හුදෙක්ම අපි ගොටුකොළ හඳුනාගනු ලබන්නේ පලා වර්ගයක් ලෙසයි. රසවත් මැල්ලුම්, සලාද ආදිය සකසා ගැනීමට සෑම මුලුතැන්ගෙයක ම පාහේ ගොටු කොළ යොදා ගනී. මෙහි ඖෂධීය වටිනාකම ද ඉතා ඉහළ වෙයි. විශේෂයෙන් අතීතයේ සිංහල වෙදකම තුළ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ද මෙම ගොටුකොළ විවිධ බෙහෙත් වට්ටෝරු සැකසීමේදී භාවිත කර තිබේ. වර්තමානයේ ද එවැනි භාවිතයන් නැතුවාම නොවේ.මිනිස් සිරුරේ නිරෝගීතාවයට හේතුවන මෙම ගොටුකොළවල ඖෂධීය ගුණය නිසාවෙන්ම විවිධ නම් වලින් ගොටුකොළ හඳුන්වයි. නිදසුන් ලෙස
- මහෞෂධී
- දිව්‍යා
- බ්‍රාහ්මී ආදී වශයෙන් ගොටුකොළ වලට අවශේෂ නම් කිහිපයක්ම පවතී.
ගොටුකොළ වල පෝෂ පදාර්ථ රැසක් අන්තර්ගත වන අතර ඉන් ප්‍රධාන කිහිපයක් පහත පරිදි පෙන්වා දිය හැකිය. යකඩ, විටමින් ඒ, විටමින් සී, කැල්සියම් යනාදී පෝෂපදාර්ථ ගොටුකොල වල අන්තර්ගත වේ. මේ අනුව පැහැදිලි වන්නේ ශරීරයේ පෝෂණ අවශ්‍යතාවයන් කිහිපයක්ම සපුරාලීම සඳහා ගොටුකොළ කදිම ආහාරයක් බවයි.
ගොටුකොළ ආහාරයට ගැනීමෙන් හෝ කිසියම් ඖෂධ වට්ටෝරුවක් ඇසුරෙන් භාවිතා කිරීමෙන් ශරීරයට ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ බොහෝමයක් පවතී. ඒවා පිළිබඳ විමසුමක් පහත පරිදි ඉදිරිපත් කළ හැකිය.

නිරක්තිය දුරුකරයි.ගොටුකොල වල යකඩ පෝශ පදාර්තය බහුලව අන්තර්ගත වේ. ඒ අනුව ශරීරයේ රතු රුධිරාණු නිෂ්පාදනයට අවශ්‍ය කරන හිමොග්ලොබින් මට්ටම ඉහළ නංවාලීමේ සුවිශේෂී හැකියාවක් ගොටුකොළ සතුව පවතී. එබැවින් අපගේ දෛනික ආහාර වේල්වලට ගොටුකොළ එක්කර ගැනීමෙන් ශරීරයේ රතු රුධිරාණු හිඟවීමෙන් ඇතිවන රක්තහීනතාවය පාලනය කරගත හැකිය. ආහාරයට ගැනීමට අමතරව ගොටුකොළ යුෂ මේස හැන්දක් මීපැණි තේ හැන්දක් සමග මිශ්‍ර කර පානය කිරීමෙන් ද රක්තහීනතාවය සුවකර ගත හැකිය.
අක්ෂි නිරෝගීමත් කරයි.මිනිසාගේ ඇස් වල නිරෝගීතාවය පවත්වාගෙන යාම සඳහා ඉවහල් වන ඖෂධීය ආහාරයක් ලෙස ගොටුකොළ පෙන්වා දිය හැකිය. විශේෂයෙන් ඇස් ආශ්‍රිතව ඇතිවන ඇස් දැවිල්ල, ඇස් කැසීම, වැනි තත්ත්වයන් දුරුකර ඇස්වල හොඳ පෙනීමක් ලබා ගැනීම සඳහා ගොටුකොළ ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ.
සුවබර නින්දකට මග පාදයි.ගොටුකොළ ආහාරයට එක්කර ගැනීමෙන් මනස සුවපත් වී සුවබර නින්දකට අවස්ථාව ලැබෙනු ඇත. මේ සඳහා ගොටුකොළ පත්‍ර හොඳින් පිරිසිදු කර තම්බා එම යුෂ තේ හැන්දක් පමණ නින්දට පළමුව පානය කිරීමෙන් බාධාවකින් තොරව සුව නින්දක් ලබාගත හැකිය.
