තයිරොයිඩ් ග්‍රන්ථිය ලෙඩවීගෙන එන විට කල්තියා සිරුරේ ඇතිවෙන වෙනස්කම් 24 ක්

health tips

තයිරොයිඩ් ග්‍රන්ථිය යනු බෙල්ලේ මධ්‍යයේ (උගුරු දණ්ඩයට පහළින් ) පිහිටා ඇති සමනල හැඩැති ග්‍රන්ථියක් වන අතර එය සිරුරට නැතිවම බැරි තයිරොක්සින් නම් තයිරොයිඩ් හෝමෝන නිපදවයි. ඒවා රුධිරය ඔස්සේ සිරුරේ වෙනත් අවයව වෙත ගමන් කරයි.සාපේක්ෂව කුඩා වුවද, එය පරිවෘත්තීය ක්‍රියා පාලනය කරන ප්‍රධාන ග්‍රන්ථිය ලෙස සලකනු ලබන අතර හදවත, මොළය, අක්මාව, වකුගඩු සහ සම ඇතුළු බොහෝ වැදගත් අවයවවල ක්‍රියාකාරිත්වයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඔබේ ශරීරයේ සමස්ත සෞඛ්‍යය සඳහා, තයිරොයිඩ් ග්‍රන්ථිය නිරෝගීව සිටීම සහ නිසි ලෙස ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ.

මෙම හෝර්මෝන මට්ටම් අඩුවීම හෝ අධික ලෙස වැඩිවීම සිරුරේ නොයෙකුත් ගැටලු අපහසුතා ඇතිකරයි. මන්දතයිරොයිඩතාව (hypothyroidism) හා අධි තයිරොයිඩතාව (hyperthyroidism) යනු එවැනි තයිරොයිඩ් ගැටලු දෙකකි.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම සමඟ ඇතිවන්නේ මන්දතයිරොයිඩතාවයි.තයිරොයිඩ් හෝර්මෝන අඩුවීමෙන් සිරුරේ අනෙකුත් ඉන්ද්‍රියන්ට නොයෙකුත් ආකාරයේ අනිසි බලපෑම් ඇතිවීමට පටන්ගනියි. තයිරොයිඩ් ග්‍රන්ථිය නිසි ලෙස ක්‍රියා නොකිරීමෙන් මේ තත්වය හටගනියි.මෙම තත්වයේ මූලික අවධි වලදී කිසිඳු පැහැදිලි රෝග ලක්ෂණයක් දකින්නට නොලැබෙයි.මෙම තත්වයට නිසි ලෙස ප්‍රතිකාර නොගැනීමෙන් එය වෙනත් බරපතල සෞඛ්‍ය ගැටලු දක්වාම උත්සන්න වීමට පුළුවන්.

මන්දතයිරොයිඩතාව ඇතිවීමට බලපෑ හැකි හේතු මොනවාද?

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩිවීම අධි තයිරොයිඩතාව ලෙස හඳුන්වයි.මෙහිදී ඇතිවන්නේ ඉහත සඳහන් තත්වයට ප්‍රතිවිරුද්ධ ලක්ෂණය. සිරුරට අත්‍යවශ්‍ය ප්‍රමාණයටත් වඩා අධිකව තයිරොයිඩ් හෝර්මෝන නිපදවීමට පටන්ගැනීමත් සමඟ සිරුරේ පරිවෘත්තිය වඩාත් වේගවත් වී අනපේක්ෂිත ලෙස සිරුරේ බර වේගයෙන් අඩුවී යාම සිදුවිය හැකියි. එමෙන්ම හදවතේ ගැස්ම වඩාත් වේගවත්වෙයි.

