අපි හැමෝම ලස්සනට ඉන්න කැමතියිනේ. කාන්තාවක් හෝ වේවා පිරිමියෙක් හෝ වේවා ඒ පුද්ගලයාගේ සුන්දරත්වය ඔප් නංවන අංගයක් තමයි හිසකෙස් කියන්නේ. කාන්තාවකට වගේම පුරුෂයෙකුටත් හිසකෙස් සම්බන්ධයෙන් විවිධ ගැටළු පැන නගිනවා. ඒ නිසා බොහෝ අය කනස්සලෙන් තමයි ඉන්නේ. අකලට හිසකෙස් සු සුදුවීම කියන්නේ තරුණ තරුණියන් බොහෝදෙනා පීඩාවට පත්වෙලා ඉන්න රෝගී තත්ත්වයක්. වයසට යාමත් සමඟ හිසකෙස් සුදුවීම සාමාන්‍ය දෙයක් වුණාට තරුණ වයසේදී එවැනි තත්ත්වයක් ඇතිවීම ලැජ්ජාවට කාරණයක් . නමුත් අද මේ තත්ත්වය සුලබ දෙයක් බවට පත්වෙලා. ඒ නිසා අකලට හිසකෙස් සුදුවීමෙන් පීඩා විදින අපහසුතාවයට පත්වෙලා සිටින ඔබට නිවසේදී කළ හැකි සත්කාර කිහිපයක් පිළිබඳව කියලා දෙන්නට අපි සිතුවා.
කෙස් ගසේ මුල ග්‍රන්ථි කෝෂ සඳහා රුධිරය මගින් අවශ්‍ය කරන පෝෂණය ලබාදීම සිදුකරනවා. එයින් හිසකෙස්වල වර්ණය ඇතිවෙනවා. හිසකෙස්වල කළු වර්ණය ලබාදෙන්නට හේතුවෙන්නේ මෙලනින් නම් රසායනිකය. නමුත් වයසට යත්ම රුධිරයේ වර්ණාංශු හීනවීමෙන් හිසකෙස් සුදුවීම සිදුවෙනවා. මෙය සාමාන්‍ය ස්වභාවයක් වුණත් අකාලයේ හිසකෙස් සුදුවීම නම් රෝගයක් විදියටයි සලකනු ලබන්නේ. මේ සඳහා හේතු ගණනාවක් බලපානු ලබනවා.
අකලට හිසකෙස් සුදුවීමට හේතු

- ජානමය බලපෑම
- විටමින් B 12 ඌණතාවය
- තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු
- මානසික පීඩනය සහ ආතතිය
- කෝලා වර්ග, බර්ගර් වර්ග, පේස්ට්රි වර්ග ටින් කෑම වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය ප්‍රධාන පෝෂක වන කැල්සියම්, විටමින් D – 3, කොපර් සින්ක් ආදී පෝෂක ශරීරයට නොලැබීයාම.
- කෘතීම ලෙස සකස් කළ ආහාර නිතර පරිභෝජනය
- ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපාන රෝගී තත්ත්වයන්. මේ නිසා සෛලවලට වන බලපෑමෙන් අකලට හිස කෙස් සුදු වෙන්නට පුළුවන්.
- කොණ්ඩය සඳහා ගල්වන විවිධ කෘතීම ආලේපන හා කෘතීම සේදුම්කාරක
- ප්‍රමිතියෙන් තොර ෂැම්පු, කන්ඩිෂනර්, ඩයි වර්ග, හෙයා ජෙල් හා ස්ප්‍රේ වගේ නිෂ්පාදන තුළ ඇති රසායන මගින් හිසකෙස්වල කළු වර්ණය සඳහා හේතුවන මෙලනින් නිෂ්පාදනය අඩුවීම නිසා හිසකෙස් සුදුවීම සිදුවෙනවා.
- දුම්පානය
- හිස දිනපතා පිරිසිදු නොකිරීම.
- උණුසුම් ජලය ස්නානය
- දියවැඩියාව ,නිරක්තිය හා මල බද්ධය
- දීර්ඝකාලීන පීනස
අකලට හිසකෙස් සුදුවීම වළකා ගන්නට කළ හැකි දේ

ජානමය හේතු නිසා ඇතිවන හිසකෙස් සුදුවීමට නම් තවමත් නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ.නමුත් අනෙකුත් හේතු සාධක මත හිසකෙස් සුදුවීම වළක්වා ගන්නට අපට හැකියාව තියෙනවා.
- විටමින් B 12 අඩංගු මස් වර්ග, බිත්තර, සැමන් තලපත් මාළු, මී කිරි හා චීස් ආදී ආහාර ලබා ගන්න.
- ස්ට්‍රේට් මැෂින් මගින් හිසකෙස් සැකසීම අවම කරන්න.
- කොළ පැහැති පලා වර්ග, එලවළු හා පලතුරු ආහාරයට ගන්න.
- නිතර නිතර හිසකෙස් හිරු එළියට නිරාවරණය නොකරන්න.
- පිරිසිදු පොල්තෙල්වලින් හිසකෙස් මසාජ් කරන්න.
- හැකි සෑම විටම හිසකෙස් පනාවකින් පීරන්න.
- තයිරොයිඩ් හා දියවැඩියාව යන රෝගී තත්ත්වයන්ට නිසි ප්‍රතිකාර ලබා ගැනීම.
ස්වභාවික සත්කාර

