මීට වසර ගණනාවකට කලින් අපේ පැරණි උදවිය නිතරම තමන්ගේ ආහාර වේලට එකතු කරගත්, යම් යම් ආහාර සහ ඖෂධ පැලෑටි පිළිබඳව දැන් දැන් අපේ නූතන පරපුර වැඩි අවධානයක් යොමු කරන බවක් දකින්නට ලැබෙනවා. මොකද අපි හැමෝම දන්නවා අද වගේ නෙවෙයි එදා අපේ මුතුන් මිත්තන් නීරෝගීව බොහෝ කාලයක් ජීවත් වුණේ මේ හෙළ ආහාර පානවලට සහ හෙළ ඔසුවලට පින්සිදු වන්නට. ඒ නිසාවෙන් නීරෝගී ජාතියක් ලෙස නැගී සිටින්නට නම් මේ වැළලී යන අපේ දේශීය ආහාර ගැන අපි දැනුවත්වීම අත්‍යවශ්‍යයි . ඉතින් කැහිපිත්තන් කියන්නේ වර්තමානයේ ජනතාව අතර තරමක් ජනප්‍රිය වෙමින් යන වටිනා ශාකයක්. ඉතාම රසවත් ආහාරයක්. ලෙඩ රෝග බොහොමයකටම බලගතු ඔසුවක්. ඉතින් අපි අද කතා කරමු මේ කැහිපිත්තන් ශාකය අපට නිරෝගී ජීවිතයක් ගත කරන්නට දායක වෙන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව.
මේ කැහිපිත්තන් වැලක් වශයෙන් දකින්නට හැකි ඕනෑම ගෙවත්තක වගා කරගත හැකි ශාකයක්. මේ පැලෑටියේ බීජ මගින් මේවා රෝපණය කරගන්නට පුළුවන්. මේ පැලෑටියේ මුල් පසේ ගැඹුරටම ගමන් කරනවා. ඒ නිසා කැහිපිත්තන් වැලක් විනාශ කිරීම ලෙහෙසි පහසු වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මෙහි මුල් ඉතා ශක්තිමත් වීමත් ඒ සඳහා බලපාන තවත් හේතුවක්. ඉතින් මේ කැහිපිත්තන් ආහාර ගැනීමට පෙර සහ පසුවත් ආහාර ගන්නා අතරෙත් භාවිතයට ගන්නට හැකියාව ඇති පැලෑටියක් වීමත් විශේෂත්වයක්.
මේ කැහිපිත්තන් කොළ ජෙලි වශයෙන් සකස් කර ගැනීම කුඩා දරුවන්ටත් අමුත්තන්ට සංග්‍රහ කරන්නත් කදිමයි. ඒ හැරුණාම මේ කොළ කිහිපයක් කැඳවලට එකතු කර උණුසුමින් පානය කිරීමත් ඉතා ගුණදායකයි. ඒවගේ අවස්ථාවක උණුසුමෙන් පානය කිරීම සුදුසු වෙන්නේ මේ කැහිපිත්තන් යුෂ ඉතා ඉක්මනින් ඝනවීමේ හැකියාවෙන් යුක්ත නිසා. ඒ හැරුණාම මේ කොළ හපා යුෂ ගිලීමෙන් පවා අපිට මේ පැලෑටියේ අපූරු ගුණ ලබා ගන්නට පුළුවන්.
කැහිපිත්තන් ජෙලි ආහාරයට ගැනීමෙන් සුවකරගත හැකි රෝග

- විදුරුමස් දියවීම, මුඛයේ තුවාල සහ දැවිලි ආදී මුඛය ආශ්‍රිත රෝග සඳහා ගුණදායකයි.මේ කැහිපිත්තන් පැලෑටියේ කොළයක් හැපීමෙන් පවා මේ මුඛය ආශ්‍රිත රෝග සියල්ලක්ම ඉතා පහසුවෙන් සුව වෙන බවයි සඳහන් වෙන්නේ.