දියවැඩියාව පාලනය කරයි.සිරුරේ අයිතිකර සීනි මට්ටම පාලනය කිරීමට කදිම ඔසුවක් ලෙස ගොටුකොළ පෙන්වාදිය හැකිය. විශේෂයෙන් දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින් ගොටුකොළ යුෂ කැඳ ආකාරයට පිළියෙල කර හෝ සලාදයක් ආකාරයට සකසා ආහාරයට එක්කර ගැනීමෙන් දියවැඩියා රෝගය පාලනය කරගත හැකිය.
සමේ රෝග සමනය කරයි.මිනිසාගේ ශරීරයේ අවයව අතුරෙන් සංවේදී ම අවයවයක් වන්නේ සමයි. එබැවින් විවිධ හේතු සාධක මත සම ඉතා ඉක්මනින් ආසාදනයට ලක්වේ. මෙම තත්වය සමනය කර ගැනීම සඳහා ගොටුකොළ වඩාත් යෝග්‍ය වන අතර ගොටුකොළ, ගිතෙල් හා එළකිරි මිශ්‍රකර හොඳින් තම්බා එම ආලේපනය සම මතුපිට ආලේප කිරීමෙන් සමේ රෝග රැසකට සුව සහනය සලසා ගත හැකිය. තවද සමේ ඇතිවන වණ, දද, හොරි හා කුෂ්ට වැනි තත්ත්වයන් වලට ද මෙම ඔසුව වඩාත් සුදුසු වේ.
සෙම් රෝග සුව කරයි.සෙම් කිපීමේ තත්ත්වයන් හේතුවෙන් ඇතිවන සෙම්ප්‍රතික්ෂාව වැනි රෝගී තත්ත්වයන් සුවපත් කර ගැනීම සඳහා ගොටුකොළ වඩාත් යෝග්‍ය වේ. ඊට අමතරව ඇදුම රෝගයට, උණ රෝගයට ද මෙම ඔසුව සුදුසු වේ. මේ සඳහා කළ යුත්තේ ගොටුකොළ පත්‍ර වියළා කුඩු කර ඊට මීපැණි මිශ්‍රකර පානය කිරීම පමණි. තවද ගොටුකොළ සලාදයක් වශයෙන් ආහාරයට ගැනීමද යෝග්‍ය වේ.
මිහිරි කටහඬක් ලබාදෙයි.ගොරෝසු බවෙන් තොර මිහිරි කටහඬක් ලබා ගැනීම සඳහා සෑම දෙනෙක්ම ප්‍රිය කරති. ඒ සඳහා ගොටු කොළ මිටක් පමණ ආමන්ඩ් ඇට දෙකක් සමගින් හොඳින් අඹරා දිනපතා උදෑසන ආහාරයට ගැනීමෙන් මිහිරි කටහඬක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
ධාරණ ශක්තිය වඩවයි.අධ්‍යාපනය ලබන වයසේ දුවා දරුවන්ට මතක ශක්තිය පැවතීම අනිවාර්ය දෙයකි. මන්දයත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මතකය පැවතිය යුතුය. මෙසේ ධාරණ ශක්තිය වඩවා ලීමේ සුවිශේෂී හැකියාවක් ගොටුකොළ සතුව පවතී. මේ සඳහා වියළා ගත් ගොටුකොළ පත්‍ර කුඩු තේ හැන්දක් පමණ මී පැණිත් සමඟ මිශ්‍රකර දිනකට දෙවරක් වන සේ අනුභව කිරීමෙන් මතක ශක්තිය වර්ධනය කර ගත හැකිය.
ශරීරයේ වෙහෙස මහන්සිය දුරු කරයි.ශරීරයේ වෙහෙස මහන්සිය හා තෙහෙට්ටුව දුරු කිරීමේ සුවිශේෂී හැකියාවක් ගොටුකොළ වලට පවතී. ඒ සඳහා ගොටුකොළ, සුදු ලූනු, රතු ලුණු හා ගම්මිරිස් සමග හොඳින් මිශ්‍රකර ආහාරයට ගැනීමෙන් ශරීරයේ වෙහෙස මහන්සිය දුරු කරගත හැකිය.
