලෙස්ටරෝල් බැහැර කරමින් කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.හදවත් රෝග ඇතිවීම වළක්වයි.
- හිසේ කැක්කුම් සඳහා වගේම ආර්තවයේදී ඇතිවන වේදනා සමනය කරයි.
- රුධිර කැටි ගැසීම් පාලනය කරමින් රුධිර සංසරණය යහපත් කරයි.
- වමනය හා ඔක්කාරය වළක්වයි
- පූර්ව ගර්භණී අවධියේදී උදෑසන ඇතිවන වමනය ඔක්කාරයට වගේම පිළිකා රෝගීන්ට සිදුකරන කීමෝ තෙරපිවලදී ඇතිවන වමනය ආදී තත්ත්වයන් පවා වළක්වා ගන්නට මේ ඉඟුරු වඩාත් ප්‍රයෝජනවත් වෙනවා.
- අතීසාරය, කැස්ස, පීනස, ඇදුම, ඉක්කාව , මුත්‍ර සමඟ රුධිරය පිටවීම ආදී රෝග ගණනාවකට ඖෂධ සඳහා ඉඟුරු භාවිතා කරනු ලබනවා.
- ප්‍රෝටීන් හා මේදය බහුල ආහාරවලට ඉඟුරු එකතු කර පිසගැනීමෙන් ඒවායින් ඇතිවිය හැකි උදරාබාධ සුව කර ගන්නට හැකියි. අමු ඉඟුරු යුශ, මී පැණි දෙහි යුෂ සමඟ පානයෙන් අජීර්ණ සුව කර ගත හැකියි.
- අහාර ගැනීමට පෙර ඉඟුරු කැබැල්ලක් සහිද ලුණු සමඟ කෑමෙන් ආහාර රුචිය වඩවන බව සඳහන්.
දිනකට ශරීරයට අවශ්‍ය ඉඟුරු ප්‍රමාණය සහ භාවිතයට වඩාත් සුදුසු ආකාරය ඉඟුරු භාවිතයට ගන්නා බොහෝ දෙනෙකුට පවතින එක් ගැටළුවක් තමයි ඉඟුරු ගත යුතු ප්‍රමාණය. පර්යේෂණ වාර්තා පෙන්වා දී ඇති ආකාරයට වඩාත් ආරක්ෂිතම ප්‍රමාණය 2 ml යි. නැත්නම් මිලි ග්‍රෑම් 2 ක් වගේ ප්‍රමාණයක්. නිවසේදී අපි භාවිතා කරන තේ හැන්දෙන් 1 ක් කියන්නේ සාමාන්‍යයෙන් මිලි ලීටර් 5 ක් වගේ ප්‍රමාණයක්. ඒ නිසා මේ තේ හැන්දෙන් භාගයටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් අපි දිනකට භාවිතා කළ යුතු වෙන්නේ.

ඉඟුරු අපි විවිධ ආකාරයෙන් ආහාරවලට පාන වර්ගවලට එකතු කරනවා. ඇතැම්විට උණු වතුරට ඉඟුරු එකතු කර පානය කරන අවස්ථාත් දකින්නට ලැබෙනවා. නමුත් වඩාත්ම සුදුසු ක්‍රමය ලෙස සඳහන් කළ හැකි වෙන්නේ නැවුම් පානයක් සකසන විට එයට ඉඟුරු ස්වල්පයක් එකතු කිරීමයි.
ඉඟුරු භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
- පසු ගර්භණී සමයේදී ඉඟුරු භාවිතා කිරීම සුදුසු නොවෙයි.
- මඤ්ඤොක්කා ආහාරයට ගැනීමට පෙර හෝ පසුව ඉඟුරු භාවිතය සුදුසු නොවෙයි. එය ශරීරයට විස විය හැකියි.
- අමිල පිත්ත රෝගීන් වගේම අධික ලේ වහනය වීම ඇති අවස්ථාවල ඉඟුරු ගැනීම සුදුසු නොවෙයි.
- දියවැඩියාව සඳහා වෙනත් ඖෂධ ලබා ගන්නා අයට ඉඟුරු භාවිතය නුසුදුසුයි.
සැලකිය යුතුයි ඉඟුරු බොහෝ රෝගවලට ඉතාමත් ගුණදායක කාර්යන් රාශියක් ඉටු කළත් ඔබ ගනු ලබන ඖෂධවලට සම්පූර්ණ ආදේශකයක් වන්නේ නැහැ.එබැවින් ඖෂධ වෙනුවට ආදේශයක් ලෙස ඉඟුරු භාවිතා කිරීමෙන් වළකින්න. මේ ඉඟුරු ඖෂධයක් ලෙස හෝ ආහාර අතිරේකයක් ලෙස භාවිතා කිරීමට Food and drug Administration මගින් අනුමත කර නොමැතිවීම එයට හේතුවයි. ඒ නිසා ආහාරයක් සමඟ ලබා ගන්නට ඔබට හැකියාව පවතිනවා.