- මුත්‍රා දැවිල්ල සඳහා ගුණදායකයි.
- රුධිරගත සීනි මට්ටම අඩු කිරීමේ හැකියාවෙන් සමන්විතයි.
- අර්ශස් රෝගීන්ට ගුණදායකයි.මේ ආහාරය සති දෙකක පමණ කාලයක් දිනපතා ආහාරයට ගැනීමෙන් අර්ශස් රෝගීන්ට හොඳ සුවයක් ලබා ගන්නට පුළුවන්.
- ආසාත්මිකතා සුව කරයි.
- සෙංගමාලය සුව කරයි.
- මුත්‍රා ගල් සුව කරයි.
- අක්මාව නීරෝගී කරයි.
- පපුවේ දැවිල්ල සමනය කරයි.
- අමිල පිත්ත රෝගය සඳහා ඉතා ගුණදායකයි.මේ සඳහා කැහිපිත්තන් ජෙලි ආහාරයට ගැනීම ඉතාම ගුණදායක පිළියමක්.
- චර්ම රෝග සුව කිරීමට ඉතා සුදුසුයි.
- සර්ප විෂට ඉතාම ගුණදායකයි.
- පත්තෑ ගෝනුසු ආදී සර්ප දෂ්ටනවලදී මේ කැහිපිත්තන් කොළයක් හපා ඒ ස්ථානයේ ආලේප කිරීම සුදුසුයි.
රසවත් ගුණවත් කැහිපිත්තන් ජෙලි සාදා ගන්නා ආකාරය

සෝදාගත් කැහිපිත්තන් කොළ ලුණු මිශ්‍ර ජලයේ විනාඩි 3 ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසුව තරමක් කුඩා කෑලිවලට කපාගත් කැහිපිත්තන් කොළ බ්ලෙන්ඩර් කප් එකට දමා රසය වැඩිකර ගන්නට සීනි හෝ මී පෑණි එකතු කරන්න. දියවැඩියා රෝගින්ට මෙසේ සීනි හෝ මී පැණි එකතු නොකර සාදා ගන්නත් පුළුවන්. ඉන්පසුව එයට වතුර ¾ ක් එකතු කර බ්ලෙන්ඩර් කර හොඳින් පෙරාගන්න. ජලය වැඩි වශයෙන් එකතු කිරීම මෙය මිදීම සඳහා වැඩි කාලයක් වැය කරන්නට හේතුවක් වෙනවා.
ඉන්පසුව කැහිපිත්තන් යුෂ භාජනයකට දමා එයට කස කසා ඇට තේ හැන්දක් සහ වියළි මිදි එකතු කර හොඳින් මිශ්‍රකර වසා කාමර උෂ්ණත්වයේ පැයක් පැය 1 ½ ක කාලයික් තබන්න. ඉන්පසුව හොඳින් මිදී ඇති රසවත් කැහිපිත්තන් ජෙලි ආහාරයට ගන්න.
කැහිපිත්තන් ජෙලිවලට සීනි හෝ මී පැණි එකතු නොකර සාදා ගෙන අනුභව කරන විට එයට සීනි එකතු කර ගන්නත් පුළුවන්. එසේත් ඇත්නම් සීනි මී පැණි ආදී කිසිවක් එකතු නොකර මේ ජෙලි ආහාරයට ගන්නත් පුළුවන්.
ඉතින් මෙය ලෙඩරෝග බොහොමයකට ගුණදෙන හරි අපූරු රසවත් ආහාරයක්. ඔබේ ගෙවත්තේ ඔබටත් මේ කැහිපිත්තන් කොළ සොයා ගත හැකි නම් මේ රසවත් ආහාරය සකසා රසවිදින්න. එය දිව පිනවන ආහාරයක් පමණක් නොව දිවි සුරකින නිරෝගි සුව වඩවන ආහාරයක්.