පරිසරයේ වාතය හා ශරීරයේ රුධිරය කෝප වීම හේතුවෙන් වාතරක්ත රෝගය සෑදේ. විශේෂයෙන් වයස අවුරුදු 50 ඉක්ම වූ පුද්ගලයින් තුළ මෙම රෝගය වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් තිබේ. විශාල රෝග පරාසයක් තුළ මෙම රෝගී තත්ත්වය පැතිරී පවතී.
විශේෂයෙන් සමෙහි ඇතිවන කුෂ්ඨ ආසාදන, අත් සහ පාදවල ඇඟිලි හිරිවැටීම සහ ඒවායේ හැඩය වෙනස් වීම, අධි රුධිර පීඩනය, ආතරයිටිස් රෝගය, විලූඹ ප්‍රදේශයේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන්, කොලෙස්ටරෝල්, අස්ථිවල ඇතිවන රෝග තත්වයන් යනාදී වශයෙන් ශරීරයේ ඇතිවන රෝග තත්ත්වයන් රැසක් පුරා වාතරක්ත රෝගය පැතිරී පවතී.
සාමාන්‍ය පොදු ව්‍යවහාරය තුළ මෙම රෝගී තත්ත්වය හඳුන්වනු ලබන්නේ රක්තවාතය ලෙසයි. එනමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙහි සැබෑ නාමය වන්නේ වාතරක්ත රෝගයයි.
වාතරක්ත රෝගය ඇතිවීමට ප්‍රධාන හේතුව ශරීරයේ ලේ ධාතුව සහ පරිසරයේ වාතය දූෂණය වීම ය. එම හේතුවට අමතරව තවත් බොහෝ හේතු සාධක මෙම රෝගය ඇතිවීමට බලපා තිබේ. ඒ අතර

- උෂ්ණාධික දේශගුණික හා පාරිසරික තත්වයන් වලට වැඩි වශයෙන් නිරාවරණය වීම.
- උෂ්ණ හා ශීත වශයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ ආහාර පාන පරිභෝජනය කිරීම.
- අධික ලෙස තෙල්, සීනි හා පිටි යෙදූ ආහාර පාන පරිභෝජනය කිරීම.
- මස් මාංශ හා බිත්තර වැඩි වශයෙන් පරිභෝජනයට ගැනීම.
- නිතර නිතරම අජීර්ණ රෝග තත්ත්වයන් වලින් පීඩා විඳීම.
- ජීරණයට අපහසු ආහාර පාන නිතර නිතර පරිභෝජනය කිරීම.
- වැඩි කාල වේලාවක් නිරාහාරව සිටීම.
- අවේලාවේ නිදාගැනීම හා රාත්‍රී කාලයේ නිදිවැරීම.
- නිතර නිතරම මානසික චිත්තවේගයන් ට මුහුණ දීම.
- ලවන, අම්ල හා උෂ්ණාධික බවින් වැඩි ආහාර පාන පරිභෝජනය කිරීම.
- කෘතිම හා රසකාරක යෙදූ ක්ෂණික ආහාර පාන පරිභෝජනය කිරීම.
- හෝර්මෝන වල අසමතුලිතතාවයක් ඇතිවීම.
- අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී සිටීම.
- යූරික් අම්ලය වකුගඩුවලින් පෙරීම අවම වී නැවත රුධිරයට එකතු වීම.
- ආදී වශයෙන් හේතු සාධක බොහෝමයක් වාතරක්ත රෝගය ඇතිවීමට බලපානු ලබයි.
- වාතරක්ත රෝගයේ ප්‍රධාන ස්වභාවයන් දෙකක් පවතී. ඒවා වන්නේ,
- උත්තාන වාතරක්තය
- ගම්භීර වාත රක්තය ආදී වශයෙන් පෙන්වා දිය හැකිය.
උත්තාන වාතරක්තය යනු සම ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයකි. විශේෂයෙන් දණහිසින් පහල කොටසෙහි අධික වේදනාවක් සහිතව කුෂ්ඨ රෝගයක් වැනි තත්ත්වයක් ඇති වේ. මෙම උත්ථාන වාත රක්ත රෝගයේ රෝග ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කිරීමේදී පහත රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
- දණහිසෙන් පහළ කොටසෙහි නිශ්චිත ස්ථානයන් කැසීමට ලක්වීම.
- පුපුරු ගැසීම සහ වේදනා සහිත බිබිලි ඇතිවීම.
- එම බිබිලිවල සැරව පිරී පැවතීම.
- එම ස්ථානයේ කැසීම අඩු වී දැවිල්ලක් ඇතිවීම.
- වේදනාව හා දැවිල්ල සමග එම බිබිලි පුපුරා සැරව දියර පිටතට පැමිණීම.