හෂිමෝටෝ රෝගය (Hashimoto’s disease) යනු මන්දතයිරොයිඩතාවට මූලික විය හැකි ප්‍රධානම රෝග තත්වයකි.ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් ස්වයංව නිපදවන ප්‍රතිදේහ තයිරොයිඩ් ග්‍රන්ථියට හානිකිරීමට පටන්ගැනීම රෝගයේ ස්වභාවයයි.තයිරොයිඩ් ග්‍රන්ථිය ආසාදනය වීමෙන් ඇතිවන තයිරොයිඩයිටිස් තත්වය, ඇතැම් ඖෂධ වර්ග,අයඩින්,පිටියුටරි ග්‍රන්ථි රෝග සහ විකිරණ ප්‍රතිකාර ක්‍රම වලට ලක්වීම ද ඔබව මන්දතයිරොයිඩතා අවදානමට ඇද දැමිය හැකියි.

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව සිදුකරන ඇතැම් සැත්කම් වලින් පසුව ද මෙම අවදානම ඇතිවීමට ඉඩ තිබෙයි.මන්දතයිරොයිඩතාව උපතින්ම තිබිය හැකියි (මෙය congenial hypothyroidism තත්වයයි).

රෝග ලක්ෂණ:

  • සිරුරේ තෙහෙට්‍ටුව
  • සන්ධි හා මාංශ පේශී වල දැඩි අපහසුතා මතුවීම
  • සිරුරේ බර වැඩිවීම
  • මුහුණ ඉදිමීම
  • සීතල නොඉවසීම/දරාගතනොහැකිවීම
  • මලබද්ධය
  • සම අධිකව වියළීම
  • කෙස්කලඹ තුනීවීම
  • දහඩිය දැමීම අඩුවීම
  • ඔසප් චක්‍ර වල අක්‍රමත්බව හා අධික රුධිර වහනය
  • කාන්තාවන් තුළ සරුබව පිළිබඳ ගැටලු
  • විශාදය
  • හෘද ස්පන්දන වේගය අඩුකම
  • වායුගෙඩි හෙවත් ගලගණ්ඩය (goiter)

මන්දයිරොයිඩතාව යනු සෙමින් වර්ධනය වන රෝගයකි.ඇතැම් අය තුළ මාස ගණනක් ඇතැම් විට අවුරුදු ගණනක් ගත වුවද රෝග ලක්ෂණ මතුනොකරයි.

මාරාන්තික නිරක්තිය හෝ රූමටොයිඩ් ආතරයිටීස් රෝගයෙන් පෙළෙන අයට මෙම අවදානම වැඩිය.

කාන්තාවන් හා වයස අවුරුදු 60ට වැඩි අය අවදානම් කාණ්ඩයේ පසුවෙති.

මින් පෙර තයිරොයිඩ් ගැටලුවකින් පෙළී ඇත්නම් හෝ තයිරොයිඩ් ග්‍රන්ථිය, බෙල්ල හෝ පපුව ආශ්‍රිත විකිරණ චිකිත්සාවන්ට ලක්වී ඇත්නම් ද මෙම බලපෑම එල්ල විය හැකියි.

අධි තයිරොයිඩතාව ඇතිවීමට බලපාන හේතු මොනවාද?

බොහෝ දුරට මේ තත්වයට මූලිකව බලපාන්නේ ග්‍රේව්ස් රෝගයයි (Graves’s disease). ස්වයංප්‍රතිශක්තිකරණ රෝගයක් වන මෙය වැළඳීමෙන් පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තයිරොයිඩ් ග්‍රන්ථියට එරෙහිව හානි කිරීමට පටන්ගනියි.එහි ප්‍රතිඵලයක් ලෙස අධිකව හෝර්මෝන නිපදවෙයි.

තයිරොඩයිටිස් හෙවත් ආසාදනයට ලක්වීමෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රදාහයට ලක්වීම  හේතුවෙන් ද තයිරොයිඩ් හෝර්මෝන අධිකව ස්‍රාවය වීමට පටන්ගත හැකියි.

තයිරොයිඩ් හෝර්මෝන නිපදවීම සඳහා අයඩින් වැදගත්ය. කෙසේවෙතත් අධික අයඩින් ප්‍රමාණයක් ශරීරගත වීම තයිරොයිඩ් ග්‍රන්ථි වල එම හෝර්මෝන අධිකව නිපදවීමට තුඬු දෙයි.

