හිස කෙස් අල්ලපු ගමන් කෙස් ගැලවීලා අතට එනවනම් දැන්ම භාවිතා කර යුතු තෙල් වර්ග 5 ක්

health tips

වයස අවුරුදු 25 ඉක්මවූ හැමෝටම වගේ හිසකෙස් සම්බන්ධ ගැටළු පවතිනවා. හිසකෙස් ගැලවී යාම, අකලට හිසකෙස් සුදුවීම, හිසකෙස්  වර්ධනය නොවීම ආදී ගැටළු බොහොමයකින් අපේ තරුණ පරපුර පීඩා විදිනවා. කොණ්ඩය කියන්නේ අපේ රූප ස්වභාවය වැඩි කරන හැමෝම වැඩි අවදානයක් යොමු කරන අංගයක්. ඒ නිසාම මේ ගැටලුව මානසිකව බොහෝ පීඩා ගෙනදෙන්නට සමත් වෙනවා. අද වෙද්දි හිසකෙස් සඳහා ගල්වන ආලේපන වර්ග, කොණ්ඩය පාට කිරීම හෝ කොණ්ඩා සැකසීම වගේම ආහාර රටාවේ වෙනස්කම් සහ පාම්පරික ලක්ෂණත් හිසකෙස්වල නීරෝගි බව සහ ගැටළු ඇති කරන්නට බලපානු ලබනවා. තරුණ වියේ බොහෝ දෙනෙක්ට විශේෂයෙන්ම පිරිමි අයගේ හිස් මුදුනේ කොණ්ඩය තුනී වීමත් කාන්තාවන්ගේ හිසකෙස්වල ඝන බව අඩුවීමත් විශාලම ගැටළුවක් බවට පත්ව තියෙනවා. 

ඒ නිසා විවිධ ආලේපන වර්ග ඒ සඳහා ගැල්වීම නිසා ඊට වඩා ගැටළුව තීව්‍ර වෙන  අවස්ථාත් නැතුවාම නොවෙයි. ඇතැම් විට මෙවැනි නිෂ්පාදන නිසා විවිධ ආසාත්මිකතා පවා ඇති වෙන්නට පුළුවන්. තවත් විටෙක මේ නිෂ්පාදන නතර කළ විට නැවත පෙර තත්ත්වයට වඩා වැඩි වශයෙන් හිසකෙස් ගැලවී යාම සහ වර්ධනය බාලවීම සිදු වෙන්නට පුළුවන්. ඒ නිසාවෙන් අතුරු ආබාධ නැති විශාල වියදමක් නොදරා සකසා ගත හැකි සාර්ථක ප්‍රතිඵල සහිත තෙල් වර්ග අපිටම නිවසේදී සාදා ගන්නට හැකියාව තියෙනවා. එය භාවිතයට බිය වෙන්නට අවශ්‍යතාවයකුත් නැති නිසා මෙවැනි තෙල් වර්ග ඔබටත් නිවසේදීම සාදා ගෙන භාවිතා කරන්නට පුළුවන්. අද අප ඔබට කියන්නේ එසේ සාදා ගත හැකි විශේෂ තෙල් වර්ග කිහිපයක් පිළිබඳව.

නෙල්ලි තෙල්  හිසකෙස්වලට විශාල ගුණයක්  ලබාදෙන ඔසුවක් තමයි නෙල්ලි කියන්නේ. නෙල්ලි සතු විශේෂ ගුණයන් නිසාම විවිධ ආලේපන සඳහාත් නෙල්ලි භාවිතා කෙරෙනවා. නමුත්  අධික මුදල් වැය නොකර ගුණයෙන් ඉහළ නෙල්ලි තෙල් අපිට නිවසේදීම සකසා ගන්නට පුළුවන්. 

