ප්‍රධාන ආහාරය බත් වෙච්ච අපේ රටේ අපි සහල් සෝදපු ජලයෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැතිව විසි කරනවා. බත් අපේ කුස පුරවනවා වගේම සහල් වතුරෙන් වෙනත් ප්‍රයෝජන බොහොමයක් අපිට ගන්නට පුළුවන්. ඒ අතුරින් විස්මිතම ප්‍රයෝජනයක් වෙන්නේ අපේ හිසකෙස් වර්ධනයට එයින් ලැබෙන දායකත්වය.ඉතින් අපි අද කතා කරමු හිසකෙස් වැවෙන්නේ නැති අයට කොණ්ඩයේ ඝණකම අඩු අයටත්, හිසකෙස් කළු කර ගන්නටත් එකසේ සාර්ථක ප්‍රතිඵල ගන්නට හැකියාව තියෙන හාල් වතුර ගැන.
අද කාන්තා පිරිමි භේදයකින් තොරව හැමෝටම හිසකෙස් සම්බන්ධව ගැටලු බොහොමයක් පවතිනවා. ඒ සඳහා විවිධ ප්‍රතිකර්ම සිදු කරනවා. නමුත් ඇතැම් විටෙක කෘතීම ආලේපන වර්ග ආදිය නිසා හිසකෙස්වලට බොහෝසෙයින් හානි වෙන්නත් පුළුවන්. ඒ නිසා ඕනෑම ගැටළුවකටම වගේ ස්වභාවික ප්‍රතිකර්ම අපිට බය නැතුව භාවිතා කරන්නට පුළුවන්. ඉතින් හාල් වතුර කියන්නේ බය නැතුව අපිට භාවිතා කරන්නට හැකි සාර්ථකම පිළියමක්.
වී ගස පසේ ඇති ක්ෂුද්‍ර පෝෂක ඉතාම හොඳින්ම අවශෝෂණය කර ගනු ලබනවා. ඒ නිසා සහල්වල හිසකෙස් පෝෂණය කිරීම සඳහා වැදගත් වන නමුත් පහසුවෙන් සිරුර තුළින් ලබා ගන්නට නොහැකි පෝෂක බොහොමයක්ම අඩංගු වෙනවා

හිසකෙස්වල මුල් ශක්තිමත් කර ගැනීම සඳහා සහල්වල විටමින් B සහ C ඇතුළු විටමින් රාශියක් වගේම පොටෑසියම්, මැග්නීසියම්, අයඩීන්, සින්ක්, මැන්ගනීස්, සෙලිනියම් සහ ද්‍රාව්‍ය තන්තු ද එයට ඇතුළත් වෙනවා. මේ නිසා ඉතා හොඳින් අපේ හිසකෙස් ආරම්භ වෙන කේශ කූපවලට පෝෂණය ලබාදෙන්නට මේ සහල් වතුරට හැකියාව තියෙනවා.
- මුලින්ම සාමාන්‍ය ආකාරයට සහල් වරක් සෝදා වතුර ඉවත් කර ගන්න.
- දෙවන වතාවෙදී සහල් ඒ ආකාරායෙන්ම සෝදාගෙන ඒ වතුර සමඟ සහල් ටික විනාඩි 30 ක් පමණ පෙගෙන්නට තබන්න.
- ඉන්පසුව ජලය ටික පෙරාගෙන බඳුනකට දමා ගන්න.
ඉන්පසුව ෂැම්පු ගල්වා හොඳින්ම හිස පිරිසිදු කරගෙන සහල් වතුර හිස් කබලේ සිට අග දක්වාම ගල්වා ගෙන ඇඟිලි තුඩුවලින් හිස හොඳින් මසාජ් කරන්න. විනාඩි 5 කින් පමණ පසුව හිස හොඳින් සෝදා ගන්න. මේ සත්කාරය එකදිගට සති දෙකක් පමණ සිදු කරද්දි හිසකෙස් ගැලවීයාමේ පැහැදිලි අඩුවීමක් දැක ගන්නට හැකියාව ලැබෙනවා.
හිසකෙස් ඝන කරගැනීම සහ සුමට කර ගැනීම සඳහා මෙහිදී සහල්වල ඇති ග්ලූටන් ඇතුළු ද්‍රාව්‍ය තන්තුවල ගුණය භාවිතා කරනු ලබනවා. මේවා හිසකෙස්වලට එකතුවීමෙන් ඒවා කෙස් ගසේ ඇති සියුම් කඩතොළුවලට ඇතුළු වෙලා හිසකෙස් සුමට කරනවා. මේ සඳහා අපි භාවිතා කරන්නේ සහල් තම්බන ලද ජලය.
එකවරක් සෝදාගත් සහල්වල ජලය ඉවත් කර දෙවන වර සෝදාගත් ජලයෙන්ම සහල් ටික විනාඩි 30 ක් පමණ කාලයක් ඉහළ තාපයක් යටතේ තම්බා ගන්න. සහල් ප්‍රමාණය වගේ 4 ගුණයක් ජලය යෙදීමත් මෙහිදී අනිවාර්ය වෙනවා.