ඇතැම් ඖෂධ වර්ග, කැස්ස සිරප්, මුහුදු පැළෑටි සහ මුහුදු ශාකසාර වලින් සැදූ සප්ලිමන්ය් වර්ග වල අයඩින් අඩංගුය.

ඔබ මන්දතයිරොයිඩතාවට හෝර්මෝන චිකිත්සක ප්‍රතිකාර ලබාගන්නේ නම් ,තයිරොයිඩ් බෙහෙත් ඖෂධ අධිකව ශරීරගත වීම අධි තයිරොයිඩතාවට හේතු විය හැකියි.

වයස අවුරුදු 50 ඉක්මවීමත් සමඟ මෙම ග්‍රන්ථි ආශ්‍රිත ගැටලු ඇතිවීමේ අවදානම ඉහළ යා හැකියි. එම නිසා තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටිති ඇත්දැයි පරික්ෂාවක් කරගැනීම වඩාත් සුදුසුයි.මෙම ගැටිති වර්ධනය වීමෙන් ග්‍රන්ථිය තුල හෝර්මෝන අධිකව නිපදවීමට පටන්ගත හැකියි.

රෝග ලක්ෂණ:

  • නොසන්සුන්බව
  • නුරුස්නාබව
  • සිරුරේ තෙහෙට්‍ටුව
  • මාංශ පේශී වල අප්‍රාණිකත්වය
  • නිදාගැනීමේ අසීරුතා
  • වෙවුළුම (ගැස්ම වැඩිවීම)
  • පාචනය 
  • වේගවත් හා අක්‍රමවත් හෘද ස්පන්දනය
  • බර අඩුවීයාම
  • මනෝභාවයන් (moods) වෙනස්වීම
  • වායු ගෙඩි හෙවත් ගලගණ්ඩය (goiter)

පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගයෙන්,(මූලික අවධියේ) ඇඩ්‍රිනලින් හිඟකම, මාරාන්තික නිරක්තියෙන් පෙළෙන්නන් තුළ අධි තයිරොයිඩතාව වැළඳීමේ අවදානම ඉහළය.

තයිරොයිඩ් සැත්කමකට ලක්වූ හෝ මින් පෙර තයිරොයිඩ් ආශ්‍රිත ගැටලුවකින් පෙළුණු අයට අධි තයිරොයිඩතාව ඇතිවීමේ අවදාමක් තිබිය හැකියි.

පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට මෙම රෝග අවදානම වැඩි බව අධ්‍යයන පෙන්නුම් කරයි.

පවුලේ තයිරොයිඩ් රෝග ඉතිහාසයක් ඇති අයට ද මෙම අවදානම ඇතිවිය හැකියි.

මන්දතයිරොයිඩතාවේදී තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් තවදුරටත් නොනිපදවන හෝර්මෝන වෙනුවට ආදේශක ඖෂධ ලබාදෙමින් ඊට ප්‍රතිකාර කරයි.මෙම ඔසු ගැනීමෙන් සති 6-8කට පසු රුධිර පරික්ෂාවක් හරහා ඔබේ තයිරොයිඩ් හෝර්මෝන මට්ටම් පරික්ෂා කර බලයි.නිසි ප්‍රතිකාර ගැනීමෙන් මෙම රෝගය හොඳින් පාලනය කරගත හැකියි.වෛද්‍යවරයා ලබාදෙන ඖෂධ වර්ග නිසි උපදෙස් වලින් තොරව භාවිතය නැවැත්වීමෙන් වළකින්න.ඔබ පරිභෝජනය කළ යුතු හා නොකළ යුතු ආහාර පාන, සප්ලිමන්ට් වර්ග හා ඖෂධ වර්ග ගැන නිසි වෛද්‍ය උපදෙස් ලබාගන්න.

අධි තයිරොයිඩතාව මන්දතයිරොයිඩතා තත්වයකට පරිවර්තනය විය හැකිද?