අවශ්‍ය ද්‍රව්‍ය  

  • හොඳින් පැසුණු නෙල්ලි ගෙඩි 10 ක් 
  • පොල් තෙල් මිලිලීටර් 100 ක් 

මුලින්ම නෙල්ලි ගෙඩි තලා එහි ඇට ඉවත් කර ගෙන කෑලිවලට කපා බ්ලෙන්ඩ්ර් කර ගන්න. රෙදි කැබැල්ලක් ආධාරයෙන් එහි යුෂ ලබාගෙන රත් වූ තෙල්වලට එකතු කරන්න. විනාඩි 10 ක් පමණ මද ගින්දරේ තබා ලිපෙන් ඉවත් කරගෙන බෝතලයකට දමා භාවිතා  කරන්න. මේ නෙල්ලි තෙල් එක ස්නානයට විනාඩි 30 ට පෙර ආලේප කිරීම තමයි වඩාත් සුදුසු. මෙමගින් අකලට හිසකෙස් ගැලවී යාම, සුදු පැහැවීම ආදී ගැටළු මගහරවා හිසකෙස් වැවෙන වේගයත් වැඩිකරනවා.

කරපිංචා තෙල්  ආහාර රසවත් කරන කුළුබඩුවක් වන කරපිංචා හිසකෙස් ගැලවී යාමට, කෙස් වර්ධනයට වගේම හිසකෙස්වලට  තද වර්ණයක් ලබා දෙන්නත් උදව් වෙනවා. හිසකෙස්වල ගැටළු බොහොමයක් සඳහා විශේෂ ගුණයක් ලබාදෙන්නට මේ කරපිංචාවල අඩංගු වෙන සංඝටකවලට හැකියාව තියෙනවා. කරපිංචාවල අඩංගු පෝෂණය පොල් තෙල් මගින් නිස්සරණය කර භාවිතා කිරීමෙන් අපිට ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගන්නට හැකියාව තියෙනවා.

පිරිසිදු පොල් තෙල් ටිකක් මද ගින්නේ රත්වෙන්නට තබා එයට කරපිංචා කොළ එකතු කර සෙමෙන් තැම්බෙන්නට ඉඩ හරින්න. විනාඩි 10 ට පමණ පසුව කරපිංචා කොළ කළු පැහැයකට හැරී ඇති බව බට දකින්නට පුළුවන්. මේ තෙල් එක පෙරා ගැනීම අත්‍යවශ්‍ය  වන්නේ නැහැ.  දිනපතා  මේ කරපිංචා තෙල් හිසේ ගැල්වීමෙන් හිසකෙස් සම්බන්ධ බොහොමයක් ගැටළු ඉතා ඉක්මනින් ඔබට මගහැර ගන්නට හැකියාව ලැබෙනවා.

බුලත් තෙල් බුලත් අපේ සංස්කෘතියේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගන්නා ඖෂධයක්. බුලත් සමඟ ආහාරයට ගන්නා දුම්කොළ හුණු ආදිය නිසා මුඛ පිළිකාවලට වැඩි අවදානමක් තිබුණත් බුලත් කියන්නේ පිළිකා නාශක ගුණයෙන් යුත් ඖෂධයක්. බුලත්වල අඩංගු සංඝටකවලට හැකියාව තියෙනවා අපේ හිසකෙස් වර්ධනය වේගවත් කරන්නට. ඒ නිසාම අතීතයේ පටන් හිසකෙස් සම්බන්ධ ගැටළු සඳහා බුලත් භාවිතයට ගත්තා. මේ බුලත් භාවිතයෙන් තෙල් සකසා ගැනීම එතරම් අපහසුවක් නැහැ.

අවශ්‍ය  ද්‍රව්‍ය  

  • නැවුම් බුලත් කොළ 2 ක් 
  • පිරිසිදු පොල් තෙල් හෝ පිරිසිදු තැඹිලි තෙල් මිලි ලීටර් 100 ක් 

මුලින්ම පොල් තෙල් ටික භාජනයකට දමා  මද ගින්දරේ රත්වෙන්නට තබන්න. ඉන්පසුව බුලත් කොළ 2 තරමක් කුඩා වනතුරු කොටා තෙල් එකට එකතු කර ගන්න. මද උණුසුමේ විනාඩි 5 ක් පමණ  තැම්බෙන්නට තබා නිවුණු  පසුව පෙරා වීදුරු  බෝතලයක අසුරා භාවිතයට ගන්න.