විනාඩි 30 කට පසුව සකස් වෙන බතේ උඩ ස්ථරයේ ජලය රැඳී තිබීමත් අනිවාර්ය වෙනවා. මේ ජලය පෙරා ඉවත් කරගෙන හොඳින් නිවුණු පසුව හිසකෙස්වල ආලේප කරන්න. මෙය ස්නානයෙන් පසුව කිරීමත් හිස් කබලට වඩා හිසකෙස්වල ආලේප කරන්නටත් වග බලා ගන්න.පසුව කොණ්ඩය සෝදා හරින්න. මෙය සතියකට තුන් වරක් පමණ සිදු කිරීම ප්‍රමාණවත්.
හිසකෙස් සුදුවීම වළක්වාගෙන කොණ්ඩය කළුකර ගැනීම සඳහා අකලට හිසකෙස් සුදුවීම අද තරුණ තරුණියන් බොහෝදෙනෙක්ට තියෙන ගැටළුවක්. ජානමය වශයෙන් වගේම පෝෂණ ඌණතා, මානසික ආතතිය වගේම හිසකෙස්වල ගල්වන ලද විවිධ ආලේපන ආදීය නිසාත් හිසකෙස් අකලට පැසීම සිදු වෙනවා. මේ ගැටළුව සඳහා හාල් වතුර අපට භාවිතා කරන්නට පුළුවන්.
වරක් සෝදාගත් සහල් මැටි බඳුනට දමා මද උණුසුමෙන් සහල් බැද ගන්න. සහල් රන්වන් පාට වනතුරු බැදගෙන මද උණුසුමෙන්ම කුඩුකර ගන්න. සහල් දෙගුණයක පමණ ජලය එයට දමා නිවෙනතුරු තබන්න.ඉන්පසුව ජලය පෙරා වෙන්කරගෙන වියළි හිසකෙස්වල ගල්වා හොඳින් සම්බාහනය කරන්න. මෙය ස්වභාවික ඩයි එකක් ලෙස ක්‍රියා කරන නිසා නැවත සෝදා දැමීම අවශ්‍ය වෙන්නේ නැහැ.

කොණ්ඩය වැවීමේ වේගය වැඩිකර ගැනීම සඳහාමේ සඳහා අපි භාවිතා කරනු ලබන්නේ පැසවූ සහල් වතුර. මේ සත්කාර කරන්නට පෙර සති දෙකක පමණ කේශ මූලය ශක්තිමත් කර ගන්නට යෙදූ සහල් වතුර සත්කාරය සිදු කරන්නට අවශ්‍යයි. ඉන්පසුව මේ සත්කාරය මගින් කොණ්ඩය වවාගන්නට හැකියාව ලැබෙනවා.
මුලින්ම සහල් සෝදා ඒ ජලය ඉවත් කරගෙන දෙවනුව එකතු කරන ජලය සහල් සමඟ විනාඩි 30 ක් පමණ තබාගෙන ඒ ජලය පෙරා ගන්න. ඉන්පසු තරමක් විශාල බෝතලයක් අරගෙන සහල් වතුර එයින් භාගයක් පිරෙන සේ පුරවා ගෙන හොඳින් වසා අඳුරු සීතල ස්ථානයක නොසෙල්වෙන පරිදි පැය 48 ක් තබා ගන්න.
මේ පැසවූ හාල් වතුර ෂැම්පු කළ පසුව හිස් කබලට යොදා හොඳින් සම්බාහනය කරන්න. මේ සත්කාරය දින 3 ට වරක් කිරීම ප්‍රමාණවත් වෙනවා.
හිසකෙස්වල අග පැලීම සඳහා කොණ්ඩය විවිධ හානිවලට ලක්වීම නිසා හෝ පෝෂණය අඩුවීම නිසා වගේම අපේ නොදැනුවත්කම හේතුවෙන් අපේ කොණ්ඩය පැලීමට ලක් වෙන්නට පුළුවන්. මෙය කොණ්ඩයේ ආකර්ෂණීය බව අඩු කරනවා වගේම හිසකෙස්වල වර්ධනයත් අඩු කරනවා. මේ ගැටළුව සඳහා අපිට තම්බන ලද සහල්වලින් උකු ද්‍රාවණයක් සකසා ගන්නට සිදු වෙනවා.
මේ උකු ද්‍රාවණයට සමාන ප්‍රමාණයකින් සීතල ජලයත් එකතු කරගන්නට අවශ්‍යයි. ඉන්පසුව කොණ්ඩයේ හානි වී ඇති අග කෙළවර විනාඩි කිහිපයක් මේ සහල් වතුරේ පොගවා ගෙන සිටින්න. විනාඩි 10 කින් පමණ පසුව මේ ද්‍රාවණය සෝදා ඉවත් කර ගන්න. මෙය සතියකට දෙවරක් සිදු කිරීම මගින් හිසකෙස් පැලීම නැති කර ගන්නට පුළුවන්.
ඉතින් නිකන්ම සහල් සෝදා ඉවත් කරන ජලය අපිට ලස්සන දිගු වරලසක් ලබා ගන්නට කොතරම් උපකාරී වෙනවද . ඉතින් ඔන්න ඔබටත් ඉතාම පහසුවෙන් ඔබේ හිසකෙස් සම්බන්ධ ගැටළු නැතිකර ගන්නත් මේ සහල් වතුර නිවැරදි ආකාරයට භාවිතා කරන්නට පුළුවන්.