ඇස් අන්ධ කරන ග්ලූකෝමා රෝගයට හේතු 6 ක්

health tips

අපි හැමෝම අපි ලෝකය දකින ඇස් දෙක නීරෝගීව තබා ගන්නට කැමතියි. නමුත් වර්තමානය වෙද්දි පාසල් යන වයසේ දරුවන්ගේ සිට මහලු උදවිය දක්වාම පුද්ගලයන් විවිධ අක්ෂි ආබාධවලින් පෙලෙනවා. එවැනි තවත් එක් අක්ෂි ආබාධයක් තමයි ග්ලූකෝමා හෙවත් නීලකාච රෝගය කියන්නේ. මෙරට අන්ධභාවයට තුඩු දෙන හේතු අතුරින් 2%ක්ම ග්ලූකෝමා රෝගය බවටයි හඳුනා ගෙන ඇත්තේ.මේ රෝගය පුද්ගලයෙකුව සදාකාලික අන්ධභාවයට වුණත් පත් කිරීමට සමත්  නිසාම මේ පිළිබඳව දැනුවත්ව සිටීම ඔබට ඉතා වැදගත් වේවි. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ සමාජයේ බොහෝදෙනා කතා කරන බහුල රෝගී තත්ත්වයක් වන ග්ලූකෝමා රෝගය පිළිබඳවයි.

ග්ලූකෝමා රෝගය යනු 

සාමාන්‍යයෙන් අපේ ඇසේ ජලය වැනි දියරයක් පවතිනවා. මේ මෘදු පටක තරලය අම්මය රසය ලෙසයි හඳුන්වනු ලබන්නේ.ඇසේ සම්පාදනය කෙරෙන මේ දියර ප්‍රමාණය හා එයින් ඉවත් වන ප්‍රමාණය අතර සමබරතාවය මගින් ඇසේ පීඩනය නියමිත අගයක පවත්වාගෙන යනු ලබනවා. ඇසේ හැඩය ගෝලාකාර ආකාරයෙන් පිහිටා තියෙන්නේ ඇස තුළ පවතින පීඩනය නිසා. ඇසේ සාමාන්‍ය පීඩනය 12-20 mmHg පමණ වෙනවා. ඉහත සඳහන් කළ තරලය ඇසේ සජීවී කොටස්වලට අවශ්‍ය කරන පෝෂණය ආදිය ඇස තුළ සංසරණයට උදව් වෙනවා.

ඒ වගේම මේ තරලය රුධිරවාහිනීවල සිට ඇස තුළට ගමන් කරන්නේ ඇස තුළ ඇති ප්‍රතියෝජක පේශී මගින්. ඒ වගේම මේ තරලය පෙරනයක් හා සමාන දැලක් හරහා නැවත රුධිරයට එකතු වෙනවා. යම් හේතුවක් නිසා ඇසේ මේ තරලය අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇස තුළ නිෂ්පාදනයවීම මගින් ඒ තරලය රුධිරය හරහා ඇසෙන් පිටවීම ප්‍රමාද වී ඇස තුළ රැඳී පවතින බැවින් ඇස තුළ වැඩි පීඩනයක් නිර්මාණය වෙනවා.මේ ඇසේ පීඩනය වැඩිවීමයි ග්ලූකෝමා තත්ත්වය ලෙස සලකනු ලබන්නේ. ඇසේ පීඩනය වැඩිවීම නිසා ඇස පිටුපස ඇති සියුම් ස්නායු තන්තුවලට හානි සිදුවීම ආරම්භ වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස දෘෂ්ටික ස්නායුව මියයාමට ලක්ව සදාකාලික අන්ධභාවයට පත්වෙනවා.

ඇසේ පීඩනය දවසේ විවිධ වේලාවන්ට අනුව වෙනස්වීම්වලට ලක්වෙනවා.විශේෂයෙන්ම හෘද ස්පන්දනය,පානය කරන ද්‍රව ප්‍රමාණය, සිටින ඉරියව්ව ආදි හේතු නිසා ඇසේ පීඩනය වෙනස් වුණත් එය ග්ලූකෝමා තත්ත්වය ඇති වෙන්නට බලපාන හේතු වෙන්නේ නැහැ.

ග්ලූකෝමා රෝගය ඇතිවීමට බලපාන හේතු 

  • ඇසේ පීඩනය වැඩිවීම 
  • ජානමය සාධක 
  • ඇසට සිදුවන හදිසි අනතුරු 
  • දිගුකාලීන දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග ආදියෙන් පෙළීම 
  • ඉරුවාරදය රෝගය 
  • ස්ට්‍රොරොයිඩ අඩංගු ඖෂධ වර්ග දිගුකාලීනව භාවිතා කිරීම 
  • බරින් වැඩි උපැස් යුවලක් පැළදීම 
  • දුර පෙනීම අඩුවීම
  • උපතේදී  
  • අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතය 

ඒ හැරුණාම සමාජයේ වැඩිදෙනා අතර  දිගින් දිගටම අධික වශයෙන් කියවීම නිසා හෝ පෝෂණ ඌණතාවයක් ඇතිවූ පමණින් හෝ සිවිකාච පැළදීම මගින් හෝ ග්ලූකෝමා රෝගය වැළදෙන බවට වන මිත්‍යා විශ්වාසයන් ද නැතුවාම නොවෙයි.නමුත් ඒ කාරණා සත්‍යයෙන් තොර අදහස් ලෙසටයි සලකනු ලබන්නේ. 