මේ සත්කාර මගින් දවසකින් දෙකකින් ප්‍රතිඵල ලබා ගන්නට නොහැකි බව මතක් තබා ගන්න. මේ ප්‍රතිකාර මගින් හොඳ ප්‍රතිඵලයක් අත්කරගන්නට යම් කාලයක් ගත වෙනවා. නමුත් මේ ප්‍රතිකාර ස්වාභාවික ඒවා නිසාත් නිවසේදී තමා විසින්ම සකසා ගෙන කරන නිසාත් එයින් හානිදායක අතුරු ප්‍රතිඵල හිමිවෙන්නේ නැහැ. නමුත් අකලට හිසකෙස් පැසෙන්නට බලපාන හේතුව කුමක් ද යන්න හොඳින් දැනුවත්ව ඒ සඳහා ප්‍රතිකාර කිරීමට වග බලා ගන්න. විශේෂයෙන්ම මේ කිසිම ප්‍රතිකාරයක් සිතුමතේ නොකර වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න.
- තලාගත් ඉඟුරු ස්වල්පයක් මී පැණි මේස හැන්දකට මිශ්‍රකර උදේ ආහාරයට ගන්න.
- කරපිංචා කොළ කොටා එහි යුෂ හිසේ ගල්වා පැයක් තබා සෝදා හරින්න.
- කරිවිල යුෂ ගෙන එයට ඔලිව් තෙල් සහ තල තෙල් මිශ්‍රකර හිසේ ආලේප කර මද වේලාවක් තබා සෝදා හරින්න.
- කරපිංචා කොළ කිහිපයක් සහ උළුහාල් ස්වල්පයක් පොල්තෙල්වලට දමා රත්කර හිසේ ගල්වා තබා පැයකින් පසුව සෝදා හරින්න.
- පිරිසිදු එළගිතෙල් හිසේ ගල්වා සම්බාහනය කර සෝදා හරින්න. මේ සත්කාර සති දෙකකට වරක් කිරීම ප්‍රමාණවත්.
- පේර කොළ කොට එහි යුෂ හිසේ ගල්වා පැයකින් පමණ සෝදා හරින්න.
- කීකිරිදිය කොළ, මරතොන්ඩි කොළ, නිල් අවරිය කොළ සමව ගෙන කොටා ඒ යුෂ හිස ගල්වා විනාඩි 30 කින් සෝදා හරින්න.
- ස්නානයට පෙර පොකුරු වද මල් සිහින්ව අඹරා හිස ගල්වා සෝදා හරින්න.
- නෙල්ලි වියළා කුඩු කර පොල්තෙල් සමඟ මිශ්‍රකර රත්කර හිසකෙස්වල ආලේප කරන්න.
- නෙල්ලි යුෂ ස්වල්පයක් ඔලිව් තෙල් සමඟ මිශ්‍රකර රාත්‍රියේ දී හිස ගල්වා පසුදා සෝදා හරින්න.
- වියළි නෙල්ලි කැබලි ජලයේ දමා පැයක් පොගවා උදෑසන ඒ ජලයෙන් හිස සේදීම.
අකලට හිසකෙස් සුදු වෙනවාට තෙලක්

- මුල් සමඟ ගලවා සෝදාගත් මුකුණුවැන්න කොටා මිරිකා පෙරාගත් යුෂ බෝතල් 1
- අමු නෙල්ලි කොටා මිරිකා ගත් යුෂ බෝතල් 1
- කීකිරිදිය කොටා මිරිකා ගත් යුෂ බෝතල් 1
- පිරිසිදු එළකිරි බෝතල් 2
- හොඳ තල තෙල් බෝතල් ½
- එරඩු තෙල් ½
- එළගිතෙල් බෝතල් ½
සාදා ගන්නා ආකාරය – මේ සියලුම දේ මැටි බදුනකට දමා ලිප තබා පැහෙන විට ගින්දර අඩුකර මද ගින්නේ තබා එයට අරළු, සුදු හදුන්, නාමල් රේණු, සුවඳ කොට්ටන්, සැවැන්දරා, වගපුල් කලං එක බැගින් ගෙන අව්වේ වේලා කොටා ඒ බදුනට දමා හොඳින් වතුර හිදෙන තුරු හැදි ගාන්න. සම්පුර්ණයෙන් සිදුණු පසුව නිවෙන්නට තබා පෙරා බෝතලයකට දමා භාවිතා කරන්න.