- ඇතැම්විට දණහිසෙන් පහළ කොටසේ කළු පැහැයෙන් යුක්තව ඉදිමුම් තත්ත්වයක් ඇතිවීම.
- ඉදිමුම් ස්ථානයේ සමෙහි ගණ ස්වභාවයක් පැවතීම.
- පාදවල යටි පතුල් පිපිරීම.
- පිපුරුණු යටිපතුල්වල අධික වේදනාවක් ඇතිවීම.
- අධික ලෙස දහදිය දැමීම, උණ සහ හිසරදයක් ඇති වීම.
- මුත්‍රාවල පැහැය වෙනස්වීම හා අඩුවෙන් මුත්‍රා පිටවීම.ඉහත රෝග ලක්ෂණ උත්තාන වාතරක්ත රෝගය පවතින පුද්ගලයින් තුළින් හඳුනාගත හැකිය.
විශේෂයෙන් මෙම වාතරක්ත රෝගයෙන් පීඩා විඳින පුද්ගලයින්ගේ යටි පතුල් පැලීම සුලබ රෝග ලක්ෂණයකි. ඒ අනුව මේ සඳහා කළ හැකි අත් බෙහෙත් කිහිපයකි. ඒවා වන්නේ,

- අමු කහ දෙහි ඇඹුල් වලින් අඹරා යටි පතුල් වල ආලේප කිරීම.
- තෝර කොල ඇල් ජලයෙන් අඹරා ආලේප කිරීම
- නෙල්ලි හා රසකිඳ තම්බා කසායක් සේ පානය කිරීම.ආදී වශයෙනි.
වාත රක්ත රෝගයේ අනෙකුත් ප්‍රභේදය වන්නේ ගම්භීර වාත රක්ත රෝගයයි. මෙම රෝගයේ බලපෑම සිදුවන්නේ අස්ථීන් වල එක් එක් කොටස් වලටයි. මෙම තත්ත්වය ස්ත්‍රීන් තුළ වැඩි වශයෙන් දැකගත හැකි අතර මැදි වියේ ආරම්භ වී වයසට යනතෙක්ම පවතී. මූලික වශයෙන් මෙම රෝග ප්‍රභේදය ඇතිවන්නේ ඇඟිලි පුරුක් වල ය. පසුව එය ශරීරයේ විශාල සන්ධි දක්වාම ව්‍යාප්ත වේ. ගම්භීර වාත රක්ත රෝගයේ රෝග ලක්ෂණ පහත පරිදි පෙන්වා දිය හැකිය.
- අස්ථි හා සන්ධිවල හිරි බවක් පැතිරීම.
- සන්ධිවල චලනය කිරීමට අපහසු තත්ත්වයක් ඇතිවීම.
- අතේ ඇඟිලි සහ පාද කොරවීම.
- සන්ධිවල දැවිල්ල හා ඉදිමුම් බවක් ඇතිවීම.
- පාදවල විළුඹේ ඇතිවන දැවිල්ල හා වේදනාව.
- ආහාර පිළිබඳ රුචියක් නොමැති වීම සහ බඩ පුරවා දැමීම.
- මුත්‍රා පිටවීම අවම වීම. ආදී වශයෙන් ගම්භීර වාත රක්ත රෝගයෙහි රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකිය.
මෙම රෝගය ශරීරයේ කුඩා සන්ධියකින් ආරම්භ වී කශේරුකාව දක්වාම ව්‍යාප්ත වීම සිදුවේ. මෙම සන්ධි ප්‍රදාහ තත්ත්වයන් උත්සන්න වූ විට එදිනෙදා වැඩකටයුතු පවා කර ගැනීමට අපහසු වේ. ඒ අනුව,
- සුළු බරක් එසවීමට අපහසු වීම
- පඩිපෙළවල් නැගීමට අපහසු වීම
- දොර අගුල විවෘත කිරීමට අපහසු වීම
- කොණ්ඩය පීරීම ට අපහසු වීම ආදී වශයෙන් අපහසුතා ඇති වේ.
වාතරක්ත රෝගයෙහි ප්‍රභේදයන් පිළිබඳව ඉහතින් සාකච්ඡා කර තිබේ. ඒ අනුව වාතරක්ත රෝගය ට නිසියාකාරව ප්‍රතිකාර නොගැනීම තුළ වෙනත් රෝගයක් ඇති වේ. එම රෝගය වන්නේ ආමවාත රෝගයයි.
ආම වාත රෝගයේ දී ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ අස්ථි ආසන්නයේ වේදනාවක් හා දැවිල්ලක් ඇති වීමයි.
මේ අනුව වාතරක්ත රෝගය ට නිසි වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් එම රෝග පැතිරී යන පරාසය වළක්වාගැනීමට කටයුතු කළ යුතුය. එමඟින් මෙම රෝග ඇතිවීම වලක්වා ගත හැකිය.