ග්ලූකෝමා වැළදීමේ අවදානම ඇති පුද්ගලයන් 

  • වයස අවුරුදු 40 ඉක්මවූ අය (නමුත් ඕනෑම වයසක පසුවන අයෙකුට මේ තත්ත්වය ඇති වෙන්නට පුළුවන්.)
  • ග්ලූකෝමා රෝගීන් පවුල්වල ඇති අය 
  • දියවැඩියා රෝගීන් 
  • අවිදූර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන අය හා කලකට පෙර ඇසට හානි සිදුවූ අය 

රෝග ලක්ෂණ 

  • ඇසේ පීඩනය වැඩිවීම. මෙය ක්ෂණිකව පවා සිදුවිය හැකියි.
  • ඇසේ දැඩි වේදනාවක් ඇතිවීම 
  • පෙනීම අපැහැදිලි වීම 
  • දකින වස්තූන්ගේ දර්ශනවල දෙපසින් අඳුරු වීමක් හෝ නොපෙනීම .මෙය ක්‍රමයෙන් වර්ධනයවීමෙන් ඇස දෙපසින් නොපෙනීම හෝ අඳුර වීම වැඩිවීමක් සිදු වෙනවා.
  • වමනය ඇතිවීම 
  • උපතේදී ඇතිවන ග්ලූකෝමාවකදී නම් බිලිදාගේ අක්ෂි ගෝලය විශාල වෙයි.ආලෝකය දෙස බැලීම අසීරු වෙයි. 

ප්‍රතිකාර 

මේ ග්ලූකෝමා රෝගය මුළුමනින්ම සුවපත් කළ නොහැකි නමුත් එය පාලනය කිරීමට හැකියාව පවතිනවා. ඒ සඳහා නිරන්තරයෙන් ඇස් පරීක්ෂා කරවාගෙන ඇසේ පීඩන තත්ත්වය පරීක්ෂා කරවා ගත යුතු වෙනවා. වෛද්‍යවරුන් මූලිකව සිදු කරන්නේ ඇසේ පීඩනය පාලනය කිරීමයි.ඒ වගේම අක්ෂි වෛද්‍යවරයාගේ උපදෙස් අනුව ලබාදෙන ඖෂධ නිසි පරිදි ලබා ගැනීමෙන් මේ රෝගය සාර්ථකව පාලනය කළ හැකියි. මේ ඖෂධ වෛද්‍ය  උපදෙස් මත ජීවිතාන්තය දක්වාම ගත යුතු වෙනවා.ඇතැම්විට ඖෂධවලින් පාලනය කළ නොහැකි වුණොත් ශල්‍ය කර්මයක් කිරීමටත් සිදු වෙනවා.

කොහොමනමුත්  මේ රෝගයට නිසි වෛද්‍ය උපදෙස් ලබා නොගැනීම තුළ ඇසේ පීඩනය වැඩිවීමෙන් දෘෂ්ටි ස්නායුවලට හානි සිදුවී අන්ධභාවය ඇති වෙන්නට පුළුවන්. මොකද ඇසේ ඇතිවන සුද ශල්‍ය කර්මයකින් ඉවත් කර නැවත පෙනීම ලබාගත හැකි වුණත් ග්ලූකෝමාව නිසා පුද්ගලයෙකු සදාකාලික අන්ධභාවයට පත් වෙනවා.ඒ නිසා මේ රෝගය සඳහා නිසි ප්‍රතිකාර ලබාගත යුතුමයි. 

ග්ලූකෝමා රෝගීන් සැලකිලිමත්විය යුතු කරුණු 

  • එක් වරකදී ජලය වැඩි ප්‍රමාණයක් පානය නොකළ යුතුයි.
  • මේ රෝගීන් දුම්පානය හා මත්පැන් පානයෙන් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුයි.
  • නැවුම් එළවලු, පලතුරු හා කොළ කැඳ ආහාරයට එකතු කර ගත යුතුයි 
  • වෛද්‍ය උපදෙස්වලට අනුව ඖෂධ නිසි පරිදි ලබා ගැනීම 

මේ රෝගය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලුදෙනාට වැළදුණත් කාන්තාවන්ට ග්ලූකෝමා රෝගය ඇතිවීමේ ඉහළ අවදානමක් පවතිනවා. පවුල් පරිසරය, ඇස්වලට සිදුවුණු අනතුරු, දියවැඩියාව ආදී රෝග ඇති අය මේ පිළිබඳව  වැඩි අවදානයක් යොමු කර ඇස් පරීක්ෂා කරවා ගැනීම ඉතා වැදගත්.