ඔව්,අධි ක්‍රියාකාරීව පවතින තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට ලබාදෙන ඖෂඪ වර්ග කාලයක් තිස්සේ ගැනීමෙන් මෙම තත්වය ඇතිවීමේ හැකියාව තිබෙයි.ඇතැම් තත්වයන් යටතේ කාලයත් සමඟ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරී බව අඩු වී යාමට ඉඩ තිබෙයි.

වඩාත් බරපතල තත්වය මන්දතයිරොයිඩතාවද? අධි තයිරොයිඩතාවද?

අධි තයිරොයිඩතාව හෘදයේ රිද්මය ආශ්‍රිත ගැටලු ඇතිවීමේ අවදානම ඉහළ දමයි (Atrial fibrillation නම් අක්‍රමවත් හා අසාමාන්‍ය ලෙස වේගවත් හෘද ස්පන්දන වේගයක් ඇතිවීමේ හෘද ගැටලු තත්වය ලෙස වර්ධනය විය හැකියි).නිසි ලෙස ප්‍රතිකාර නොකිරීමෙන් අධි තයිරොයිඩතාව ඔස්ටියෝපොරෝසිස් සහ අස්ථි බිඳුම් රෝග වලට තුඬු දිය හැකියි.අධි තයිරොයිඩතාවට සාපේක්ෂව මන්දතයිරොයිඩතාවෙන් ඇතිවන ගැටලු තත්වයන් අඩුය.මන්දතයිරොයිඩතාවට වඩා අධි තයිරොයොඩතාව එතරම් බහුල නැත.බර වැඩිවීම සහ සිරුරේ ශක්තිය ගෙවී ගොස් වියපත් ස්වභාවයක් ගැනීම  වයස්ගත වීමේදි සිරුරේ පොදුවේ මතුවන ලක්ෂණ නිසා බොහෝ විට මන්දතයිරොයිඩතා ලක්ෂණ වෙන්කර හඳුනාගැනීම ඉතා අසීරු විය හැකියි.

වෛද්‍යවරුන් විසින් රෝග ලක්ෂණ සලකා බැලීම හා තයිරොයිඩ් පරික්ෂාවන් සිදුකිරීම හරහා මෙම රෝග තත්වයන් දෙක වෙන්කොට හඳුනාගනියි.

අධි තයිරොයිඩතා ගැටලු වලදී බෙහෙත් ඖෂධ (ප්‍රතිතයිරොයිඩ හෙවත් තයිරොයිඩ් හෝර්මෝන නිපදවීම අඩුකරවන ඖෂධ), රේඩියෝඅයඩින් චිකිත්සාව හා තයිරොයිඩ් සැත්කම් මඟින් ප්‍රතිකාර කෙරේ.මන්දතයිරොයිඩතාවට ප්‍රතිකාර කිරීම ගැටලුකාරීබවින් අඩුය.නමුත් අනෙක් තත්වයට වඩා ඉන් දිගුකාලීන සෞඛ්‍ය ගැටලු කිහිපයක් මතුවීමට ඉඩ තිබෙයි.ඇතැම් දුර්ලභ අවස්ථා වල තයිරොයිඩ් ග්‍රන්ථියේ කොටසක් හෝ පූර්ණ වශයෙන් සැත්කමකින් ඉවත් කරනු ලැබේ.පූර්ණ වශයෙන්  ග්‍රන්ථිය ඉවත්කිරීමෙන් අනතුරුව දිවි ඇති තෙක්ම තයිරොයිඩ් ඖෂධ ගැනීමට රෝගීයාට සිදුවෙයි.එවැනි පුද්ගලයින් වෛද්‍ය උපදෙස් යටතේ ආහාර පාන, සප්ලිමන්ට් වර්ග සහ බෙහෙත් ඖෂධ වර්ග ලබාගැනීමට සැලකිලිමත් වීම වැදගත්. මෙම රෝග ඇතිවීම වැළැක්විය හැකි නිශ්චිත ප්‍රතිකාර ක්‍රම නැත.