මේ තෙල් දිනපතාම හිස් කබලට දමා හොඳින් සම්බාහනය කරන්න. එමගින් කේෂ කූප හොඳින් උත්තේජනය වන නිසා හිසකෙස් වර්ධනය හොඳින් සිදුවි කොණ්ඩය ඝනවීම සිදුවෙනවා.

ළූණු තෙල් ළූණු සහ සුදු ළූණු  කියන්නේ ලෙඩ රෝග බොහොමයකටම ගුණදෙන අපිට නැතුවම බැරි ආහාරයක්. පිසීමෙන් ආහාරයට ගන්නවාටත් වඩා වැඩි ගුණයෙන් ඒවා අමුවෙන් ආහාරයට ගැනීම මගින් ලබා ගන්නට පුළුවන්. මොකද පිසීමේදී ඇතැම් පෝෂක කොටස් විනාශ වී යන නිසා .ඉතින් සුදු ළූණු සහ ලූණු භාවිතයෙන් තෙල් සකසා  ගැනීමෙන් පවා අපේ හිසකෙස්  සම්බන්ධ ගැටළු බොහොමයක් ඉතා පහසුවෙන් මගහරවා ගන්නට පුළුවන්.

අවශ්‍ය  ද්‍රව්‍ය  

  • බී ලූණු ගෙඩියකින් භාගයක් 
  •  සුදු ලූණු බික් 2 ක් 
  • පොල් තෙල් මිලි ලීටර් 100 ක් 

මේ ළූණු සිහින්ව කපාගෙන මද උණුසුම් තෙල් ටිකට දමා විනාඩි 20 ක් පමණ සෙමෙන් ලූණු  ටික බැදෙන්නට ඉඩ හරින්න. ඉන්පසු නිවුණු පසු එය පෙරා බෝතලයකට දමා භාවිතයට ගන්න. මේ තෙල් ගැල්වීම වඩාත් සුදුසු වෙන්නේ රාත්‍රී නින්දට පෙරයි.  

වදමල් තෙල් රතු වදමල් 100 ක් පමණ සහ වද මලේ කොළ 50 ක් ද කඩා ගෙන සිහින්ව ලියා ගන්න.ඒ වගේම වදමලේ නොමේරු මුල් හතර පහක් ද ගලවා ගෙන ඒවා කෑලිවලට කපා ගන්න. මේ සියල්ලම හොඳින් සෝදා පවනේ වියළා ගන්න. ඉන්පසුව පිරිසිදු සුදු පොල්තෙල් බෝතල් දෙකක් බදුනකට දමා ලිප තබා තරමක් රත්කර ගෙන එයට මේ වියළා ගත් වදමලේ කොටස් එකතු කරන්න. ඉන්පසුව ඒවා විනාඩි 10 ක් මද රස්නයෙන් තම්බා ගෙන ලිප වසා පැයක කාලයක් තබා ගන්න. ඉන්පසු සතියකින් පමණ පිරිසිදු රෙදි කඩකින් පෙරා තබා ගෙන හිසකෙස් සඳහා භාවිතා කරන්න. සෑමදිනකම නින්දට යාමට පෙර මේ තෙල් ස්වල්පයක් මදක් රත්කර හිසේ ගල්වා මසාජ් කර පසුව සුපුරුදු ෂැම්පු වර්ගයක් භාවිතයෙන් සෝදා හරින්න. 

ඉතින් නොයෙකුත් කෘතිම නිෂ්පාදන භාවිතා කරනවා වෙනුවට නිවසේදී මේ වටිනා ඔසු භාවිතයෙන්  ගුණයෙන් ඉහළ තෙල් වර්ග පහසුවෙන් සාදාගෙන භාවිතයට ගන්නට ඔබට පුළුවන්.