මුඛ සෞඛ්‍ය සුරක්ෂිත කරයි.මුඛ සෞඛ්‍ය සුරක්ෂිත කිරීමට ද ගොටුකොළ භාවිතා කළ හැකිය. විශේෂයෙන් විදුරුමස් ශක්තිමත් කරමින් අකලට දත් සෙලවීම වලක්වනු ලබන අතර දත්වල මැලියම් ඇතිවීම ද පාලනය කිරීමට ගොටුකොළ වලට හැකියාව පවතී. මේ සඳහා හොඳින් වියළාගත් ගොටුකොළ පත්‍ර කුඩුකර එම කුඩු වලින් දත් මැදීම යෝග්‍ය වේ.

අර්ශස් රෝගය සුව කරයි.විශේෂයෙන් මෙහිදී ලේ පිටවන අර්ශස් රෝගය සුව කර ගැනීම සඳහා ගොටුකොළ භාවිතා කරන අතර රක්ත අතීසාරය, ඇතුළු ලේ ගැලීම් සිදුවන ඕනෑම අවස්ථාවක ගොටුකොළ ආහාරයට ගැනීමෙන් හෝ ගොටුකොළ යුෂ පානය කිරීමෙන් සුවයක් සලසා ගත හැකිය.
නිරෝගී කෙස් කළඹක් ලබාදෙයි.අකලට හිසකෙස් හැලීම හා පැසීම ඇතුළු හිසකෙස් ආශ්‍රිතව ඇතිවෙන රෝගී තත්ත්වයන් සමනය කර ගැනීම සඳහා ගොටුකොළ වඩාත් යෝග්‍ය වන අතර ගොටුකොළ යුෂ භාවිතයෙන් හිසට සත්කාර කිරීමෙන් හිසකෙස් දීප්තිමත් කළු පැහැයක් ගනු ඇත. එමෙන්ම හිසකෙස් නිරෝගී කර දිගු කෙස් කලඹක් ලබා ගැනීමට ද දායක වේ.
ආතරයිටිස් රෝගය සුව කරයි.ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ඇතුළු සුවිශේෂී සංයෝග ගොටුකොළ වල අන්තර්ගතව පවතින අතර එමගින් ආතරයිටිස් වැනි රෝගී තත්ත්වයන් ඇතිවීම පාලනය කරයි. ගොටුකොළ ආහාරයට ගැනීමෙන් කාටිලේජ හා අස්ථි ශක්තිමත් වන අතර ඒ ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් සුව කරගත හැකි ය.
ශරීරයේ විෂ ඉවත් කිරීමට දායක වේ.ප්‍රධාන වශයෙන්ම අපගේ ශරීරයේ අන්තර්ගත විෂ වර්ග ශරීරයෙන් ඉවත් කිරීමට දායක වන්නේ අක්මාව සහ වකුගඩුයි. අක්මාව හා වකුගඩු නිරෝගිමත් කරමින් ශරීරයෙන් විෂ ඉවත් කිරීමේ සුවිශේෂී හැකියාව ගොටුකොළ ආහාරයට ගැනීමෙන් ලබාගත හැකිය.
මොළයේ ක්‍රියාකාරීත්වයට යෝග්‍ය වේ.මොළයේ ස්නායු ඇතුළු නහර වල වඩාත් හොඳ ක්‍රියාකාරීත්වය සඳහා ගොටුකොළ ප්‍රත්‍යක්ෂ ඔසුවකි. ඒ අනුව මානසික ආතතිය පීඩනය වැනි තත්වයන් වලදීද ඉතා පහසුවෙන් ඔරොත්තු දීමේ හැකියාව ගොටුකොළ ආහාරයට ගැනීමෙන් ලබාගත හැකිය.
ඉහත දක්වා ඇති ආකාරයේ සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබාගත හැකි ඖෂධයක් ලෙස ගොටුකොළ හඳුනාගත හැකිය. කුඩා ඉඩක වුවද ඉතා පහසුවෙන් වගා කර ගත හැකියි. විශේෂයෙන්ම මල් බදුන් වල පවා නිවසේ පරිභෝජනයට ප්‍රමාණවත් පරිදි ගොටුකොළ වගා කරගත හැකිය. කාබනික පොහොර යොදා ගනිමින් නිවසේම වගා කර ගන්නා ගොටුකොළ භාවිතා කිරීම මගින් වඩා වැඩි සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාගත හැකිය. එබැවින් ශරීරයට වඩාත් ගුණදායක වන මෙම ඖෂධය සෑම ගෙවත්තකම පාහේ වගා කර ගැනීම අතිශයින්ම වැදගත් වේ.